අරගලකරුවන් දඩයම් කර සතුටු වන්නට මැති ඇමැතිවරුන් හිතනවා නම් එය සිදුවන්නේ නෑ

0
21

අරගලකරුවන් ආරක්ෂා කිරීමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් කාර්යාංශයක් ස්ථාපිත කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි

හෙතෙම එසේ පැවැසුවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

“අද වන විට අපේ රටේ බඩු මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා. එදා පුද්ගලයෙක් පරිභෝජනය කරන්නට යන වියදම රුපියල් 34,028යි. ඒත් අද ඒ ගණන් අනුව වටිනාකම අද එක් ලක්ෂ පනස් දාහටත් වැඩියි. එය 450%ක බඩුමිල වැඩිවීමක්.

මේ අනුව ආහාර උද්ධමනය අතින් ලංකාව 05 වැනි තැනට පත්වෙලා. අපට වඩා ඉහළින් ඉන්න රටවල් ලෝක බැංකු වාර්තා කරන විධියට ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව, තුර්කිය. ඊට පස්සේ තමයි අපේ රට තියෙන්නේ. 2022 ජුනි මාසේ තිබුණු උද්ධමන වේගය 57.9% ජූලි මාසය වන විට 66.7% දක්වා වැඩිවෙලා. මේ නිසා අද මිනිසුන්ට කන්න ආහාර නැතිව 40,000ක් රෝහල් ගතවෙලා සේලයින් ලබා ගන්නවා.

අද රෝහල් පද්ධතිය ගත්තම ඔෟෂධ සහ ශල්‍ය උපකරණ ඇතුළු සියලු දේවල් නැහැ. මේ සම්බන්ධව එදා අපිට පහර ගහපු GMO නිකුත් කරපු එකේ තිබෙනවා රෝහල් සේවකයන්ට බෙහෙත් තුණ්ඩුව දෙනවා වෛද්‍යවරයා නැති බඩු අරන් එන්න කියලා. එය ගේන්න වෙන්නේ රෝහල් සේවකයාගේ මුදලෙන්. මේ තියෙන තත්ත්වය ඒ අයට බලාගෙන ඉන්න බැහැ. මේ තත්ත්වය මත අද රෝහල් පද්ධතිය පහත් මට්ටමකට ඇවිල්ලා. අද රටේ ආර්ථිකය ඇතුළු උද්ධමනය, බඩු මිල, සෞඛ්‍ය අපහසුකම් සියල්ලටම මුහුණ දීමට නොහැකිව කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු වීම 30%කින් ඉහළ ගිහින් ඇති බව ඉන්දියාවේ ප්‍රවෘත්ති සේවයක් කර තිබූ වාර්තාවක සඳහන් වෙනවා.

2019 අපේ ජනතාව ගත්ත වැරදි තීරණ නිසා රට විශාලාමහනුවරකට සමාන සාගත තත්ත්වයක් බවට පත්වෙලා. අපි මේවා ඉදිරිපත් කළාම අපි ද්‍රෝහියෝ විධියට, හොරු විධියට තමයි දැක්කේ. අපිට පුළුවන් තරම් පහර ගැහුවා. එසේ පහර ගහලා බලය අරගෙන අවුරුදු දෙකක් යනකොට මේ රට පත්කරලා තියෙන තත්ත්වය තමයි මේක. මේ නිසා තමයි අරගලයක් ඇති වුණේ. මේ අරගලය නිකම්ම ආපු එකක් නෙමෙයි. මිනිසුන්ට ඉවසගන්න බැරුව, එදා වේල කන්න නැතිව පාරට බැස්සේ. ඒක ගෝල්ෆේස් පිටියේ සංකේතවත් වුණාට මුළු රටේම අරගලයක්. එය මේ වනවිටත් අවසන් වෙලා නැහැ. ඉදිරියටත් ගමන් කරනවා. මේ ප්‍රශ්න තියෙන තුරු අරගලය පුපුරමින් එළියට එනවා.

අද මේ තත්ත්වයට සම්පූර්ණ වගකියන්න ඕන රාජපක්ෂවරු පහුගිය අවුරුදු දෙකහමාර තුළ සිදු කරපු දේවල්. දැන් සමහරු කියනවා අවුරුදු 74ක සාපයක් කියලා. 74ක සාපයක් තිබුණේ නැහැ. ඒ කාලය තුළ විශාල වැඩකොටස් ජනතාව වෙනුවෙන් කළා. මහජන සුබසාධන වැඩසටහන් තිබුණා. නොමිලේ අධ්‍යාපනය, නොමිලේ සෞඛ්‍ය, නොමිලේ සපත්තු, නොමිලේ පොත් පත්, නිල ඇ¾දුම් වැනි විශාල සුබසාධන වැඩපිළිවෙළක් තිබුණා. ඒවා කපා හැරිය නම් ධනපති රටවල වගේ අපේ අය-වැය හිඟය මීට වඩා ඉහළින් පාලනය කරන්න තිබුණා. එම නිසා අවුරුදු 74ක නෙමෙයි පැහැදිලිව මේ අවුරුදු දෙකහමාර නිසා තමයි මේ විනාශය කරා රට ගෙන ආවේ. එම නිසා අද විස¾දුම අරගලකරුවන් පිටුපස ලුහුබැඳීම නෙමෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ බව පැහැදිලිව නිර්වචනය කළා. එතුමා කියනවා මේ අරගලය ඉතා අවිහිංසාවාදී සහ නිර්මාණශීලීව පැවැත්වුණා කියලා. එහි සමහර කොටස් ප්‍රචණ්ඩකාරී තත්ත්වයට ගියා. ඒ ගැන අපි කතා කරන්නේ නැහැ. ඒ අයට දඬුවම් දීම ගැන අපි ප්‍රශ්න කරන්නේ නෑ. හැබැයි අවිහිංසාවාදී විදිහට නිර්මාණශීලී මිනිසුන්ව කුදලාගෙන යෑමයි ප්‍රශ්නය තියෙන්නේ. ඒකට විරුද්ධව අපි සැමවිටම ඉන්නවා. එතුමාම කියනවා සාමකාමී ලෙස අරගලයේ යෙදීම  මූලික මිනිස් අයිතිවාසිකමක් බව පිළිගන්නා බවත් ඒ වගේම 12 පිටුවේ තියෙනවා සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමට, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් විශේෂ කාර්යාංශයක් පිහිටුවනවා කියලා. නමුත් එවැනි කාර්යාංශයක් තාම පිහිටුවලා නැහැ. මේක ප්‍රතිපත්තියක් විතරයි. මේ රටේ නායකයෝ එදා මෙදා තුර මෙවැනි බොහෝ දේ ප්‍රකාශ කරනවා. මේවා ක්‍රියාත්මක නොවීම තුළ තමයි ජනයාගේ විශ්වාසභංගත්වය  තියෙන්නේ. එම නිසා එම කාර්යාංශය වහාම පිහිටුවන්න. මම ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරපු වෙලාවේත් එතුමා කිව්වා මෙම කාර්යාංශය පිහිටුවනවා. ඒකට අභියාචනා ඉදිරිපත් කරන්න කරන්න කියලා. ඒ වගේම කියනවා එතුමා නොදැනීමෙන් හෝ වෙනත් අයගේ බලපෑම් නිසා නීතිවිරෝධී ක්‍රියාවන් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට හවුල් වූ අය ඉන්නවා නම් ඔවුන් වෙත සානුකම්පිතව ක්‍රියා කිරීමේ සැලැස්මක් සකස් කරනවා. එම සැලැස්මවල් වහාම සකස් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. නමුත් මේක දිගටම අරගලයට නායකත්වය දුන්න මිනිස්සු පිටිපස්සේ දඩබල්ලන් වගේ යනවා.

ඒ නිසා අපි කියනවා මේ අරගලකරුවන්ට එරෙහිව තිබෙන සියලුම ක්‍රියාමාර්ග නවත්තන්න. අරගල කරුවන් දඩයම් කිරීමෙන් ඇමැතිවරුන්ට ආශ්වාදයක් ලැබෙනවා කියලා හිතනවා නම් ඒ අහිංසක මිනිසුන්ට ගහලා මේ රටේ ප්‍රශ්න යටපත් කරන්න ඒක සිදුවෙන්නේ නැහැ. නැවත වරක් අරගලය කොයි වෙලාවක හෝ පුපුරා යෑම විතරයි තිබෙන්නේ.

සඳුනි ගමාරච්චි