අංජනගේ බස් පාරෙන් ඉවතට

0
15

ලංගම හා පෞද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට අපොහොසත් වීම නිසා අද (29දා) පෞද්ගලික බස් රථ ධාවනය සියයට අසූවක් පමණ අඩු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි. පසුගිය මාසයේ ඉන්ධන ලබාදීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදු වුවත් මීට දින හතරකට පෙර සිට ඉන්ධන ලබා නොදීම නිසා පෞද්ගලික බස් රථ ධාවනය සීමා වී ඇති බවත් මේ සඳහා කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවත් ඔහු පැවැසීය.

පාසල් හා කාර්යාල කටයුතු පැවැත්වෙන දිනයක් නිසා බස් රථ ධාවනය අඩාල වීමෙන්  සිසුන්-ගුරු හා කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්වන බවත් එයට රජය වගකිව යුතු බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද ‘පාසල් සේවය’ නව බස් රථ සේවයත් අවශ්‍ය ඉන්ධන නොමැති වීම නිසා අද දිනයේ සිට ධාවන කටයුතු නතර කිරීමට සිදු වන බවත් එම බස් රථ හිමිකරුවෝ පැවැසූහ. මෙම බස් රථ සේවාවේ පළමු අදියර යටතේ බස්නාහිර පළාත ඇතුළත මාර්ග 47ක බස් රථ 130ක් සේවය ආරම්භ කර ඇති නමුත් පසුගිය 23 වැනිදා සිට ලංගම ඩිපෝ මඟින් සම්පූර්ණ ඉන්ධන කෝටාව ලබා නොදුන් බවත් ඒ නිසා ‘පාසල් සේවය’ ධාවනයෙන් ඉවත් වී ඇති බවත් ඔවුහු සඳහන් කළහ.

මේ ගැටලුව සම්බන්ධයෙන් බස් රථ හිමියන් ප්‍රාදේශීය කාර්යාල වෙතත් දන්වා ඇති බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් ලංගම ඩිපෝ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන්ට ප්‍රමුඛතාව ලබාගෙන ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන බවත් බස්නාහිර පළාතේ මගී ප්‍රවාහන අධිකාරියේ ඉහළ නිලධාරියෙක් වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන