පිට්ටනිවල චිත්‍රපට පෙන්වන අලුත් වැඩේ

0
2188

කොරෝනා වසංගතයෙන් සහ දැඩි ආර්ථික පීඩනයෙන් හෙම්බත්ව සිටින ජනතාවට විනෝදාස්වාදය ලබාදීම සඳහා විවෘත පිට්ටනිවල නොමිලේ චිත්‍රපට පෙන්වීමේ වැඩපිළිවෙළක් ඊ.ඒ.පී. චිත්‍රපට සමාගම විසින් දියත් කිරීමට පියවර ගනු ලැබ තිබේ.

ඒ අනුව, එහි ප්‍රථම චිත්‍රපට දර්ශනය 27 වන සෙනසුරාදා සවස 5.00ට කුරුණෑගල, උඩවල්පොළ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

හේමාල් රණසිංහ රඟපාන ‘ආශාවරී’ සහ රන්ජන් රාමනායක රඟපාන ‘මායා’ යන චිත්‍රපට දෙක මෙහිදී නොමිලේ පෙන්වීමට නියමිත ය.

මෙහි විශේෂත්වය වන්නේ චිත්‍රපටවල රඟපානු ලබන නළු නිළියන් ද ජනතාව සමග එක්ව චිත්‍රපට නැරඹීම සඳහා සහභාගි වීම ය.

කොවිඩ් ව්‍යසනය සහ ආර්ථික අර්බුදය සමග පීඩාවට පත්ව සිටින ජනතාවට උසස් රසවින්දනයක් තුළින් යහපත් මානසික සුවයක් ලබාදීම මෙහි මුඛ්‍ය අරමුණ බව සංවිධායකයෝ පවසති.