විල්පත්තුවට යළිත් අත තියයි

0
37

විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා නීති විරෝධීව ඉදිකර ඇති තාවකාලික මාර්ගය නැවත වැඩිදියුණු කොට මහජනතාවගේ භාවිතය සඳහා විවෘත කිරීමට කටයුතු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනතුරු අඟවා සිටී.

පුත්තලම සිට මන්නාරම ප්‍රදේශයට වඩාත් පහසුවෙන් මහජනයාට යෑම්ඊම් කිරීමටත් එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සඳහා අදාළ මාර්ගය වැඩිදියුණු කර විවෘත කරන ලෙස ප්‍රදේශයේ දේශපාලන බලවතකු රජය වෙත දැඩි බලපෑම් එල්ල කරමින් ඇති බව රජයේ ආයතන කිහිපයක නිලධාරීහු පවසා සිටිති.

මේ අනුව පසුගිය සතියේ දිනක අදාළ මාර්ගයේ කටයුතු අධ්‍යයනය කිරීම සඳහා ක්‍ෂේත්‍ර චාරිකාවකට වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්, මාර්ග සංවර්ධන අධිකරියේ නිලධාරීන් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත. ඒ වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයගෙන් ලබාගත් අවසරයක් පරිදිය. කෙසේ නමුත් අදාළ අවස්ථාවට පෙර දැනුම්දීමකින් තොරව අදාළ දේශපාලන බලවතාද  සහභාගි වීම නිසා ප්‍රාදේශීය ලේකම් සහ වනජීවී නිලධාරීන් ක්‍ෂේත්‍ර පරීක්‍ෂාව සඳහා යෑමට අකැමැත්ත පළකර ඇති අතර විරෝධය හමුවේ අදාළ දේශපාලනඥයා පිටව ගොස් ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අදාළ මාර්ගය වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා අධ්‍යයනය කරන්නේ 2013 වසරේදී ශේ්‍රෂ්ඨාධිකරණය මඟින් මාර්ගය එවකට (2013) පැවැති තත්ත්වයෙන් එහා කිසිදු වෙනසක්, වැඩිදියුණු කිරීමක් හෝ සංවර්ධනය කිරීමක් නොකරන ලෙසට තහනම් නියෝගයක් නිකුත් කර ඇති වාතාවරණයක් තුළ බව පරිසරවේදීන් පෙන්වාදී ඇත.

අදාළ දේශපාලන බලවතා දිගින් දිගටම කරන මැදිහත්වීම සහ බලපෑම් හේතුවෙන් පුත්තලම දිසා ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් පුත්තලම කච්චේරියේදී ඉකුත් 25 බ්‍රහස්පතින්දා දින මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, වාරිමාර්ග නිලධාරීන් සහ වනජීවී නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් තවත් සාකච්ඡා වටයක් පවත්වා ඇත.

එහිදී අදාළ ශේ‍ර්ෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දිසාලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට පෙන්වාදී ඇති අතර එයට  එරෙහිව කටයුතු කිරීමට යෑම අධිකරණයට අපහාස කිරීමක් සේ සැලකීමට ඉඩ ඇති බවත් පෙන්වාදී ඇත.

මේ අතර ජාතික වනෝද්‍යානයක් හරහා නීති විරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව අදාළ නඩුව පැවැරූ සී/ස පාරිසරික පදනම සහ අනෙක් පෙත්සම්කාර පාර්ශ්ව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කරමින් අදාළ කරුණ පිළිබඳව සහ ඊට සම්බන්ධව පැමිණිය හැකි අතුරු ප්‍රතිඵල ගැන සිහි කැඳවමින් ලිපියක්ද යොමුකර ඇත.

ගගනි වීරකෝන්