විජේවීර හිර කරන්න 71 දි මැතිනි ගෙනා අදත් හොල්මන් කරන මොකක්ද මේ detention order

0
52

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිධම්ම හිමි යන තිදෙනා අත්අඩංගුවට ගෙන විශේෂ රැඳවුම් නියෝග යටතේ (detention order) දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුමැතිය ලබාදී තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම විශේෂ රැඳවුම් නියෝග ලබා ගැනීම පිළිබඳව සමාජය තුළ කුතුහලයක් හට ගෙන තිබේ.

සාමකාමී විරෝධය දැක්වූවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් බවට ආණ්ඩුවට බරපතළ විවේචනයක්ද එල්ල වී ඇති අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අධ්‍යක්ෂිකා හැනා සිගර්ද මෙම රඳවා ගැනීම් පිළිබඳව කනස්සල්ල පළකර තිබේ.

විශේෂ රැඳවුම් නියෝගය හෙවත් detention order යනු කුමක්ද? එම නියෝග ශ්‍රී ලංකාවේදී භාවිත වූ ඉතිහාස පසුබිම කුමක්ද යන්න පිළිබඳව අතීත තොරතුරු විමසා බැලීමකි.

මහජන ආරක්ෂක පනත  බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඇති කරන ලද්දකි. 1947 ජුනි මාසයේ  රජයේ සේවකයන්ගේ සහ පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වෘත්තීය සමිති  සංවිධානය කළ ඓතිහාසික මහා වැඩ වර්ජනයෙන් පසු යටත් විජිත ආණ්ඩුව 1947 අංක 25 දරන මහජන ආරක්ෂා පනත නීතිගත කළේය. කොළඹ පැවැති පෙළපාළියකට පොලිසිය විසින් වෙඩි තැබීමෙන් අනතුරුව එම ඝාතනයන්ට නීතියේ ආවරණය ලබාදීම යටත් විජිත ආණ්ඩුව මහජන ආරක්ෂක පනත ඉදිරිපත් කිරීමේ අරමුණ විය. 1947 සමස්ත මහා වැඩ වර්ජනය අවසන් වූ වහාම යටත් විජිත ආණ්ඩුව මහජන ආරක්ෂක පනත නීතිගත කළේය.

ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහජන ආරක්ෂක පනත හ¾දුන්වන ලද්දේ අධිරාජ්‍යවාදීන් සහ ධනපති හවුල්කාරයන් විසින් මෙරට ජනයාට විරුද්ධව එල්ල කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දන නීතියක් ලෙසය. ලංකා සමසමාජ පක්ෂය විසින් 1948 පෙබරවාරි මස 4 නිදහස් දිනයදා නිකුත් කළ පොත් පිංචක් මඟින් මහජන ආරක්ෂක පනත හෙළා දකින ලදී. ගෙවුණු වසර 72 තුළ බලයට පත් සෑම ආණ්ඩුවක්ම පාහේ මහජන ආරක්ෂක පනතට අදාළ මර්දනකාරී නීති සංශෝධනය කරන බව ජනතාවට පොරොන්දු වූ නමුත් මහජන ආරක්ෂක පනත තවදුරටත් බලගැන්වීමට සෑම ආණ්ඩුවක්ම කටයුතු කළේය.

මහජන ආරක්ෂක පනතේ ප්‍රතිපාදනවලට අනුව බලයේ සිටි සෑම ආණ්ඩුවක්ම විවිධ අවස්ථාවලදී හදිසි නීතිය ප්‍රකාශයට පත්කර තිබේ. ආණ්ඩුවට එරෙහිව මතුවන මහජන උද්ඝෝෂණ, නීත්‍යනුකූල වැඩ වර්ජන ආදිය මැඬපැවැත්වීම සඳහා හදිසි නීතිය බල ගැන්වීම සිදු කෙරේ. හදිසි නීතිය බලගැන්වූ වහාම එතෙක් පුරවැසියන් භුක්තිවිඳි  ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් සීමා වේ.

වර්තමාන ආණ්ඩුව ප්‍රකාශයට පත් කරන ලද හදිසි අවස්ථාවේ අංක 7 රෙගුලාසිය යටතේ වරදකරුවකු ලෙස තීරණය කරන තැනැත්තකු අධිකරණ නියෝගයක් නොමැතිව සිරභාරයට ගැනීමට ඕනෑම පොලිස් හෝ හමුදා නිලධාරියකුට බලය හිමිවේ. සිරභාරයට ගත් තැනැත්තා එසේ සිරභාරයට ගත් තැන සිට ලංකාවේ ඕනෑම ස්ථානයකට ඉවත් කරගෙන යෑමට, එම වගන්තියෙන් බලය ලැබේ. අංක 7 දරන නියෝගය යටතේ සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 36, 37  හා 38 වෙනි වගන්තිවල විධිවිධාන අදාළ වන්නේ නැත.

හදිසි නීතිය යටතේ පොලිස්පති විසින් බලය දෙනු ලැබූ ස්ථානයක රඳවා ගනු ලැබූ යම් තැනැත්තකු ඔහු සිරභාරයට ගනු ලැබූ දින සිට දින 15කට නොවැඩි කාලයක් රඳවා ගත හැකිය. ඒ කාලසීමාව ඉකුත් වීමට පෙර එකී ස්ථානභාර නිලධාරියා විසින් එම තැනැත්තා මහේස්ත්‍රාත්වරයකු හමුවට ගෙන එනු ලැබුවහොත් එම කාලය අවසානයේදී නිලධාරියා විසින් අදාළ තැනැත්තා නිදහස් කළ යුතුය. හදිසි නීතියට අදාළ රෙගුලාසි බලාත්මක කිරීම ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සිදුවේ.

වර්තමානයේ මහජන ආරක්ෂක පනතට අදාළ නීති යටතේ මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේද ආණ්ඩුව සාමකාමී විරෝධය දක්වන්නන් අත්අඩංගුවට ගැනීමට මෙන්ම විශේෂ රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීමටද ක්‍රියා කරමින් සිටී.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අස්සන් කරන විශේෂ රැඳවුම් නියෝගයක් (detention order) යටතේ කිසියම් තැනැත්තකු ලිත් මාසයක් එනම් දින 30ක් රඳවා තබා ගත හැකි අතර එම කාලය ප්‍රමාණවත් නොවන්නේ නම් මහෙස්ත්‍රාත්වරයකුට දැනුම්දීමෙන් පසු රැඳවුම් නියෝගයේ කාල සීමාව දින 90ක් දක්වා දීර්ඝ කළ හැකිය.

විශේෂ රැඳවුම් නියෝග යටතේ පුද්ගලයන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම කවර වකවානුවක ආරම්භ වී දැයි යන්න පිළිබඳව සොයා බැලීම වැදගත්ය. බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමයේ 1961දී යාපනය ප්‍රදේශයේ සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක් පැවැති අතර ඊට නායකත්වය දුන් දෙමළ නායකයන් අත්අඩංගුවට ගෙන පනාගොඩ යුද හමුදා කඳවුරෙහි විශේෂ රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ඇත. කෙසේ වුවද විශේෂ රැඳවුම් නියෝග යටතේ ප්‍රථමයෙන් දීර්ඝ කාලයක් හුදෙකලාව රඳවා තබා ගන්නා ලද ප්‍රකට පුද්ගලයකු වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරය.

රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා ලද්දේ 1971 මාර්තු 13 වැනිදා අම්පාරේදීය. 1971 කැරැල්ල ආරම්භ වූ දිනය ලෙස සැලකෙන්නේ 1971 අප්‍රේල් මස 5 වැනි දිනය. සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ ආණ්ඩුව මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරන ලද්දේ 1971 මාර්තු 6 වැනි දිනය. එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආතර් රාජකුමාර් රත්නවේල් විසින් අස්සන් තබා තිබූ එම රෙගුලාසිවලට අනුව හදිසි අවස්ථා නියෝග අංක 7, 9, 16, සහ 44, බල ගන්නවා තිබිණ.

1971 මාර්තු මස 6 දින දරන නියෝග අංක 44 මළමිනියක් තමන් වෙත පවරා ගෙන එය වැළලීමට හෝ පිලිස්සීමට හෝ  පියවර ගැනීමට සහකාර පොලිස් අධිකාරිවරයකුට හෝ පොලිස් ස්ථානයක් භාර නිලධාරියකුට බලය දී ඇත. එම රෙගුලාසිවල  මෙසේ සඳහන් කර තිබිණ.

“මෙම නියෝගය යටතේ මළ මිනියක් පවරාගෙන එම සිරුර පිලිස්සීමට හෝ වැළලීම සම්බන්ධයෙන් කටයුතු යොදන රජයේ නිලධාරියකු හෝ පුද්ගලයකු හෝ මළ මිනී වැළලීම, පිලිස්සීම සහ මරණ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අන් කිසිදු ලිඛිත නීතියකට අනුකූලතාවක් දැක්විය යුතු නොවේ.”

මාර්තු 13 වැනිදා අම්පාරේදී අත්අඩංගුවට ගත් රෝහණ විජේවීර කල්මුණේ මහෙස්ත්‍රාත්වරයාගේ අස්සනින් මඩකළපුව බන්ධනාගාරයට ඇතුළත්කර නැවත මාර්තු 14 අලුයම මඩකළපුවෙන් පිටත්ව මාර්තු 15 උදේ බොරැල්ල මැගසින් බන්ධනාගාරයට ගෙනැවිත් තිබේ. අනතුරුව මාර්තු 15 වැනිදා රාත්‍රියේම හමුදා ට්‍රක් රථයකින් යාපනය බලා ගෙන ගොස් මාර්තු 16 අලුයම යාපනය බන්ධනාගාරයට ඇතුළුකර ඇත. රෝහණ විජේවීර විශේෂ රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගන්නා ලෙස යාපනය බන්ධනාගාර අධිකාරී තැනට බලය පවරන ලිපිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආතර් රත්නවේල් විසින් ඒවා තිබෙන්නේ 1971 මාර්තු  විසි ගණන්වලය. detention order හෙවත් රඳවා තබා ගැනීමේ විශේෂ නියෝගය නිකුත් වීම පිළිබඳව එම අවස්ථාවේ රෝහණ විජේවීර දැනුවත්ව සිට නැත. එබැවින් එම නියෝගයේ පිටපත් අස්සන් තබා දුටු බව සහතික කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එම සිදුවීම සම්බන්ධව රෝහණ විජේවීර විසින් පසු අවස්ථාවක පවසන ලද්දේ මෙසේය.

රෝහණ විජේවීර:

“අපිව යාපනයට ගෙනත් දානකොට එක දිගට දවස් හතරක් නිදි මරලා හිටගෙන  නින්ද යන සයිස් එකට හිටියේ. මඩකළපුවෙන් ගෙනත් magazine එකේ special shell එකකට දාලා නිදාගන්න හදනකොට නැඟිටින්න යාපනය යන්න ලෑස්ති වෙන්න කිව්වා. එතකොට එතැන ඔරලෝසුවෙ වෙලාව හරියටම රෑ දහයයි. අපි අම්පාරෙන් අත්අඩංගුවට ගත් මම, කේලි සේනානායක, නිශ්ශංක, ප්‍රේමරත්න, සිරිල් පස්දෙනාගෙන් කේලිත්, නිශ්ශංකත් මැගසින් බන්ධනාගාරයේ සිටියදී අපි තුන්දෙනා හමුදා ට්‍රක් එකකට නැග්ගුවා.

රෑ එළිවෙන තෙක් ආවා. ට්‍රක් එක දෙපැත්තෙ ලී පටි ගහපු සීට්  විතරයි තිබුණේ ඒකෙත් ලී පටි කැඩිලා. අත්වලට මාංචු දාලා. අල්ල ගන්න විදියක් නෑ. බඩවැල් කටින් එන්න එහාට මෙහාට විසි වෙනවා.  එහෙන් නිදිමත බේරෙනවා. ට්‍රක් එක බිඳගෙන යනවා. කීප සැරයක් මාව විසිවෙලා ගිහින් බිම වැදුණා. පිටිපස්සෙන් පොලිස් ජිප් එකක් ආවා. 

යාපනේට එනකොට 16 වැනිදා උදේ 8.00 විතර වුණා. මඩකළපුවේ හිරගෙදර මගේ රෙජිස්ටර් අංකය 214. ඒ අංකයෙන්ම තමා යාපනය බන්ධනාගාරයටත් දැම්මේ. කල්මුණේදී අපිව මහෙස්ත්‍රාත්ට පෙන්නුවේ නැහැ. රෑ අපිව වාහනේම තියලා කොස්තාපල් කෙනෙක් මහෙස්ත්‍රාත් නිල නිවසට ගිහිල්ලා කොළ අස්සන් කරන් ආවා. එතෙන්දි  කිව්වේ දවස් 14කින් උසාවි දානව කියලා. ඒ කියන්නේ 27 හරි 28 හරි කල්මුණේ උසාවි දාන්ඩ ඕන.

යාපනය බන්ධනාගාරයට ගෙනාවට පස්සේ මාව තනියම ෂෙල් එකක දමලා වැහුවා. මාර්තු විසිගණන්වල දවසක් මාව බන්ධනාගාර අධිකාරී ගාවට අරන් ගියා. කැමරාවක් ගත්ත රහස් පොලිස් නිලධාරියකුත් එතැනට ඇවිත් හිටියා. පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙකුත්, එස්.අයි. කෙනකුත් හිටියා. බන්ධනාගාරෙ එස්.පී. ඉස්සරහ මට ලිපියක් දීලා අස්සන් කරන්න කිව්වා. මම එකවරම අස්සන් කළේ නෑ.

ලිපිය කියවල බැලුවහම ඒක අස්සන් කරලා තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආතර් රත්නවේල්. පොලිස්පතිගේ අස්සනත් තිබුණා. තංගල්ලේ අහවල් තැන පදිංචිය අහවලා detention order යටතේ රඳවා ගන්නවා කියලයි තිබුණේ. ඒ ගැන අපිට අත්දැකීමක් තිබුණේ නෑ. මම බන්ධනාගාර අධිකාරිගෙන් ඇහුවා මොකක්ද මේ ඤඥබඥදබඪධද කියන්නේ කියලා.

පස්සේ බන්ධනාගාර අධිකාරි තමයි මට තෝරලා දුන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හදිසි නීතිය ප්‍රකාශයට පත්කරලා තියෙනවා. හදිසි නීතිය යටතේ විජේවීරව යාපනය බන්ධනාගාරයේ රඳවා ගන්න detention order එකක් නිකුත් කරලා කියලා. රත්නවේල් මහත්තයා නැවත දන්වන තුරු යාපනයේ තියාගන්නවා කියලා. අවුරුදු දෙකකට පස්සේ අප්‍රේල් මහ නඩුවේ තීන්දුව දෙන තුරු මම හිටියේ detention order යටතේ.”

ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගෙන විශේෂ රැඳවුම් නියෝග යටතේ රඳවා ගනු ලැබුවේ මහින්ද විජේසේකර, ‍ෙදාස්තර චන්ද්‍රා ප්‍රනාන්දු සහ ලක්සිරි ගුණසේකර යන තිදෙනායි. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ රත්නපුරේදී 1971 මාර්තු 7. විජේවීර සමඟ අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබූ අයගෙන් කෙලී සේනානායක විශේෂ රැඳවුම් නියෝග යටතේ මැගසින් බන්ධනාගාරයේ රැඳවීය. විජේවීරගේ රැඳවුම් නියෝගයේ  අංකය ඩී 13 වූ අතර කෙලී සේනානායකට හිමි වූ අංකය ඩී12 ය.

කෙලි සහ විජේවීර හැරුණුවිට  රැඳවුම් නියෝග යටතේ ජවිපෙ තවත් අය මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියේය. ඔවුන් අතර සෝමවංශ අමරසිංහ, රොස්මිඩ් නිමල්, දෙල්ගොඩ රාජා, වනිගබදු, ඩී.ඒ. ගුණසේකර, විරාජ් ප්‍රනාන්දු සහ සුසිල් සිරිවර්ධනද විය.

1971 කැරැල්ලට සම්බන්ධ බවට සැක කොට ලංකා සමසමාජ පක්ෂයේ පිරිසක්ද විශේෂ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටියේය. ඔවුන් අතර නීතිඥ වාසුදේව නානායක්කාර, නීතිඥ චන්ද්‍රපාල කුමාරගේද වූහ. ලංකා කොමියුනිස්ට් පක්ෂය (චීන පිල) නායක එන්. ශන්මුගදාසන්, ආරියවංශ ගුණසේකර සහ එච්.එම්.පී. මොහිදින්ද විශේෂ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටියේය.

මෙයට අමතරව 1971 සිදුවීම් සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිසක්ද අත්අඩංගුවට ගෙන විශේෂ රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන සිටියහ. ඔවුන් අතර කැකිරාවේ මහින්දසෝම සහ මැදවච්චියේ ප්‍රේමදාස යන දෙදෙනාද වූහ. එවකට විපක්ෂ නායක වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවි ජයවර්ධනද විශේෂ රැඳවුම් නියෝග යටතේ බන්ධනාගාර ගත කරන ලද නමුත් සෙසු සිරකරුවන් රඳවා සිටි වාට්ටුවට නොදමා විපක්ෂ නායකයා පැමිණ ඔහු කැඳවාගෙන ගිය බව සෙසු අයට දැනගන්නට ලැබී තිබේ.

1971 සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ රැඳවුම් නියෝග යටතේ එක් භික්ෂුවක් රඳවා සිටි අතර උන්වහන්සේ එජාපයේ ප්‍රබල හිමිනමක් වූ මීටියාගොඩ ගුණරතන හිමියෝය. එකලද මෙකල මෙන්ම දේශපාලන පළිගැනීම් මත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම හා හිරිහැරයට පත් කිරීම සිදුවිය. සිරිමා බණ්ඩාරනායක සහ ජේ.ආර්. ජයවර්ධන අතර දීර්ඝ කාලයක් පැවැති කෝන්තරයට හේතුව 1971දී ජේ.ආර්. ජයවර්ධනගේ පුත්‍රයා වූ රවි ජයවර්ධන අත්අඩංගුවට ගැනීම බව දේශපාලන අංශවල අදහස විය.

වසරකට ආසන්න කාලයක් යාපනය බන්ධනාගාරයේ සිර මැදිරියක රඳවා සිටි රෝහණ විජේවීර විශේෂ රැඳවුම් නියෝග යටතේ සිටින සෙසු  සිරකරුවන්ට හිමි පහසුකම් කිසිවක් ලබාදී නැත. අ¾දුරු සිර මැදිරියේ දිවා රාත්‍රි දෙකම රඳවා සිටි ඔහුගේ සරම සහ බැනියම දහදියටම දිය වී ගිය පසු ඔහු සිරමැදිරිය තුළ සිට ඇත්තේ නිරුවතිනි. රෝහණ විජේවීර භයංකාර ත්‍රස්තවාදියකු හා ජාතිවාදියකු ලෙස දමිළ බන්ධනාගාර නිලධාරීන්ට හ¾දුන්වාදීම නිසා ඔවුන් කිසිවකු විජේවීර සිටිනවාද කියා කුඩා සිදුරකින් ඇස තබා බලනවා හැර ඔහුට කිසිම සහායක් පළ කර නැත. අප්‍රේල් කැරැල්ලේ මහ නඩුව ආරම්භ වීමෙන් අනතුරුව කොළඹට ගෙනෙනතුරු රෝහණ විජේවීර එම දුෂ්කර ජීවිතය විඳ දරා ගෙන ඇත.

බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේ සිටි විශේෂ  රැඳවුම්කරුවන්ට මාස කීපයකට පසු පොදුවේ කතාබහ කරන්නට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී චීන පිලේ නායක එන්. ශන්මුගදාසන් සෙස්සන්ට පැහැදිලි කරදී තිබෙන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාව මත අපව රඳවා තබා ගන්නවා නම් detention order යටතේ සිටින්නන්ට නීත්‍යනුකූලව හිමිවිය යුතු සියලු පහසුකම් ඔවුන්ට හිමිවිය යුතු බවය.

ඒ අනුව වාසුදේව, චන්ද්‍රපාල කුමාරගේ, මොහිදීන් ඇතුළු නීතිඥයන් බන්ධනාගාර අධිකාරීන් සමඟ සාකච්ඡා කර ඇත්තේ තමන්ට අනෙකුත් සිරකරුවන්ට දෙන ආහාරපාන ලබාදීම නීතියට පටහැනි ක්‍රියාවක් බවය. අවසානයේ බන්ධනාගාර අධිකාරි ජෑන්ස් එම තර්කය පිළිගෙන detention order යටතේ සිටින සියලුම සිරකරුවන්ට විශේෂ ආහාරපාන සපයා ඇත.

ඒ අනුව ඔවුන්ට කිරි, බටර්, මස්, මාළු පවා සපයන්නට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විශේෂ රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින්නන් සිටින්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ පොලිසිය බාරේ නොවේ. ඔවුන් අධිකරණ නියෝගයක් මත සිරගත කරන ලද්දවුන්ද නොවේ. ඔවුන් රඳවා සිටින්නේ ආරක්ෂක ඇමැතිවරයාගේ නියෝග මත ආරක්ෂක ලේකම් භාරයේය. ඔවුන්ගේ ජීවිතවලට වගකිව යුත්තේ ආරක්ෂක ඇමැතිවරයාද වන ජනපති විසිනි.

උදේනි සමන් කුමාර