වැළලී යන්නට ඉඩ තිබුණු යාපනයේ කදුරුගොඩ විහාරයේ වැඩි දෙනකු නොදන්න කතාව

0
24

වත්මන් යාපනය අර්ධද්වීපයේ සැබෑ යටගියාවේ අතීත කතාව විමර්ශනය කෙරෙද්දී අපට හමුවන සුවිශේෂී ස්ථානයක් වන්නේ “කදුරුගොඩ විහාර පරිශ්‍රය”යි. එදා “කදුරුගොඩ” නම් වූ මෙම ප්‍රදේශය දෙමළ භාෂාව කතා කරන මිනිසුන්ගේ ව්‍යවහාර හුරුවට අනුව හඳුන්වන්නේ “කන්තරෝඩෙයි” කියලාය. මෙය, මෙරට බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී කාලවකවානුවක රහස් ගොන්නක් සඟවා ගත් ප්‍රදේශයකි. ඒ තරමටම මෙම විහාර පරිශ්‍රයෙහි නටබුන් රාශියක් විසිරී ඇත.

මෙම විහාර පරිශ්‍රයේ ගවේෂණයක යෙදුණු හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා විසින් උඩුවිල් කන්තරෝඩෙයි පාර දෙපැත්තේ අක්කර තුනහමාරක් සහ තවත් පර්චස් 3.8ක් “පුරාවිද්‍යා තහනම් ප්‍රදේශයක්” ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව ඔහු විසින් සටහන් තබන ලද 1965-66 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් වේ.

1965දී මෙහි කැණීම් කටයුතු සිදු කළ ගොඩකුඹුර මහතා ඉතා සියුම් ලෙස එම කටයුත්ත ඉටු කළේය. එහිදී පුරාවිද්‍යාත්මක නම නියමයන්ට අනුකූලව සොයාගත් කරුණු පිළිබඳ සඳහනක්ද ඔහුගේ වාර්තාවට එක් කර තිබුණේය. එහි සඳහන් මේ කොටස ඔබට මෙන්ම මේ පිළිබඳ අධ්‍යයනයක යෙදෙන ඒ කෙරෙහි උනන්දුවක් දක්වන පාඨකයන්ගේද ප්‍රයෝජනය සඳහා සඳහන් කිරීම වටී.

“මෙම ඉඩමේ ඊසාන කෙළවරෙහි ගොඩැලි සහිත වූත් පොල් හෝ තල් වැටීමක් නොමැති වූත් බිමකි. මේ ඉඩමේ ඊසාන කොන එපිට කෙළවරේ පොළොව මතුපිට සාංචියේ කර්මාන්තවලට සමාන ගල් වැට කැබැල්ලක් තිබිණි. බොහෝ ගෙවී ගිය අනෙකුත් ගල් රූකම් කැබැලිත්, මෙතැනින් ලැබුණු ඉඩමේ සමතලා නොවූ කොටසේ පාදම්ගල් ගණනාවක්ම තිබුණි. මේ කැණීමේ මුල් අවස්ථාවේදීම විශේෂයෙන් කැපී පෙනුණේ පාදම් තිබීමයි. සහාසමල්ල රජුගේ (පොළොන්නරු යුගයේ) කාසි ඇතුළු පැරැණි කාසි රැසක්ම මෙහිදී හමුවිය. පුන්කලස් සහිත මුරගල්, සිරිපතුල් ගලක් හා තවත් පුරාවස්තු රැසක් මෙහිදී තිබී හමු විය. මේ සෑම දෙයකින්ම ප්‍රකාශ වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය යාපනයේ කදුරුගොඩ පුදබිමෙහි වූ බවකි.”

මේ වෙද්දී ගොඩකුඹුර මහතාගේ පර්යේෂණ සටහනට අමතරව දැක්විය හැකි සාධක රැසක්ද මේ වන විට හඳුනාගෙන තිබීම මෙම කතාවේ යටගියාව තව තවත් මතු කරවන්නේය. මෙම විහාරය පිහිටා තිබෙන්නේ චුන්නාකම් – මනිපායි පාරේ, චුන්නාකම් හි සිට සැතපුම් දෙකහමාරක් පමණ දුරින් ඇති ස්ථානයකය. පුරාවිද්‍යාඥයන් හා තවත් පර්යේෂකයන් සොයාගෙන ඇති ආකාරයට “චුන්නාකම්” යන්න “හුණුගම” ලෙසත් “මනිපායි” යන්න “මිනිපේ” ලෙසත් හඳුනාගෙන තිබේ. මහනුවර යුගයේ ලියැවුණු කෘතියක් වන “නම්පොත” හි යාපනයේ කදුරුගොඩ විහාරයේ නාමයද සඳහන් වේ. ඉන් පෙනී යන්නේ එකලද බෞද්ධ ජනතාවගේ පූජනීය ස්ථානයක් ලෙස මෙම පුදබිම ප්‍රකටව තිබුණු බවය.

කදුරුගොඩ විහාර පරිශ්‍රයෙන් හමුවූ, මෙහි සැඟවුණු අතීත කතාව මතු කරන සාධක කුමක්ද යන්නද පැහැදිලි කළ යුතුය. මෙහි පැරැණි වටදාගෙවල්, දාගැබ්, විහාර, බුදු පිළිම, අවශේෂ සිරිපතුල් ගලක්, කොත් කැරැලි හා පොළොන්නරු යුගයට අයත් පැරැණි කාසි රැසක්ද තිබී හමු වී ඇත. පුරාවස්තු අතර එකල ඉතා වැදගත් ස්මාරකයක් සේ පුරාවිද්‍යාඥයන් සලකන අත්තානි කණු කිහිපයක කොටසද හමු වී ඇත. මෙලෙස ඒ ඒ කණු මත අදාළ පුදබිම වෙනුවෙන් කළ පරිත්‍යාග හා ඒවා කළ අයගේ නම් ගම් සඳහන් කිරීම එකල සිරිතකි. ඇතැම් කණුවල රූල් ගසා අකුරු කෙටීම සිරිතය. මෙවැනි කණු බොහෝදුරට ක්‍රිස්තු වර්ෂ 8 හෝ 9, 10 සියවස්වල සම්ප්‍රදායන්ට අයත් වූ ඒවා ලෙස සැලැකේ.

කදුරුගොඩ විහාර පරිශ්‍රයෙන් හමු වූ එවන් අත්තානි කණුවකින් ඉතිරිව තිබුණු කැබැල්ලක වැදගත් සාක්ෂියක් සටහන් වී තිබීම මෙහිදී විශේෂය. නව වැනි සියවසට අයත් වන, මෙහි සිංහල අකුරින්, පුදබිමට දෙනු ලැබූ දීමනාවක් ගැන සඳහන් වේ. මෙය ක්‍රිස්තු වර්ෂ 898-914 රජකම් කළ සතරවැනි කසුප් රජුගේ  ප්‍රදානයක් ලෙසින් පුරාවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව අනුරාධපුරයේ රජ කළ හතර වැනි කසුප් රජු යටතේ පැවැති පාලන ප්‍රදේශයක් වශයෙන් යාපනය අර්ධද්වීපය හඳුනාගත හැකිය. එහි භාවිත වූ සිංහල භාෂාව ඉතා පැහැදිලි ලෙස එම සාක්ෂිය ස්ථීර කරන්නේය.

මෙම පුදබිමෙහි පළමු කැණීමේ කටයුතු සිදු කර තිබෙන්නේ පොල් ඊ. පීරිස් මහතාය. ඒ 1917-1919 අතර කාලයේදීය. එහිදී කළ කැණීම්වලදී විහාර ගෙයක නටබුන්, බුදු පිළිමවල කොටස්, කුඩා දාගැබ් 60ක්, කොත් කැරලි සහ වෙනත් ගොඩනැඟිලි කොටස්ද උළුකැට, පැරැණි කාසි වර්ග රැසක්ද හමු වී ඇත. මෙහිදී හමු වූ දැකුම්කලු බුදු පිළිමයක හිසක් හා හිස නැති තවත් බුදු පිළිමයක්ද, බුදු පිළිම දෙකක බඳ කොටස්ද හමුවීම නිසා මේ කතාවේ ගැඹුරු යටගියාව මතු කරවන්නට සමත් වූයේය.

හමු වූ බුදු පිළිමයේ හිස කොටස පලුදු වී තිබුණත් එහි බුදු රදුන්ගේ “මහා කාරුණික බව හා සමාධියට සමවැදී සිටි ආකාරය” මැනවින් පිළිබිඹු කෙරෙන්නක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසය. මෙම පිළිම හිස අනුරාධපුරයේ රුවන්වැලි සෑ මළුවෙන් හමු වී ඇති බුදු පිළිමවලට බෙහෙවින් සමානකම් දක්වයි. සෙසු පිළිම අමරාවතී තිරුවාණ ගලට සමාන, හුනු ගලින් නිමවා ඇත. අමරාවතී බුදු පිළිම සම්ප්‍රදාය භාරතයේ ආන්ද්‍රා ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයන්හි දක්නට ලැබුණකි. ඉන් පුහුණු වූ ගල් වඩුවන් බොහෝය. එම සම්ප්‍රදාය මෙරටෙහි ද තැන තැන හමු වූ පිළිමවලින් පැහැදිලි වෙයි. විහාර පරිශ්‍රයෙන් හමු වූ හිස නැති බුදු පිළිමයද රුවන්වැලි සෑ මළුවෙන් හමු වූ පිළිමවලට සමානය. මෙයින් පැහැදිලි වන්නේ අනුරාධපුර රාජධානිය පැවැති සමයේ පවා කදුරුගොඩ විහාර පරිශ්‍රයට එම සම්ප්‍රදායන් බලපා ඇති ආකාරයයි. ඔබ යාපනයට ගිය දිනෙක යාපනයේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන මෙම පිළිම නරඹා මෙහි සැබෑව තවදුරටත් වටහාගත හැකිය.

කදුරුගොඩ විහාර පරිශ්‍රයෙහි දැනට ඉතිරිව තිබෙන්නේ කුඩා දාගැබ් 22ක් පමණය. තවත් කිහිපයක පාදම පමණක් මතු වී තිබෙන්නේ ඒවා විනාශ කර තිබෙන බැවිනි. මෙම දාගැබ්වල නිදන් කොට ඇත්තේ බුදුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා නොවන බවත් එහි තැන්පත් කොට ඇත්තේ මහරහතන් වහන්සේලාගේ ධාතූන් බවත් කියැවේ. එම මහරහතන් වහන්සේලා උතුරු අර්ධද්වීපයේ “පුවන්ගු දිවයින” හෙවත් පුන්කුඩුතිව් දූපතේ වැඩ සිටි බවත් එහි වැඩ සිටි මෙම මහරහතන් වහන්සේලා 60 නම පිරිනිවන් පෑ පසු උන්වහන්සේලාගේ ධාතු මෙහි තැන්පත් කොට තිබෙන බවත් කියැවේ.

මෙහි දාගැබ් ඉදිකිරීම සඳහා ඒ අවටින් හමු වූ හුනුගල් භාවිත කර තිබීමද සොයා ගෙන ඇත. මෙවැනි දාගැබ් ලංකාවේ වෙනත් ස්ථානවල දක්නට නැත්තේ ඒ නිසාය. එනිසා ප්‍රදේශයෙන්ම මේ සඳහා හුනුගල් නිපදවා ගන්නට පහසු බවක් පෙනෙයි. දැගැබ් මත අතුරා ඇති අඟල් 4×4 තරමේ ගඩොල්වල කුඩා වළවල්ද දක්නට ඇත. එම “හුනුගඩොල්” දිගු කාලයක්  ආරක්ෂා වීම සඳහා එලෙස නිමවාගත් බව සිතිය හැකිය.

හමුවූ ඉතා වටිනා පුරාවිද්‍යාත්මක සාක්ෂියක් මෙහිලා අතිශය වැදගත්ය. එය “අක්ෂර සහිත කළු _ රතු මැටි බඳුන් කැබැල්ලකි.” එය, ක්‍රිස්තු පූර්ව යුගයටද අයත් වූවකි. මෙහි සඳහන්ව තිබුණේ “දතහපත” ලෙසය. එම මැටි බඳුන පිලිස්සීමට පෙර එම අකුරු ලියා ඇත. එහි අදහස නම් “දත්තගේ පාත්‍රය” යන්නය. ඊටත් වඩා විශේෂයක් වන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරාන් දැරණියගල මහතාට අනුරාධපුරයේ ගෙඩිගේ පෙදෙසේ කළ කැණීමකදී හමු වූ මැටි බඳුන්වලට මේ කියන මැටි බඳුන බෙහෙවින් සමාන වීමය. එබැවින් මෙම “විහාර පරිශ්‍රය ක්‍රිස්තු පූර්ව යුගයද හා බැඳෙන බැව් පෙනෙයි.”

මෙහි තිබෙන ස්තූපවලින් විශාලතම ස්තූපයේ විෂ්කම්භය අඩි 23කි. කුඩාම ස්තූපයේ විෂ්කම්භය අඩි 6කි. මෙහි පාදම් බොරදම් සහිතය. ඒවාද අනුරාධපුර යුගයේ දාගැබ්වල බොරදම්වලට සමානය. ස්තූපද ඒකාකාරී බිම් සැලැස්මක නිර්මාණය කර ඇති බැව් පෙනෙයි.

පළමුවැනි පැරකුම්බා, නිශ්ශංකමල්ල. ලීලාවතී රැජින, බුවනෙකබාහු වැනි රජවරුන්ද රැජිනියන්ද මෙම විහාරයට අනුග්‍රහය දක්වා ඇති බැව් කියැවේ. එහෙත් ඉන්පසු කලෙක දෙවැනි සංගිලි රජු යාපනය ප්‍රදේශයේ පාලකයාව සිටි සමයේ මෙම විහාරය විනාශ කර දැමූ බවත් පැවැසේ. පෘතුගීසීන් සමඟ සටන් වැදුණු සංගිලි රජු ඉන් පරාජය විය. ඉන්පසු පෘතුගීසීන් විසින් මෙම විහාරය හඳුන්වා දී ඇත්තේ “කන්දරකුඩ්ඩෙයි” නමින්ය.

මෙය බෞද්ධ උරුමයක් වූ නිසාවෙන් 1948දී රජය විසින් මෙම භූමිය එවකට අයත්ව තිබුණු පෞද්ගලික ඉඩම් හිමියාගෙන් මිලට ගෙන තිබේ. අක්කර 7ක් ලෙස එදා මිලදී ගත්තද අද එහි ඉතිරි වී තිබෙන්නේ අක්කර 3ක් පමණය. මෙහි තවමත් පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කොට මේ බිමෙන් මතු කර ගත් සත්‍යයන් හා සාක්ෂි බොහෝය. නිසි පුරාවිද්‍යා ගවේෂණ හා ඒ වෙනුවෙන් කැපවූවන් මෙහිදී මතුවිය යුතුය. තවත් පරපුරකට යාපනයේ බෞද්ධ ඉතිහාසයේ සැබෑවන් උරුමකර දීමත් කියා දීමත් එහි සාක්ෂිත් රැකගත යුතුය.

සජිත් රෝහිත ලියනගේ

(පර්යේෂණ වාර්තා ඇසුරෙනි)