රන්ජන්ට මන්ත්‍රි පුටුව දීලා හරීන් ගෙදර යයිද?

0
202

ජනපති රනිල්ගේ සිරිමා බෝ වන්දනාව

ඉකුත් සති අන්තයේ අනුරාධපුර පෞරාණික රාජධානියේ ආගමික වතාවත්වල යෙදෙමින් අටමස්ථානය වැඳ පුදාගත් ජනාධිපතිවරයා රුවන්වැලි සෑය, ලංකාරාමය හා මිරිසවැටියද වැඳ පුදාගෙන දිවා ආහාරයෙන් පසු  මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණු වැවේ ඤාණතිලක නාහිමියන් හා සුහද කතාබහක යෙදී සිටියදී නා හිමියෝ ජනාධිපතිවරයාට පරණ කතාවක් සිහිපත් කරමින් මෙසේ පැවසූහ.

“අතීතයේ හිටපු හිඟන්නකුට පෙට්ටියක් හම්බවුණා. ඒක ලී පෙට්ටියක් නිසා මනුස්සයා මේක භාවිත කළේ හිඳගන්න පමණයි. මෙතනින් ගිය එක ප¾ඩිතුමෙක් මේ පෙට්ටිය දුටු විගස එය කුමක්ද ඒ තුළ ඇත්තේ කුමක්දැයි දැනගෙන හිටියා.  ඔබ ඔය පෙට්ටිය ඇරලා බලන්නයි කියමින් ප¾ඩිවරයා  යන්න ගියා. මේ පෙට්ටිය ඇතුළේ තිබුණේ මුතු මැණික්. අපිත් මහ නිධානයක් උඩ වාඩිවෙලා ඉන්න අය. ඔබතුමා තමයි පුරාණ කතාවේ ප¾ඩිතුමා වගේ මේ නිධානය ගැන දන්නේ. ඒ නිසා මේ නිධානය ගන්න අපට උදවු කරන්නයි” ඤාණතිලක හිමියන් කී විට ජනාධිපතිවරයා හිස සලා එය අනුමත කළේය. ජනාධිපති මේ නිධානය ගන්න උදවු කරාවි දැයි නාහිමියන් පමණක් නොව සමස්ත පුරවැසියන්ම බලා සිටිති.

උන්වහන්සේ මෙසේ සඳහන් කරන අවස්ථාවේ එහි සිටි රුවන් හා සාගල පෙන්වූ ජනාධිපතිවරයා කීවේ පක්ෂයට හොඳ නායක පරපුරක් ඉන්න නිසා මේ වැඩේ පහසු වෙයි කියායි.

රනිල් කවුද කියන එක තේරුණේ දැන් තමයි

ජනපතිගේ අනුරාධපුර ගමනේ ප්‍රධාන කටයුත්තක් වූයේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමයි. මෙම රැස්වීමට පැමිණි සිටි අය අතර වැඩි පිරිස වූයේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වීමයි. දිවා භෝජනයට පෙර ජනාධිපතිවරයා මන්ත්‍රිවරුන් අසුන්ගෙන සිටි මේසයෙන් මේසයට ගොස් ඔවුන් මුණගැසෙමින් කතා කිරීමයි.  මේ අවස්ථාවේ වූ විශේෂ සිද්ධිය මන්ත්‍රිවරුන් සංවිධායකයන් ජනාධිපති  සමඟ සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටිමයි.  එස්.එම්. චන්ද්‍රසේන හා ෂෙහාන් සේමසිංහ හිටපු  ඇමැතිවරු රුවන් හා සාගල ඇතුළු පිරිසක් සමඟ බර කතාවක යෙදී සිටියහ. චන්ද්‍රසේන හිටපු ඇමැතිවරයා රනිල් වර්ණනා කරමින් පැවසුවේ “රනිල් කියන්නේ කවුද කියන එක අපිට මේ දවස් ටිකට හොඳටම තේරුණා.  මොකද අපි මීට පෙර එතුමාව ළඟින් ආශ්‍රය කරලා නෑනේ. දැන් තමයි තේරෙන්නේ එතුමාගේ දැනුම හා බුද්ධිය ගැන.”

රනිල් ගැන වර්ණනා කළ දෙදෙනාම පොහොට්ටුවේ මන්ත්‍රිවරුය. කැබිනට්  මණ්ඩලයේ වෙනසක් ළඟදීම සිදුවීමටද නියමිතය.

රනිල්ගේ සර්වපාක්‍ෂික ආණ්ඩුවට දේශපාලන පක්‍ෂවල සහාය මන්දගාමී වෙලා

වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ රටට සර්වපාක්‍ෂික ආණ්ඩුවක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිරන්තරයෙන් කථා කළත් ඔහු අපේක්‍ෂා කරන ආණ්ඩුවක් ගොඩනඟන්නට දේශපාලන පක්‍ෂවල පූර්ණ සහයක් නොලැබෙන බව පෙනෙන්නට තිබේ. පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ජනාධිපතිවරයා සර්ව පාක්‍ෂික ආණ්ඩුවක අවශ්‍යතාව ගැන අදහස් දැක්වීමක් කළේය. සර්වපාක්‍ෂික ආණ්ඩුවකට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ බහුතරයක සහයෝගය අවශ්‍ය බව ජනපති කීවේය. ඒ නිසා පක්‍ෂ සමඟ තමා සාකච්ඡා කොට එම පක්‍ෂවල සහයෝගය ලබාගැනීමට ක්‍රියා කරමින් සිටින බවත්, සජබ සර්වපාක්‍ෂික ආණ්ඩුවකට සම්බන්ධ නොවන බවට ඍජුව ප්‍රකාශ කර තිබෙන අතර පිහිටුවන්නට යන කමිටුවලට සහාය ලබාදීමට කැමැත්ත පළකොට තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.

“මට ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට කෙසේ හෝ 113 දෙනකුගේ සහයෝගය ලබාගන්න වෙනවා. එය සර්වපාක්‍ෂික ආණ්ඩුවක් වෙන්නත් පුළුවන් නැත්නම් පක්‍ෂ කිහිපයක ආණ්ඩුවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඉදිරි සතිය දෙක තුළදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා” යි ජනාධිපති ඔහුගේ සැලැස්ම ගැන කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය.

පොහොට්ටුව තුනකට කැඩේ

පොහොට්ටුව දැන් දෙකට තුනට කැඩිලාය. බැසිල් කණ්ඩායම, අනුර යාපා කණ්ඩායම හා ඩලස් කණ්ඩායම ලෙස දැනටමත් වෙන්ව දේශපාලන වන්දනාවේ යන්නට පටන්ගෙන තිබේ. ඩලස්  – ජී.එල්. කණ්ඩායම පසුගිය සිකුරාදා එවැනි දේශපාලන වන්දනාවක යෙදුණේ රජරට ඓතිහාසික අනුරාධපුරයේයි. කාලයක් තිස්සේ ශ්‍රී ලනිපය මුලසිටම දේශපාලන ගමන් ඇරැඹුවේ බුදුන් වහන්සේගේ පහස ලැබූ රජරටිනි. පොහොට්ටුවෙන් වෙන්ව ස්වාධීන වූ ඩලස් – ජී.එල්. කණ්ඩායම ඔවුන්ගේ නව දේශපාලන සංවිධානයේ මන්ත්‍රිවරුන් බස් රථයකින් වන්දනාවේ යෙදුණේ තම දේශපාලන සංවිධානයට ආශීර්වාද ලබාගැනීමටය.

සිකුරාදා රාත්‍රි වනවිට අනුරාධපුරයට ගිය මන්ත්‍රි කණ්ඩායමේ රාත්‍රි නවාතැන වූයේ වෙස්සගිරි සූරිය රිසෝට්ය. ඔවුන් ආශීර්වාදය ලබන්නට මුල් ආගමික ස්ථානය ලෙස තෝරාගත්තේ ශ්‍රී  මහා බෝ සමිඳුන්ය. සෙනසුරාදා අලුයම බෝ සමිඳු අබියස කිරි ආහාර පූජාව පවත්වා සිරිමහ බෝ සමිඳුගේ ආශීර්වාදය ලබාගත්හ.

මන්ත්‍රිවරු බස් එකකින්ය නවා දැක්කාමයි

වෙනදා සුඛෝපභෝගී රථවලින් එන මන්ත්‍රිවරු බස් රථයකින් වන්දනාවේ පැමිණ සිටි දසුන දුටු, විටක්ද හපමින් සිටි පුද්ගලයකු කෝචොක් එකට වගේ කීවේ ‘මන්ත්‍රිතුමාලා බස් එකකින් එනවා දැක්කමයි‘ කියායි. වැඩිදුර කතා කරන්නට නොගිය ඩලස් ‘අපි ආවා මහත්තයෝ ජයසිරි හාමුදුරුවෝ වැඳ පුදා ගන්න’ කියමින් වැඩේ වරද්දා ගන්න ගියේ නැත.

පැමිණ සිටින්නේ මන්ත්‍රිවරු පිරිසක් බව හඳුනාගත් බෝධි මළුවට පැමිණ සිටි පිරිස මන්ත්‍රිවරුන්ට කීවේ බඩු මිල ඉහළ යෑමෙන් තමන්ට ජීවත්වන්නට තිබෙන අපහසුතාව ගැනයි. නිසි කලට ගොවිතැනට පොහොර නොලැබීම ගැන ඔවුහු ආඩපාලි කියන්නට වූහ. හැමදේටම කතා කරන ඩලස් ‘මේ හැමදෙයක්ම අපි ආශීර්වාදයක් කරගනිමුයි‘ කියමින් නිහඬ විය.

අපි කන හැටි ළිපා දනී

වන්දනාකරුවන් අතර සිටි එක් කාන්තාවක් ‘තමුන්නාන්සේලා ගිහින් ආණ්ඩුව කරන අයට කියන්න මිනිස්සු ජීවත්වෙන්නේ අමාරුවෙන් කියලා. තුන්වේල කන්නෙත් නැති තරම්. කුස්සියේ ළිප පත්තු කරන අමාරුව දන්නේ අපි මහත්තයෝ’ තරමක ආවේගයකින් කියද්දී නඩේගුරු මෙන් පෙනී සිටි ඩලස්, ඔබතුමිය කියන දේ අපිට හොඳින් තේරෙනවායි කියමින් ජය ශ්‍රී  බෝ සමිඳු වැඳ පුදාගෙන රුවන්වැලි මහ සෑය වැඳගන්නට ගියහ. මහ සෑ රදුන් වැඳපුදා ගත් මන්ත්‍රි පිරිසට මහ සඟරුවන සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශීර්වාද පැතූහ.

මෙහිදී පල්ලේගම හේමරතන නාහිමියන්ද බැහැදැක සුවදුක් විමසා ආශීර්වාද ලබාගත්හ. නාහිමියන් මන්ත්‍රි කණ්ඩායමට අනුශාසනාවක්ද කළහ. එය ටිකක් ගැඹුරු එකකි. “වර්තමානයේ ඉන්න බොහෝ දේශපාලනඥයන් බෝම්බ වගේ රූපලාවණ්‍ය ශිල්පියෝ ඒ අයව හොඳට ලස්සනට හැඩ කරලා, පාට කරලා ජනතාව ඉස්සරහට එවනවා. ජනතාවත් ඒ රූපයට රැවටෙනවා. බලය ගත්තට පස්සේ රට පාලනය කරගෙන යනකොට තමයි පේන්නේ ඒ අයට ඔළුවක් නැති බව. ඔළුව තියෙන, ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන් පිරිසක් තමයි මේ මොහොතේ රටට අවශ්‍ය” නාහිමියෝ කීහ. උන්වහන්සේ ඔළුව නැති ලස්සන පුද්ගලයා කවුරුන්දැයි කීවේ නැත.

රජරට අටමස්ථානය වැඳ පුදාගත් මන්ත්‍රි කණ්ඩායමට ටිකක් කල්පනා කරන්නට ප්‍රකාශයක් කළේ ලංකා රාමාධිපති රළපනාවේ ධම්මජෝති හිමියෝයි. පිරිසට ආශීර්වාද කරමින් “මහත්තයෝ මේ වෙලාවේ ලංකාවේ ජනතාව නිධානයක් උඩ වාඩිවෙලා හිඟාකමින් ඉන්නේ. මේ තත්ත්වයයි වෙනස් වෙන්න ඕනෑ. ඒකට ඔළුව තියෙන පිරිසක් එක්වෙලා ඉන්නවා කියලා හිතෙනවා”යි කීහ. ඔළුව තියෙන පිරිසක් ගැන උන්වහන්සේ සඳහන් කළවිට එහි සිටි පිරිස මහත් සතුටට පත්වූවාට නම් සැක නැත. ඔළුව තිබුණත් බොහෝ දේශපාලනඥයන්ට මොළය නැති බැවිනි. දේශපාලනඥයන් ගැන ජනතාව අතර කියමනක්ද මේ වෙලාවේ මතකයට එනවා. ‘මොළය තියෙන කොට බලය නෑ. බලය තියෙන කොට මොළය නෑ’.

මන්ත්‍රි කණ්ඩායමට උදේ ආහාරය හා තේ පැන් සංග්‍රහය සංවිධානය කර තිබුණේ මිරිසවැටිය විහාරයේ රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක මහ නාහිමියන් විසිනි. තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව පරණ සිද්ධි සිහිපත් කරමින් කතාබහක යෙදුණු නාහිමියෝ අනුශාසනාවක් කරමින් “හොඳින් මතක තියාගන්න සිංහයා පැරදුණේ උෟරට විතරයි. ඒ උෟරට බයේ නොවෙයි. උෟරා අසූචි තවරාගෙන ආපු හින්දා. අසූචි නාගෙන එන විදිහ දැකල කිට්ටුවෙන්න කැත නිසා සිංහයා කිව්වලු අනේ! ආයුබොවන්ඩ, ඔහේ දිනුම් කියලා. එහෙම කියලා සිංහයා උෟරව මඟහැරියා. ඒ නිසා ඒවා ඔළුවේ තියාගෙන ඉදිරියට යන්න” කීහ.

අසූචි තවරාගත් උෟරා නාහිමියන් දේශපාලන වශයෙන් උපහරණයට ගත්තත් උෟරා ගැන කීවේ නැත. එසේ නොකීවේ බොහෝ දේශපාලනඥයන් අසූචි තවරාගත් උෟරන් නිසාදැයි දන්නේ නැත. සිංහයා ගැනත් උන්වහන්සේ හැඳින්වීමක් කළේද නැත. එසේ නොකළේ එවැනි සිංහයන් දේශපාලනයේ නැති නිසා දැයි දන්නේද නැත.

රාජ්‍ය ඇමැතින්ට කැබිනට් බලතල දෙන්න එපාලු

ජනාධිපතිවරයා පසුගිය 25 වැනිදා පොහොට්ටුවේ හිටපු රාජ්‍ය ඇමැතිවරු සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එහි අරමුණ වී තිබුණේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී එම අමාත්‍යාංශවලට අදාළ රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීම සම්බන්ධයෙනි. ජනාධිපති දේශපාලනයෙන් හොඳට තෙම්පරාදු වූ අයකු නිසා ඔහු අමු අමුවේම ඒ ගැන සඳහන් නොකර හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වටේ ගෙනියන්නට සූදානම් විය.

රනිල් මුලින්ම කීවේ අපිට දැන් අයි.එම්.එෆ්. එකත් කළමනාකරණය කරන්න වෙලා තියෙනවා. කැබිනට් ඇමැති තනතුරු වැඩිපුර දෙනවට අයි.එම්.එෆ්. එක කැමැති නෑ. ඒ ගැන සිතා බලල තමයි රාජ්‍ය ඇමැතිවරු පත්කරගන්න වෙන්නේ. රාජ්‍ය ඇමැතිවරුන්ට කැබිනට් බලතල දෙනවට කැබිනට් ඇමැතිවරු කැමැතිත් නෑ. ඒ නිසා නියෝජ්‍ය ඇමැති තනතුරු දෙන්න කල්පනා කරලා තියෙනවා කියායි.

ජනාධිපතිගේ එම කතාවට හිටපු රාජ්‍ය ඇමැතිවරුන් වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මෙහිදී ලොහාන් රත්වත්තේ සහ සනත් නිශාන්ත හිටපු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනා අකැමැත්ත පළකළ බව දැනගන්නට ඇත.

කොහොමත් ටිකක් කටකාර සනත් නිශාන්ත හිටපු රාජ්‍ය ඇමැතිවරයා ජනාධිපතිට කියා තිබෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වුණේ යකා දොඩම්ගොඩ බදාගන්න ගියා වගේ වැඩක්. හැමදේම බදාගන්න ගිහින් එතුමට එකක්වත් නැතිවුණා. ඔබතුමා නම් ඒ වැඩේ කරගන්න ලෑස්ති වෙන්න එපායි කීවේය.

සනත්  නිශාන්තගේ කතාවට ජනාධිපති දුන්නේ හිතාගන්නවත් බැරි උත්තරයකි. අපි 2024 ඡන්දයකට යනවා නම් අනිවාර්යයෙන්ම එහා  පැත්තේ ඉන්නා අයත් මෙහා පැත්තට ගන්න වෙනවා. ජනාධිපතිගේ උත්තරයට හිටපු රාජ්‍ය ඇමැතිවරු කොහොමටත් එකඟත්වය දැක්වූයේ නැත.

සාකච්ඡාව අවසන් වී හිටපු නියෝජ්‍ය ඇමැතිවරු එළියට එද්දී මොනව කරන්නත් කලින් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රි ටික රැකගන්නයි ජනාධිපතිට සිද්ධවෙන්නේයි කියා ඇත. ඔවුන් අදහස් කරන්න ඇත්තේ අපි නැතිව එයාට ජනාධිපතිකම් කරන්න බෑ කියාද?

අවශ්‍ය වෙලාවට ඉන්ධන නොලැබුණොත් ගොයම් කපා ගන්න බැරිවෙනවා

පසුගිය සඳුදා (22) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් ලෙස නොලැබීම ගැන දිගු සාකච්ඡාවක් පැවැත්විණි. සාකච්ඡාවට මුලපිරුවේ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරයි. ඔහු විශේෂයෙන් කීවේ මේ දිනවල කුඹුරු අස්වැන්න නෙළීම ආරම්භ වී තිබෙන බැවින් ගොයම් කැපීම පැගීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍රවලට අවශ්‍ය ඉන්ධන කලට වේලාවට නොලැබීම නිසා ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවයි. වී අස්වනු නෙළීම කලට වේලාවට කළ යුත්තක් බවත්, එය ප්‍රමාදවීමෙන් ගොවියාට විශාල පාඩුවක් දැරීමට සිදුවන බවත්, ලැබී ඇති අස්වනු පවා ප්‍රයෝජනයකට නොගෙන ඉවත දැමීමට පවා සිදුවිය හැකි බවත්ය. එසේම ධීවර ජනතාවට ඉන්ධන ප්‍රශ්නය නිසා ඔවුන්ගේ ජීවන වෘත්තිය කරගෙන යා නොහැකිව විඳින අපහසුතා ගැනද ඔහු මෙහිදී අදහස් දැක්වීය.

හාල් හිඟයක් ගැන අවදානම පහවෙලාලු

මේ දිනවල වී අස්වනු නෙළීම ආරම්භ වී තිබීමත් ඉදිරියේ රටේ හාල් හිඟයක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් ඇති නොවන බැවින් හාල් ආනයනය කිරීම අත්හිටුවිය යුතු බවද අමරවීර කීවේය. කෘෂි ඇමැති අමරවීරගේ එම ප්‍රකාශයට විරුද්ධවූ වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු හාල් ආනයනය නතර නොකළ යුතු බව කීවේය. පවතින හාල් මිල අඩු කළ හැක්කේ හාල් ආනයනයෙන් බවද ඔහු කීවේය.

විශාල වශයෙන් හාල් තොග ආනයනය කර තිබෙන්නේ කිලෝව රුපියල් 148 කට බවත් අලෙවි කරන්නේ කිලෝව රුපියල් 193ට බවත් මෙහිදී පවසා ඇති ඇමැති අමරවීර, හාල්වලින් ස.තො.ස. විශාල ලාභයක් ලබන බවත් පෙන්වා දී ඇත.

මේ දිනවලදී මහා මෝල් හිමියන් මෙන්ම කුඩා මෝල් හිමියන්ද වී මිලදී ගන්නේ අඩු මිලකට බවත් මේ තත්ත්වය නිසා ඇතැම් විට මහ කන්නය වගා කිරීමෙන් ගොවීන් ඉවත් විය හැකි බවත් අමරවීර ඇමැතිවරයා කියද්දී වෙළෙඳ ඇමැති පවසා තිබෙන්නේ ඒ වුණත් හාල් ගෙන්වීම නතර නොකරන බවයි.

මේ සාකච්ඡාවට සහභාගි වූ ඇමැතිවරුන්ගේ බහුතරයක් නියෝජනයක කර තිබෙන්නේ නාගරික ප්‍රදේශ බැවින් ඔවුන් වැඩියෙන් කතා කර තිබෙන්නේ පාරිභෝගිකයා ගැන මිස වී ගොවියා ගැන නොවේ.

ඇමැති මණ්ඩලයේ වැඩියෙන් වී වගා කරන ප්‍රදේශවල ජනතාව නියෝජනය කරන්නේ මහින්ද අමරවීර හා රොෂාන් රණසිංහ ඇමැතිවරුන් දෙදෙනා වන අතර මෙදින රැස්වීමට රණසිංහ ඇමැතිවරයා නොපැමිණ සිටීමෙන් වී ගොවියා වෙනුවෙන් පෙනී සිටින්නට සිදුවූයේ අමරවීරට පමණි.

මෙහිදී ජනාධිපතිවරයා විෂය භාර ඇමැතිවරුන්ට දැනුම් දී තිබෙන්නේ වී ගොවියා, ධීවරයා ඇතුළු ඉන්ධන අත්‍යවශ්‍ය පිරිසට ප්‍රමාණවත් ලෙස ඔවුන්ගේ සේවා කටයුතු කරගෙන යෑමට ඉන්ධන සපයා දෙන ලෙසයි.

අරගලය මර්දනය කරන ආණ්ඩුවට අපි නෑ

“සියලු වාදභේද අමතක කොට, මතවාද මොහොතකට පසෙකින් තබා මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පරාජය කරන්න එකතුවෙමු”

සජිත් කීවේය.

“ත්‍රස්තවාදය වැළැක්වීමේ කිරීමේ පනත උපයෝගී කරගනිමින් ආණ්ඩුව මේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටිනවා. ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හෝ නැති කිරීමට කිසිවකුට අයිතියක් නෑ. හැබැයි එහෙම එනවා නං අපි සමස්ත පොදු ජනතාව එක්ක අරගලය ආරම්භ කරනවා.”

සජිත් කීවේය.

රැස්ව සිටි සිවිල් ක්‍රියාකාරීන් සහ දේශපාලන නියෝජිතයන් සමඟ බොහෝවෙලා අදහස් හුවමාරු කරගත් සජිත් රැස්වීමෙන් පිටත් වූයේ  වැඩසටහන් කිහිපයකටය.

ගෝඨාභය ආපසු එන කතාව

“දැන් ගෝඨාභය ආපහු ලංකාවට එනවලු. ඒ අතරේ ඇමැතිවරුන්ගේ ලිස්ට් එකක් බැසිල්ගේ අනුමැතිය ඇතිව රනිල්ට යවලාලු.”

සජිත්ගේ කීවේ කලාකරුවන්ගේ  අත්පොළසන් නාදය මධ්‍යයේය.

“මේ වෙලාවට පුංචිවට හරි කලාකරුවන් සුබසාධනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. ඒකට වැඩි කාලයක් ගන්නේ නෑ, සති දෙකක් තුළ ක්‍රියාත්මක කරනවා” සජිත්ගේ කීවේය.

කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ජන අරගලය වෙනුවෙන් මැදිහත් වෙමින් එතෙක් පැවැති ක්‍රමය වෙනස් කිරීමට ලබාදුන් දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකි බව පැවැසූ විපක්ෂ නායකතුමා, එහෙත් මිනිසුන්ගේ පීඩාවන් මත ගොඩනැඟෙන අරගලය ත්‍රස්තවාදයක් ලෙස වර්තමාන ජනාධිපති සහ ආණ්ඩුව සලකන බවද පැවැසීය.

ආණ්ඩුව අතිශය දුර්දාන්ත  ලෙස මර්දනය සිය අවිය බවට පත් කොට ගෙන සිටින තත්ත්වයක් තුළ, “මර්දනයට එරෙහි ජන පෙළගැස්ම” (24) පැවැත්විණි.

 ඒ, දේශපාලන පක්‍ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන්, බහුජන සංවිධාන සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.

එම අවස්ථාවට බි්‍රතාන්‍ය, කැනඩා, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා ඇතුළු තානාපති කාර්යාලවල නියෝජිතයන්ද පැමිණ සිටි අතර විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් ද ඊට එක්ව සිටියහ.

විපක්ෂ නායක සජිත් ද ඊට එක් වුණේය. තෙරපි පක්ෂ නායක කාර්යාලට පැමිණි සජිත් රැස්වීම් කිහිපයකට සම්බන්ධ වීමෙන් අනතුරුව සවස එම කටයුත්තට පිටත් වුණේ රාජිතද”

විපක්ෂ නායක කාර්යාලයේ දී රාජිත කීවේය.

“දැන් ආපහු ඩීලුයි නාඩගමුයි කරළියට එනවා. මතක තියාගන්න ගෝඨාභය මේ අය ගේන්නේ පාවාඩ දාලා. මීට මාසෙකට කලින් මේ ගෝඨාභය මේ රටෙන් පන්නපු බව දැන් මෙයාලට අමතකයි. අපේ නායකතුමා තනතුරු ගන්න නොගිය එක මොන තරම් වටිනවාද කියලා දැන් තමා තේරෙන්නේ” අශෝක් අබේසිංහ කීවේය.

“අර කතාවක් තියෙනවානෙ අපි කරපු දේ හරිද වැරදිද කියන එක පිළිබඳව ඉතිහාසය විසින් ඔප්පු කරයි කියලා. එදා ජනාධිපතිකම් අගමැතිකම් නොගෙන අපි කරපු දේ හරිද වැරදිද කියල අනාගතය විසින් ඔප්පු කරයි” සජිත් කීවේය.

ස්වාධීන පක්‍ෂ එකමුතුවේ නව සභාගය

ස්වාධීන පක්‍ෂ එකමුතුවේ නව සභාගය සැප්තැම්බර් 4 වැනිදා ඉරදා ඇරැඹෙන මංගල සමුළුවත් සමඟ ජනගත කිරීමට නියමිතය. නව සභාගයේ නාමය මෙන්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළද මෙදිනම ප්‍රකාශයට පත් කෙරේ.

ස්වාධීන පක්‍ෂ එකමුතුවේ නායකයන් පසුගිය 23 වැනිදා බොරැල්ල කොමියුනිස්ට් පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ රැස්වීමේදීම ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කොට සාමාජික පක්‍ෂවල යෝජනා ද සැලකිල්ලට ගෙන ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළ මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ. මෙම වැඩපිළිවෙළේ විශේෂත්වය වන්නේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සැපැයීම මඟින් රට අභිවෘද්ධිය කරා ගෙන යෑම අරමුණ බව ජා.නි.පෙ. නායක විමල් වීරවංශ කියයි. විමල් වීරවංශ පවසන්නේ දේශපාලන වේදිකාවල රැඩිකල් සටන් පාඨ ඉදිරිපත් කළාට වැඩක් නැති බවයි. පළමුව ඒ ප්‍රශ්නවලට උත්තර සපයන දේශපාලන සංවාදයක් ගොඩනැඟීම වැදගත් බවයි.

එකමුතුවේ පක්‍ෂ නායක රැස්වීමේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව කියන්නේ විපක්‍ෂයේ ඉඳගෙන ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර පිළිබඳව සාකච්ඡා කරද්දී ආණ්ඩුව IMF සාකච්ඡා හා ඇමැති තනතුරු බෙදාගැනීම පිළිබඳ සාකච්ඡා පමණක් බවයි.

එකමුතුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හා වැඩපිළිවෙළෙහි අවසන් කෙටුම්පත ලබන අඟහරුවාදා එකමුතුවේ පක්‍ෂ නායක හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මංගලගේ නිවෙසේ ගෙවූ සැමරුම් සැ¼දෑව

හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වීමේ වර්ෂ පූර්ණ පින්කම ඉකුත් බදාදා 24 වැනිදා සවස බොල්ගොඩ පිහිටි “රේන්බෝ එන්ඩ්” නිවෙසේදී පැවැත්විණි. අලුත් දේශපාලන ගමනක යෙදී සිටි මංගල ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක දේශපාලන මත ප්‍රකාශ කළ අයෙකි. කුමන බාධා විවේචන එල්ල වුවත් මංගල කියන්නට තිබෙන දේ නොබියව ප්‍රකාශ කළ අයෙකි. මංගල අභාවප්‍රාප්ත වී වසරක් ගෙවුණු පසුගිය 24 වැනිදා ඔහු අනුස්මරණය කරන්නට දේශපාලන හිතවතුන්, සමීප මිතුරන්, ඥාතීන් ඇතුළු පිරිසක් නිවෙසට පැමිණ සිටියහ.

ඔවුන් අතර ජනාධිපති රනිල් ද විය. හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ටිරාන් අලස්, කංචන විජේසේකර, රවි කරුණානායක ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. ජනාධිපතිවරයා රෑ බෝවනතුරුම එහි රැඳී සිටිමින් පැමිණ සිටි පිරිස සමඟ සාකච්ඡා කරමින් සිටිනු දක්නට ලැබිණි.

බන්දුලගෙන් ලේක්හවුසියට දෝස්මුරයක්

රජයට අයත් ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයත් ප්‍රවෘත්ති පළ කිරීමේදී තමාගේ ඡායාරූපය යෙදීම සම්බන්ධයෙන් ඇමැති බන්දුල ගුණවර්ධන සිය බලවත් අප්‍රසාදය ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පළ කර තිබෙන බව වාර්තා වේ.

බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය ප්‍රකාශකයි.

ඔහු පවසන්නේ කැබිනට් ප්‍රකාශක ලෙස වෙනත් අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා පැහැදිලි කරන විට ඒ සම්බන්ධ ප්‍රවෘත්තිවලට අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ ඡායාරූප වෙනුවට කැබිනට් ප්‍රකාශකවරයා ලෙස තමාගේ ඡායාරූප යොදා ගැනීම සදාචාර සම්පන්න නොවන බැවින් සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන මේ පිළිබඳව දැනුවත් කරන්නැයි ගුණවර්ධන ඇමැතිවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දී තිබේ.

අරගලයේ තරුණ පිරිසක් වජිර හමුවීම

එජාප සභාපති වජිර දියත්කර තිබෙන ජනතා ගැටලු විසඳීමේ වැඩපිළිවෙළට  ගෝල්ෆේස් අරගල භූමියේ නවාතැන් ගෙන අරගලය සමඟ එක්ව සිටි කණ්ඩායමක් පසුගිය බදාදා වජිර හමුවීමට සිරිකොතට  පැමිණියහ. ඔවුන් එසේ පැමිණියේ සිය අපේක්ෂාවන් හා ඒවා ඉටුකර ගැනීමට වත්මන් රජය අනුගමනය කරන ක්‍රියාවලිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටය.

එම පිරිස වජිරට කීවේ, අරගලය ආරම්භයේ සිටම තමන් එහි රැඳී සිටි බවත්, ඉන් ඉවත්වූයේ ජනාධිපති සහ රජය කෙරෙහි යම් බලාපොරොත්තුවක් ඇති බවත් අදටත් ඒ බලපොරොත්තුව තමන් තුළ තිබෙන බවද ඔවුන් වජිරට දැනුම් දුන්නේය. අරගලයේ නිරත වූ තරුණ තරුණියන් පසුපස හඹා යමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය පිළිබඳව කරුණු දැක්වූ එම පිරිස මේ ගැන වජිරගේ මතය කුමක්දැයි විමසුවේය.

අරගලයෙන් සමාජ පරිවර්තනයක් වුණාලු

රටේ ඇති වූ අරගල හා ඒවායේ ඉතිහාසය ගැනද දිගු විස්තරයක් කළ එජාප සභාපතිවරයා අරගලකරුවන්ට කීවේ මෙහෙම කථාවකි.

“පසුගිය කාලය තුළ ශ්‍රී  ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බලවත් තර්ජනයන් හා මහජනතාවට ඇතිවූ පීඩනය නිසා ඇති වූ අරගලයක ප්‍රතිඵලයක් ලෙස සමාජ පරිවර්තනයක් සිදුවුණා.  ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමත්,  අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙනුත් පසු ශ්‍රී  ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වශයෙන් පත්වීම ප්‍රජාතන්ත්‍රවාදය ලද බලවත් ජයග්‍රහණයක් බවය.

සමාජ පීඩනය නිසා ගෝල්ෆේස් පිටියට ජනතාව එකතු වුණේ සමාජ වෙනසක්, දේශපාලන වෙනසක් අවශ්‍යය කියන අරමුණක් ඇතිවයි. එය හොඳින් තේරුම් ගෙන ඇති වික්‍රමසිංහ ජනාධිපතිතුමා අදාළ කටයුතු ඉදිරියට ගෙන යමින් සිටිනවා යැයිද ඔහු කීවේය.

වජිර මෙහෙම කතාවක්ද කළේය. ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන අරගලකරුවන් මර්දනයට ජනාධිපති හෝ රජය කටයුතු කරන්නේ නැහැ. නීතිය හා සාමය ස්ථාපිත කිරීම පාලනයක වගකීමයි. එය ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් ඉටුකිරීම ජාතිය හමුවේ කළයුතු සුවිශේෂ කාර්යයක්.

විපක්ෂ නායකයාත්, විපක්ෂයේ මන්ත්‍රිවරුන් හා අරගලයට සහාය පළ කළ ඇතැම් භික්ෂුන් වහන්සේත් කියන්නේ ආණ්ඩුව අරගලයට සම්බන්ධ වූ තරුණයන් පසුපස හඹාගොස් ඔවුන් අත්අඩංගුවට ගන්නා බව හා ඔවුන්ට එරෙහිව පොලිසිය මෙහෙයවමින් නඩු පවරන බවයි. පසුගියදා භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් මේ චෝදනාව කළ අවස්ථාවේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් කීවේ කිසිවකුට චෝදනා නැතිව අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි.  කෙනකු නීතියට විරෝධීව කළ වරදකට ප්‍රශ්න කිරීම, තොරතුරු සත්‍ය නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම වරදක්ද? නීතිඥ මහත්වරුන් එදා කළා සේ චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කරන විට අත්පොළසන් දෙමින් මල්මාල දමා පිළිගන්නැයි මේ රටේ සාමකාමී, නීතිගරුක ජනතාවට කියනවාද වරදක් කළා නම් කළ බව ඔප්පු වී තිබේ නම් දඬුවම් දීම වරදක්ද?

දේශපාලන වශයෙන් පළිගන්නා ස්වරූපයකින් පුද්ගලයන් අල්ලා හිරිහැර කර හිරේ විලංගුවේ දැමීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත්වන ජනතාවට කිසිසේත් අනුමත කරන්නට බැරිය. ඒ තත්ත්වය පාලකයන් මෙන්ම නීතිය ක්‍රියාත්මක කරවන අයද මතකයේ තබාගත යුත්තකි.

රන්ජන්ට මන්ත්‍රිකම භාර දී හරින් ගෙදර යායුතුයි

සිරදඬුවම් විඳිමින් බන්ධනාගාරගතව සිටි රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දුන්නොත් තමා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත්ව එම අවස්ථාව රන්ජන්ට දෙන බව පැවැසූ හරින් ප්‍රනාන්දුට දැන් එම දේශපාලන පුණ්‍යකර්මය කරන්නට අවස්ථාව පෑදී තිබේ.

රන්ජන්ට තමාට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රි පදවිය ලබාදෙන බව හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදීත් රූපවාහිනි දේශපාලන වැඩසටහන්වලදීත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබිණි.

බෙනට් රූපසිංහ