මින්නේරියේ අලි 350කට වෙච්චි දෙයක් නෑ

0
357

මින්නේරිය ජාතික උද්‍යානයේ වැව් පිටිවල වාර්තා වූ අලි ඇතුන් සංඛ්‍යාව වසර හයක් ඇතුළත 389 සිට 50 දක්වා අඩු වී ඇතැයි හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයකු සහ වනජීවී පර්යේෂකයකු වන ආචාර්ය සුමිත් පිලපිටිය පවසයි. එම වන උද්‍යානයේ අලි ඇතුන් පිළිබඳව   දීර්ඝකාලීන අධ්‍යයනයක් පදනම් කරගෙන පිලපිටිය මහතා තම නිරීක්ෂණ මෙසේ ඉදිරිපත් කර ඇත.

ආචාර්ය සුමිත් පිලපිටිය 2016 සිට 2021 දක්වා සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී කළ නිරීක්ෂණ මත පදනම්ව මේ ගණනය කිරීම් කර ඇත. ඒ අනුව  2016දී 389ක්, 2017දී  402ක්, 2018දී 354ක්, 2019දී  223ක්, 2020දී  210ක්, 2021 දී 20ක් ලෙස මින්නේරිය වැව් පිටියේ අලි ඇතුන් නිරීක්ෂණය වී ඇතැයි ආචාර්ය සුමිත් පිලපිටිය පැවැසීය. තමන්ගේ නිරීක්ෂණ අනුව මෙම වසරේ මින්නේරිය වැව් පිටියේ දිනකට අලි ඇතුන් පනහක පමණ ඉතා සුළු සංඛ්‍යාවක් දැකගත හැකිව ඇතැයිද ඔහු සඳහන් කළේය.

වැව් පිටියෙන් අපේක්ෂිත ආහාර ඉලක්කය සපුරාගැනීමට අපොහොසත් වීමෙන් අලි ඇතුන් කෘශ වී ඇති ආකාරයක් නිරීක්ෂණය වූ බවද හෙතෙම පැවැසීය.

මේ වසරේ ජුනි 30 දින වැව් පිටියේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව සිටිය සොයාගත් අලි පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව මන්දපෝෂණය හා කුසගින්න බව තහවුරු වූ බවද ඒ මහතා කීය.

මේ වන විටත් කුසගින්න නිසා මරණාසන්න වූ ගැහැනු සතකු වැව් පිටියේ සිටින බවද ඔහු පැවැසීය.

තමන්ගේ නිරීක්ෂණ අනුව මින්නේරිය ජාතික උද්‍යානයේ සැරිසරන පිරිමි සහ ගැහැනු අලින්ගේ මෙන්ම පැටවුන්ගේද ශරීර තත්ත්වය 2019 වසරේ සිට පිරිහෙමින් පවතින බවත්  2021 වසර වන විට ශරීර තත්ත්වය ඉතාමත් දරුණු ලෙස පරිහානියට පත්ව ඇති බවත් මෙරට අලි ඇතුන් පිළිබඳ ප්‍රකට විද්වතකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු සඳහන් කළේය.

වැඩිමහල් තනි පිරිමි අලින්ගේ ශරීර තත්ත්වයද පසුගිය වසර කිහිපය මුළුල්ලේම පිරිහෙමින් පවතින බවත් මේ වසර වන විට පැවැතිය යුතු අවම මට්ටමට ළඟා වී ඇති බවත් ඒ මහතා කීය.

ගැහැනු සතුන්ගේ හා පැටවුන්ගේ ඉරණම වඩාත් ඛේදනීය බව අවධාරණය කරන හෙතෙම එම සතුන්ගේ ශරීර තත්ත්වය මේ වසර වන විට පැවැතිය යුතු අවම මට්ටමට වඩා විශාල ලෙස පහළ වැටී ඇති බවත් දැනටමත් කුඩා පැටවුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී තිබීමට වැඩි ඉඩකඩක් ඇති බවත් සඳහන් කළේය.

සවනි ශේශාධි