මනස සුවපත් කරන ප්‍රායෝගික භාවනාව

0
55

අප මීට පෙර ලිපි තුළින් මෛත්‍රි භාවනාව, සක්මන් භාවනාව සහ ධාතුමනසිකාර භාවනාව යන භාවනා ක්‍රම තුන පිළිබඳව සාකච්ඡා කළා. ඔබට තමන්ගේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට, සිහිය දියුණු කර ගැනීම, සතිමත් වීම, අප්‍රමාදී වීම ආදිය ඇතිකර ගැනීම සඳහා මෙම ඕනෑම භාවනා ක්‍රමයක් පුහුණු කිරීමේ හැකියාව තිබෙනවා. 

අපගේ ජීවිතය දීර්ඝ එකක් යැයි අප සිතුවත් එය සත්‍ය නොවෙයි. ජීවිතය යනු ඔබ ගතකරන මේ මොහොතයි. ඔබ ජීවත්වන මොහොත ගැන ඔබ සිහියෙන් සිටිනවා නම්, ඔබ ජීවමානයි. මේ ලෝකයේ ජීවත්වන මිනිසුන්ට බොහෝ ප්‍රශ්න, දුක් – කම්කටොලුවලට මුහුණදීමට සිදුවෙනවා. එලෙස දුක් – කම්කටොලු ඇති වූ විට මිනිසුන් පන්සල්, පල්ලි, දේවාලවලට ගොස් සැනසීම සොයනවා. ඔවුන් කොපමණ පන්සල්, පල්ලි, දේවාලවලට ගියත් ඔවුන්ගේ දුක් – කම්කටොලු අවසන් වන්නේ නැහැ. ඒවා නැවත නැවතත් ඇති වෙනවා. මිනිසුන් ගස් ගල්වලට, වෙහෙර විහාරවලට වන්දනාමාන කරන්නේ තමන්ගේ දුක සහ බිය නැතිකර ගැනීමටයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව එලෙස ගස් ගල්, වෙහෙර විහාර වන්දනාමාන කළ පමණින් මිනිසුන්ගේ දුක හෝ බිය නැති වන්නේ නැහැ.

ඔබ සිහියෙන් සිටිනවා නම්, ඔබ සතිමත් නම් ඔබට දුක සහ බිය නැතිකර ගැනීමට හැකියාව ලැබෙනවා. එවිට ඔබට පිහිට පතාගෙන යෑමට අවශ්‍ය වන්නේ නැහැ. සතිමත් වීම තුළින් තමන්ට තමාටම පිහිට වීමට හැකියාව ලැබෙනවා. අප මේ සාකච්ඡා කරන භාවනාව පුරුදු පුහුණු කිරීම තුළින් සිහිය පිහිටුවා ගැනීමට, සිහිය පවත්වා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.

සතිපට්ඨාන සූත්‍රය කියන්නේ භාවනා ක්‍රම බොහෝමයක් පිළිබඳව විස්තර කෙරෙන සූත්‍රයක්. සතිපට්ඨාන සූත්‍රය තුළ මෙලෙස දැක්වෙනවා.

“ඒකායනෝ අයං භික්ඛවේ  මග්ගෝ, සත්ථානං විශුද්ධියා සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ඛ ‍ෙදා්මනස්සානං අත්ථංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සවිඡිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා”

“මහණෙනි, සසරින් එතෙර වීම පිණිස ඒකායන මාර්ගයක් පවතිනවා. සත්ත්වයන්ට පිරිසුදු වීමට, කෙලෙසුන්ගෙන් මිදීමට, ශෝකයෙන් මිදීමට, දුක් ‍ෙදාම්නස්වලින් අත්මිදීම පිණිස, ධර්ම ඥානය, සත්‍ය අවබෝධය පිණිස, නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස. ඒ තමයි සතර සතිපට්ඨානය”

යනුවෙන් සතිපට්ඨාන සූත්‍රය ආරම්භ කරයි. සතර සතිපට්ඨානය කියන්නේ කුමක්ද?

කායානුපස්සනා – කය අනුව සිහිය පිහිටුවා ගැනීම.

වේදනානුපස්සනා – වේදනාව අනුව සිහිය පිහිටුවා ගැනීම.

චිත්තානුපස්සනා – සිත අනුව සිහිය පිහිටුවා ගැනීම.

ධම්මානුපස්සනා – සිතේ ඇතිවන ධර්මතාවය පිළිබඳව සිහිය පිහිටුවා ගැනීම.

“ආතාපි සම්පජානෝ සතිමා විනෙයිය ලෝකේ අභිජායතෝ ‍ෙදා්මනස්සා”

(කෙලෙස් දවන වීර්යයෙන් යුතුව, සිහියෙන් යුතුව, මානසික ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරු කිරීම)

අප මේ සාකච්ඡා කරන භාවනාවෙන් සතර සතිපට්ඨානයම ප්‍රගුණ කිරීමේ හැකියාව තිබෙනවා. කුමක්ද මේ බලවත් භාවනාව. මේ භාවනාවේ ඉතිහාසය අවුරුදු දස දහස් ගණනක්. මේ භාවනාව ලෝකයේ ජීවත්වන සත්ත්වයන්ගේ ප්‍රාණ වායුව සම්බන්ධ වූ දෙයක්. එය ආනාපානසති භාවනාවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි ආනාපානසති භාවනාව තුළින් සතර සතිපට්ඨානය වැඩීමට හැකියාව ලැබෙනවා, දුක් – ‍ෙදාම්නස් නැතිවෙනවා, ඥානය වැඩෙනවා, නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට උපකාර වනවා.

මේ භාවනාව බොහොම බලවත්. ප්‍රතිඵල ඉතාම ඉක්මන්. බොහොම ආනන්දනීයයි; චමත්කාරජනකයි. මා මෙම භාවනාව ප්‍රගුණ කර තිබෙනවා. මෙය හරියට හුස්මත් සමඟ යන චාරිකාවක් වගෙයි. අපි අඳින පලඳින ඇඳුම් ගැන, කන බොන දේවල් ගැන, බෙහෙත් හේත් ගැන, යන එන තැන් ගැන, අධ්‍යාපනය ලැබීම ගැන බොහෝ සිතනවා. නමුත් ඔබ ආශ්වාස ප්‍රශ්වාස  කරන හුස්ම ගැන සිතා තිබෙනවාද? හුස්ම නැතිව ඔබට ජීවත් වීමට පුළුවන්ද? ඔබේ ජීවිතය බැඳී තිබෙන්නේ හුස්ම සමඟයි. එම හුස්ම ඔබේ ජීවිතාවබෝධයට උදවුකර ගැනීමටත් ඔබට පුළුවන්. ඒ බව බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කර තිබෙනවා.

ආනාපානසති භාවනාව ප්‍රගුණ කළ හැක්කේ යහපත් සිහියක් තිබෙන පුද්ගලයකුටයි. අප මීට පෙර සිහිය දියුණු කර ගත හැකි මෛත්‍රි භාවනාව, සක්මන් භාවනාව සහ ධාතුමනසිකාර භාවනාව සිදුකරන ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කරනු ලැබුවේ එම නිසයි. ආනාපානසතිය කියන්නේ සතර ඉරියව්වෙන්ම සිදුකරන භාවනාවක් නොවෙයි. එය කිරීමට අනිවාර්යයෙන්ම පොළොවෙහි වාඩි වී කය ඍජුව තබාගත යුතුයි. එය සතිපට්ඨාන සූත්‍රයේ මෙලෙස දක්වා තිබෙනවා.

“උජුං කායං පණිදාය

පරිමුඛං සතිං උපට්ඨ මෙත්තං”

(උඩුකය කෙළින් තබාගෙන, භාවනා අරමුණ පිළිබඳව සිහිය පිහිටුවා ගන්න)

මෙලෙස වාඩි වී කොන්ද ඍජුව තබාගෙන, ඇස් වසාගෙන (ඇස් තදින් වසා ගන්නට එපා. එලෙස වුවහොත් හිසේ කැක්කුම ඇති විය හැකියි. එමනිසා සැහැල්ලු ලෙස ඇස් වසාගන්න), හුස්ම කෙරෙහි සිතේ අවධානය යොමු කරන්න. ආධුනික යෝගාවචරයකුට එකවරම හුස්ම රැල්ල අල්ලා ගැනීමට අපහසුයි. සක්මන් භාවනාව, මෛත්‍රි භාවනාව ආදිය පුහුණු කළ කෙනෙක්ට නම් එය පහසුයි. ඔබට නාසය ගැන දැනීම අඩු නම් ආශ්වාස ප්‍රශ්වාසයේදී උදරය විශාල වීම හැකිළීම පිළිබඳව සිතිය හැකියි. හුස්ම ඇතුළු වීම පිටවීම ගැන තමන්ට මායිම් කරගත හැකි එක ස්ථානයක් ගැන අවධානය යොමු කරගන්න. ඒ වගේම බලෙන් සිතා හුස්ම ගැනීමක් සිදු කරන්න එපා. ස්වභාවික හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න. ඊළඟ කාරණාව වාඩි වී මඳ වේලාවක් සිටීමේදී නිදිමතක් එනවා නම් සිහිය විසිරෙනවා නම් සක්මන් භාවනාවේ යම් වේලාවක් යෙදෙන්න. එලෙස සිහිය බලවත් වූ විට නැවත වාඩි වී ආනාපානසතියේ යෙදෙන්න.

භාවනාව සඳහා වාඩිවන විට සිතට කුමන අරමුණක් පැමිණියත් මම මිනිත්තු 10ක් හෝ 15ක් භාවනාවේ යෙදෙන බවට ඔබ සිතට අධිෂ්ඨාන කරගන්න. එම මිනිත්තු 15 ගතවන තුරු සිතට කුමන අරමුණු පැමිණියත් හුස්ම ගැන අවධානය යොමු කරන්න උත්සාහ ගන්න. මිනිත්තු 15ම භාවනාවේ යෙදෙන්න. ක්‍රමක්‍රමයෙන් මිනිත්තු 20 මිනිත්තු 30 ලෙස කාලය වැඩි කරගන්න.

සෝ සතෝ අස්ස සතී-මනා සිහිකල්පනාවෙන් ආශ්වාස කරන්න.

සෝ සතෝ පස්ස සතී-මනා සිහිකල්පනාවෙන් ප්‍රශ්වාස කරන්න.

මෙය ආනාපානසතියේ පළමු පියවරයි. ගලාගෙන යන ගඟක් වගේ මෙතෙක් නිරායාසයෙන් සිදුවූ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සිහියෙන් යුතුව අවධානට යොමු කරන්න. හරියට ‍ෙදාරටු පාලකයෙක් ‍ෙදාරටුවෙන් ඇතුළු වන පිට වන පිරිස ගැන අවධානයෙන් සිටිනවා වගේ ඔබත් හුස්ම ඇතුළු වීම පිට වීම ගැන අවධානයෙන් සිටින්න. එවිට සිහිය පිහිටුවීමට පටන් ගන්නවා. ඔබ හුස්මේ චමත්කාරය විඳින්නට පටන් ගන්නවා. හුස්ම කියන්නේ ඔබ දන්නා තැන සිට නොදන්නා තැනකට ගෙන යා හැකි දෙයක්. හුස්මත් සමඟ මුළු විශ්වය ගවේෂණය කරන්නට පුළුවන්. කලබල නොවී ඉහත පියවර දෙක අනුගමනය කරන්න.

මෙලෙස ඉහත පියවර අනුගමනය කිරීමේදී ඔබේ සිත විවිධ අරමුණුවලට විසිරෙනවා. ඒ ගැන කලබල වන්නට එපා. සිත එලෙස වෙනත් අරමුණකට ගිය බව ඔබට සිහි වූ විට නැවත ඔබේ සිත හුස්ම කරා යොමු කරන්න. එය හරියට තරුණ ගවයෙක් කඹයක් ගෙන බැඳ තබන්නට උත්සාහ කිරීමේදී, උෟ කඹය කඩාගෙන යනවා. ඔබ නැවත කඹය ගෙන උෟ බැඳ තබනවා හා සමානයි. සිත පුරුද්දට එක් එක් ලෝක මවාගෙන විවිධ අරමුණුවල විසිරෙයි. නමුත් ඔබ දුකට, අධෛර්යයට පත්වන්නට එපා. ඇතැම් විට මිනිත්තු 15 පුරාවටම ඔබේ සිත වෙනත් අරමුණුවල විසිරී තිබෙන්නට පුළුවන්. නමුත් අධෛර්යයට පත් නොවී නැවත උත්සාහ කරන්න. මේ විධියට උත්සාහ කිරීමේදී මිනිත්තුවක පමණ කාලයක් හුස්ම ගැන අවධානය යොමු කිරීමට ඔබට හැකියාව ලැබුණොත් එය ඔබ ලබා ගන්නා විශාලතම සතුට බවට පත්වනවා නොඅනුමානයි. ඔබ එතැනින් පසුව කවුරුන් පැවැසුවත් භාවනාව අතහරින්නේ නැහැ. මොකද ඔබට එතරම් විනෝදයක් සතුටක් වෙනත් කිසිම දෙයක් තුළින් ලැබෙන්නේ නැහැ.

මෙලෙස හුස්ම ගැනීම සහ පිටකිරීම පිළිබඳව යම් කාලයක් සිත පුහුණු කිරීමෙන් පසුව ඔබට දීර්ඝ ලෙස හුස්ම ගන්නවා දැනෙන්නට පටන් ගන්නවා. හරියට නළයක් තුළින් වේගයෙන් ජලය ඇදී එනවා වගේ හුස්ම දීර්ඝව ඇතුළු වෙනවා ඔබට දැනෙනවා. එය මෙලෙස සඳහන් වෙනවා,

“දීඝංවා අස්ස සන්තෝ, දීඝං අස්ස සාමීති පජානාති”

ඔබ එවිට දැන ගන්නවා ඔබ දීර්ඝ ලෙස හුස්ම ගන්නා බව. එය ඔබ ආයාසයෙන් කරන්නක් නොව නිරායාසයෙන් සිදුවන්නකි. මීළඟට දීර්ඝ ලෙස හුස්ම පිටවන ආකාරය ඔබට දැනෙන්නට පටන් ගන්නවා. එය,

“දීඝංවා පස්ස සන්තෝ, දීඝං පස්ස සාමීති පජානාති” යනුවෙන් දැක්වෙනවා. එවිට ඔබට දැනෙනවා  ඔබ දීර්ඝ ලෙස හුස්ම පිටකරන බව.

මෙලෙස භාවනා කරන විට ඔබේ භෞතික ශරීරයේ බර අඩුවෙන ආකාරයක් ඔබට දැනෙන්නට පටන් ගන්නවා. ශරීරය වායුමය ස්වභාවයක් ගන්නා බව සිතෙන්නට පටන් ගන්නවා. මෙවැනි තැනකට සිත යොමු වූ විට ඊළඟට කුමක්ද වන්නේ යන කුතුහලය ඔබට ඇතිවන්නට පටන් ගන්නවා. එවිට ඔබේ සිත අනාගතයට ගමන් කිරීම තුළින් තණ්හාව ඇති වීම නිසා භාවනාව කඩාකප්පල් විය හැකියි. එනිසා කලබල නොවී දිගින් දිගටම ආශ්වාස ප්‍රශ්වාසය ගැන අවධානය යොමු කරන්න.

“රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති

රස්සංවා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීතී පජානාති”

මීළගට ඔබට දැනෙනවා ඇතැම් ආශ්වාසයන් කෙටි බව සහ ඇතැම් ප්‍රශ්වාසයන් කෙටි බව. මේ ගැන බොහෝ දුර සිතන්නට යන්න එපා. එය එම මොහොතේ ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ ස්වභාවයයි.

මේ ලිපිය තුළ අප පියවරයන් හයක් ඔබට පැහැදිලි කර දුන්නා. එම පියවර 06 මෙසේය,

1. සෝ සතෝ අස්ස සතී

2. සෝ සතෝ පස්ස සතී

3. දීඝංවා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති

4. දීඝංවා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති

5. රස්සංවා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති

6. රස්සංවා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීතී පජානාති

මේ පියවරයන් හය පිළිබඳව හොඳ ‍ෙදාරටුපාලකයෙක් වගේ අවධානය යොමු කරන්න. එතැනින් එහාට කුමක්වත් සිතන්නට යන්න එපා. මේ හුස්ම ගැන දැන ගත්තා එතැනින් එය අතහැරියා එපමණයි. මෙය පුහුණු කරන විට කෙමෙන් කෙමෙන් ඔබ ගැඹුරු වර්තමානයට ළංවනවා. ඔබේ කායික සැහැල්ලුව මානසික සතුට බලවත්වනවා.

මගේ අත්දැකීම අනුව මෙම ආනාපානසතිය තුළින් මම මනසේ බලය දැනගත්තා. මේ ආධ්‍යාත්මික ජීවිතයට ඇද බැඳ තබා ගත්තේ මේ ආනාපානසති භාවනාවයි. ඔබව ලෞකික ජීවිතයෙන් මුදා ආධ්‍යාත්මික තලයට රැගෙන යෑමේ හැකියාව මෙම ආනාපානසති භාවනාවට තිබෙනවා. මේ භාවනාවේ මෙම පියවරයන් හය පමණක් පුහුණු කිරීම තුළින් පමණක් සියලු මානසික රෝග පීඩා නැතිවනවා. එම නිසා එය අත්හදා බලන්න.

කුශාන්ති අනුරාධා බණ්ඩාර

තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ අත්දැකීම්

ඇසුරෙන්..