පාගල යන්න කලින් වාහන ගැන ඉගෙන ගන්න

0
765

වාහන ගැන ඔයා මොනවද දන්නේ කියල කෙනෙක් ඇහුවොත් ඔයාගෙ උත්තරය මොන වගේ එකක් වෙයිද? ඇත්තටම වාහන ගැන සර්ව සම්පූර්ණයෙන් දැනගත්තු මිනිසුන්ට වැඩිය මට හම්බවෙලා තියෙන්නෙ යම් යම් කොටස්වලට වගේම යම් යම් කාරණාවලටම සුවිශේෂී වෙච්චි මිනිස්සු. සමහර අය දන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන විතරයි. සමහර අය දන්නේ වාහන නඩත්තු කරන හැටි විතරයි. වාහන අලුත්වැඩියා කරන්න, වාහන මොඩිෆිකේෂන් කරන්න, වාහනවල අලුත් තාක්ෂණික කරුණු ගැන දන්න අය වගේම වෙනස් වෙනස් අය අපිට හම්බවෙනවා. ඉස්සරම වාහන ස්ටාට් කළේ හැන්ඩ්ල් එකකින්. ආලෝකය ලබාගන්න පාවිච්චි කළේ කාබයිට් ලාම්පු. එතැනින් පටන් ගනිපු වාහනවල ගමන අද වෙන කොට  පාර්ක් ඇ‌සිස්ට් සිස්ටම්, ඇඩප්ටිව් කෘෘස්  කන්ට්‍රොල්, ඔටෝ පයිලට් වගේ සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රිය කියන තැනට පත්වෙමින් ඉන්නවා. හිතන්න ඉහත කියපු කාල  පරාසය ඇතුළේ සිද්ධ වෙච්ච තාක්‍ෂණික විපර්යාස ටික ගැන  කතා කරලා ඉවර කරන්න අපිට  කොච්චර  කාලයක් යයිද?

අපි මේ කතා කරන වෙලෙත් පවතින මාදිලියට වඩා තාක්‍ෂණිකව උසස් වාහනයක් නිර්මාණය කරන්න බොහෝ පිරිසක් සැලසුම් කරනව ඇති. මේ යන හැටියට රියැදුරු කියන තනතුර තව ටික  කාලයකින්  යල් පැන ගිය එකක් බවට පත් වේවි.  වාහන නිසාම ගොඩනැඟුණු සංසද වගේම වාහන එක්ක ගොඩනැඟුණු කතාන්දර වගේම සංස්කෘතියකුත් අපේ රටේ පවතිනවා. ඒ ගැන කතා කරනකොට අපිට හම්බවෙනවා. වාහන ගැන  තියෙන මිථ්‍යා මත. වාහන පාවිච්චි කිරීමේදී හා නැවත විකිණීමේදී ලංකාවේ මිනිස්සු අතර මුල් බැහැගෙන තියෙන කරුණු කාරණා.

වාහන පාවිච්චි කරන අය ඇයි වාහන ගැන ඉගෙන ගන්න ඕනෙ 

ලංකාව තුන් වැනි ලෝකයේ රටක්. එහෙම වුණත් ධනවත් ලෝකයේ මෝටර් රථ වෙළෙඳපොළට නොදෙවැනි විවිධ මාදිලියේ සහ විවිධ වර්ගයේ මෝටර් රථ සන්නාම ගොඩක් යටතේ අලෙවියට තියෙන නිසා කෙනෙක්ට තමන්ට සුදුසුම මෝටර් රථය තෝරා ගැනීම ටිකක් අසීරු වෙනවා. මේ ක්ෂේත්‍රය ඇතුළේ බෝධිසත්ව චරිත වගෙම දේවදත්තලත් නොසෑහෙන්න ඉන්නවා. ඒ වගේම නිෂ්පාදකයන්ගේ අලෙවිකරණ ප්‍රයෝගවලට අහු නොවී තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කර ගන්න නම් ඔහුට  වාහන ගැන මූලික දේවල්  ඉගෙන ගන්න සිද්ධ වෙනවා.

ඔබ  නියැළෙන වෘත්තිය මොකක් වුණත් ඔබ වාහනයක් පාවිච්චි කරන කෙනෙක් වීමේ සම්භාවිතාව මෑත කාලය වෙනකොට  සෑහෙන ඉහළ අගයක පවතින්නේ. හිතන්න හදිසියේ ගමනක් යන වෙලාවක ඔයාගේ වාහනේ පාරක නවතිනවා. ලංකාව කියන පුංචි රටේ තාම විසි හතර පැය ක්‍රියාකාරී 24×7 Road site assistance සේවාවක් නෑ හරියට ක්‍රියාත්මක වෙන. හැබැයි  පවතින වාතාවරණය ඇතුළේ ඔයාට ගන්න පුළුවන් තාවකාලික පිළියම් තියෙනවා. ඒ වෙනුවෙන්ම නිෂ්පාදනය කරපු රසායනික සංයෝගවලින් නිෂ්පාදනය වුණු විවිධ නිෂ්පාදන වෙළඳපොළට ඇවිත් තියෙනවා. ඔබට ඒවා තෝරා ගැනීම සහ නිවැරැදිව පාවිච්චි කිරීමේ ක්‍රමවේද  ඉගෙන ගන්න වෙනවා. කාන්තා පාර්ශ්වය මෑත කාලය තුළ සෑහෙන මෝටර් රථ පාවිච්චි කරනවා. ඔබ කාන්තාවක් වීම වාහන නඩත්තුව නොසලකා හැරීමට හෝ පැහැරහැරීමට කාරණයක් නෙවෙයි. පැහැර හැරීම නොසලකා හැරීම නිසා ප්‍රධාන අලුත්වැඩියාවකට යන්න සිද්ධ වෙනවට වඩා මූලික නඩත්තුව වෙත නිසියාකාරව යොමුවීම ඔබට දහස් ගුණයකින් ලාභදායකයි.

ඉතින් කෙනෙක්ට සිද්ධ වෙනව තමන්ට හෝ තමන්ගෙ පවුලට ගැළපෙනම වාහනයක් තෝරගන්න. එතකොටත් ඔයාට ඕනෙ වෙන්නෙ වාහන ගැන දැනුම තොරතුරු තමයි.

අපිට වාහන ගැන ගොඩනඟා ගන්න දැනුම ඔබට නොයෙක් විධියට ප්‍රයෝජනවත් වේවි. ඒක ජීවිතේ කොතැනම හරි තැනකදී අවශ්‍ය වේවි.

මාධව රූබසිංහ