දුව මගේ හදවතේ කොටසක්

0
75

දියණියක් සහ පියකු අතර තිබෙන බැඳීම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ආදරණීය වූවක්. ආදරණීය පියෙක් වැඩිපුරම සතුටු වන්නේත්, දුක් වන්නේත් තමන්ගේ දියණියගේ විවාහ මංගල්‍ය දිනයේදීයි. ලාංකේය සංගීතයේ නොමැකෙන සලකුණක් තැබූ ඔහු නලින් පෙරේරා නම් ආදරණීය කලාකරුවාගේ දියණිය ස්වේතා මෙලී පසුගියදා විවාහ වී විදෙස්ගත වුණා. ඉතින් ඒ දැනුණු හැඟීම් ගැනත් අලුත් තොරතුරු ගැනත් විස්තර බෙදා හදා ගැනීමට ඔහු අපත් සමඟ සමීප වුණේ මෙලෙසයි. කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?

මේ දවස්වල අපේ සංගීත කණ්ඩායම විවාහ මංගල උත්සව සහ ප්‍රසංග සමඟ තරමක් කාර්යබහුලයි.

අලුත් නිර්මාණ කටයුතු මොනවාද?

මේ දිනවල තිබෙන කාර්යබහුලත්වයත් සමඟ නිර්මාණ කටයුතුවලට අවධානය යොමු කරන්න අපහසු තත්ත්වයක් තිබෙනවා. කරලා තිබෙන නිර්මාණ කටයුතු අවසන් කරලා එළියට දාන්න කාල වේලාවක් ලැබෙන තුරු සිටිනවා.

පසුගිය කාලයට සාපේක්ෂව දැන් සංගීත කණ්ඩායම්වලට වැඩ තිබෙනවා නේද?

එළිමහන් ප්‍රසංග වගේම ගෘහස්ථ ප්‍රසංගත් මේ වනවිට සංවිධානය වෙමින් පවතිනවා. එම ප්‍රවණතාව වැඩි දියුණු වීම අවශ්‍යයි. අපේ ජීවන මට්ටම සාමාන්‍ය තත්ත්වයට රැගෙන ආ යුතුයි. සංගීත ප්‍රසංග පමණක් නොවෙයි අනෙක් සෑම ක්ෂේත්‍රයක්ම පණ ගහලා නැඟිටින්න මුලින්ම තෙල් ප්‍රශ්නයට ස්ථිර විස¾දුමක් ලැබෙන්න ඕනෑ.

රටේ පවතින දේශපාලනික වාතාවරණය ගැන කලාකරුවෙක් විධියට ඔබ මොකද සිතන්නේ?

මේ රට ගොඩ ගන්න බැහැ කියනවා නම් ඒ අදක්ෂ, දැක්මක් නැති නායකයෙක්. මේ රට ස්වාභාවික සම්පත්වලින් ගොඩගන්න පුළුවන්. මෙතෙක් මේ රට සෞභාග්‍ය කරා ගෙන යනවා කියලා මේ නායකයෝ කිව්වට ඇත්තටම තිබුණු සෞභාග්‍ය නැති කරපු එකයි කළේ. මේ ජනාධිපතිට තිබෙන එකම සහ හොඳම අවස්ථාව මේක. රට ගොඩනඟා ගන්න නිසි සැලැස්මක් ඇතුව ඒ සඳහා ප්‍රමුඛස්ථානය දීලා සුදුසු අයට පමණක් තනතුරු දීලා හොර නඩ ආරක්ෂා කරන්නේ නැතුව හරියට වැඩක් කළොත් ඔහුට මේ රටේ ගෞරවය අනිවාර්යෙන් හිමිවෙයි. මම දකින්නේ එහෙමයි. අපි සුබවාදීව දකින්න ඕනෑ. පාරට බැහැලා උද්ඝෝෂණ කර කර සිටින එකම නොවෙයි කළ යුතු. හැබැයි මිනිසුන් සැබෑ හේතුවක් ඇතිව උද්ඝෝෂණ කරනවා නම් අපි එයට සහයෝගය දක්වන්නත් ඕනෑ. ජනාධිපතිවරයාට මේ ලැබුණු අවස්ථාව හරියට භාවිත කළේ නැත්නම් අනාගතයේදී මීට වඩා දරුණු අරගල ජනතාව තුළින් මතු වෙන්න ඉඩ තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අහිංසක මිනිසුන්ව එතැනට ගෙන එන්නේ නැති වෙයි කියලා.

ඔබ පසුගිය දවසක ස්පර්ශ වැඩසටහනත් සමඟ එකතු වෙලා ඔබේ ගායනයේ වෙනස් හැඩ පෙන්නුම් කළා. ඒ අත්දැකීම ගැන කතා කළොත්?

ඒක සංගීතයත් සමඟ රටේ සුන්දර ස්ථාන ලෝකයට පෙන්වන වෙනස්ම මාදිලියේ වැඩසටහනක්. නාද සංගීත කණ්ඩායම ඔවුන්ගේ අනන්‍යතාව මුසු කරමින් සංගීතය සැපයුවා. යහපත් විධියට වෙනස් වීම අවශ්‍යයි කියලා මම සිතනවා. එය මටත් මගේ චරිතයටත් ලොකු ආලෝකයක් ලැබුණු වැඩසටහනක්.

ඔබ එහි ගායනා කළ ගීතවලට ලැබෙන ප්‍රතිචාර සමඟ වෙනස් ආරක ගීත නිර්මාණය කරන්න අදහසක් එහෙම තිබෙනවාද?

මම හැමවිටම එක තැන පැළ වී සිටි කෙනෙක් නොවෙයි. කාලීනව වෙනස් වෙමින් ඉදිරියට යන කෙනෙක්. මම හිතනවා ඉදිරි අනාගතයේදී ඒ වෙනස්කම්වලට ඉඩ තිබෙනවා කියලා. රසය නොමරා වෙනස්වනවා නම් එය හරිම ලස්සනයි කියන එක මම විශ්වාස කරනවා. නලින් පෙරේරා සහ මේරියන්ස් සංගීත කණ්ඩායම ඒ කියන තැන සිටිනවා.

ඔබේ දියණිය පසුගියදා විවාහ වී විදෙස්ගත වුණා. ආදරණීය පියෙක් විධියට ඒ දැනෙන හැඟීම ගැන කතා කළොත්?

මගේ දියණිය කියන්නේම මගේ හදවතෙන් කොටසක්. හදවතින් කෑල්ලක් ගියා වගෙයි තවමත් දැනෙන්නේ. නමුත් ඇයත් දවස ගාණේ වීඩියෝ කෝල් එකක් අරගෙන දුක සැප සොයා බලනවා. මටත් හැකියාව ලැබෙන හැම මොහොතකම ඇයත් සමඟ සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධය අපි මැරෙන තුරු නැති වන්නේ නැහැ. නමුත් අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕනෑ. මොන තරම් ආදරණීය බැඳීම් තිබුණත් ඒ අයගේ ජීවිත ඒ අයට ආරම්භ කරන්න ඉඩ දෙන්න ඕනෑ. ලෝභයි තමයි. නමුත් ඔවුන්ගේ අවශ්‍යතාවන් දුක සැප වෙනුවෙන් හැමවිටම සිටිනවා. ඒ අයට තනියම ගොඩනැඟෙන්න ඉඩහරින්න ඕනෑ. මටත් බිරියටත් ප්‍රංශයට ගොස් ඇයව මුණගැසෙන්න පුළුවන්. ප්‍රසංගවලට සම්බන්ධ වන විටත් ඇයව හමුවෙන්න අවස්ථාව ලැබෙයි. ළඟ නැති එක දුකක් තමයි.

ඔබ දියණිය වෙනුවෙන්ම ගීතයක් නිර්මාණය කළා. ඒ ගැනත් කතා කරමු?

මගේ ජීවිතයේ ඇය කොතැනද ඉන්නේ කියන එක ඇයට පෙන්වන්න මට වුවමනා කළා. ඒ වගේම ඇයගේ අම්මා, මල්ලී ඇයගේ ජීවිතයේ සිටින තැන පෙන්වන්න තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඒ ගීතය අතිශයම අපේ පවුල වෙනුවෙන් නිර්මාණය කළ එකක්. මේ ගීතය අහපු ගොඩක් පියවරු මාත් සමඟ කතා කළා. ඔවුන්ට මේ ගීතයේ දැනුණු තැන් ගැන කිව්වා. ඉදිරි විවාහ මංගල්‍යවලත් මේ ගීතය ගායනා කරන්න කියලා ඉල්ලීම ලැබිලා තිබෙනවා. මේ ගීතයේ ඉදිරි පියවර ලෙස එය පොදු ගීතයක් ලෙස ගෙන එන්න සූදානමක් තිබෙනවා. කැලුම් ශ්‍රීමාල් මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. දියණියක් සිටින හැම තාත්තා කෙනෙක්ටම ඒ ගීතය විඳින්න පුළුවන් විධියට වෙනස් මුහුණුවරකින් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ ඒ ගීතය එදා සජීවීව ගායනා කළේ නැහැ නේද?

මම හරි සංවේදී පියෙක්. මම දැනගෙන සිටියා කොහොමත් මට එදා ඒ ගීතය සජීවීව ගායනා කරන්න අමාරු තත්ත්වයක් එනවා කියලා. එයට පෙර සූදානමක් ලෙස මම ඒ ගීතය විවාහයට පෙර පටිගත කළා. විවාහය දිනයේ ඒ ගීතය වාදනය කරලා මමත් දුවත් එයට නර්තනය කළා. එය නර්තනයක්ම කියන්නත් බැහැ. ඒක අපිට අපි තුළ රැඳෙන්න ලැබුණු අවස්ථාවක්. ඒක මම, දුව, ඇයගේ අම්මා, මල්ලී සමඟ හැඟීම් බෙදාගත් මොහොතක්.

ඔබ දුවත් සමඟ ටික් ටොක් වීඩියෝවල පෙනී සිටියා. ඉදිරියේදී අපිට එවැනි වීඩියෝ නරඹන්නට නොහැකි වේවිද?

මම මේ නොවැම්බරයේ ඇය සිටින රටට යනවා. ඒ ගිය විට මම දන්නවා ඇය මාව අල්ලා ගනීවි ඔය දේවල්වලට. අපි වයසට ගියත් දරුවොත් සමඟ සතුටින් විනෝදයෙන් සිටින්න ඕනෑ.

විවාහක දියණියකගේ පියෙක් වුවත් ඔබ තවමත් තරුණයි. මේ තරුණ බවේ රහස කුමක්ද?

මම මගේ ජීවිතේට මොන ප්‍රශ්න ආවත් ඒවා අතේ දුරින් තබා ගන්නවා හැරෙන්නට හිත ඇතුළෙ තියාගන්නේ නැහැ. මොහොතින් මොහොත ඒවා විසඳගෙන ඉදිරියට යනවා හැරෙන්නට ප්‍රශ්න තුළ පදිංචිවන්නේ නැහැ. අපිට වැරදි කරන අයත් අපි සමඟ සිටිනවා. අපෙනුත් ඇතැම් විට කෙනෙක්ට වැරැද්දක් වෙන්න පුළුවන්. ඒ සියල්ල තේරුම් ගෙන වැරැදිවලට සමාව දීලා, සමාව ලබාගෙන යන්න ඕනෑ ගමනක් මේ ජීවිතය කියන්නේ. දවසක මැරෙනවා කියලා දැනගෙන ජීවත් වෙනවා. ඕනෑවට වඩා බලාපොරොත්තු නැහැ. මේ මොහොතේ සතුටින් ලස්සනට හැමෝමත් සමඟ ජීවත්වන එක තමයි මම කරන්නේ. එතකොට හැමදාම සතුටින් එකම විධියට ජීවත් වෙන්න පුළුවන්.

පුතා පියාගේ අඩිපාරේ යයිද?

ඔහු නිහඬ චරිතයක්. ඔහු මගේ පාරේ යයි කියලා මම කීයටවත් බලාපොරොත්තු වන්නේ නැහැ. ඔහු යන්න ඕනෑ ඔහුගේම පාරක. ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ඔහුත් ඉදිරියේදී විදෙස්ගත වෙයි. දුවට වගේම ඔහුගේ කටයුතුවලටත් අපේ උපරිම සහයෝගය ලබා දෙනවා.

ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවද?

බලාපොරොත්තු කියලා ලොකු දේවල් නැහැ. අද දවසේ සතුටින් සිටින එක තමයි වැදගත්. අපිට මඟහැරෙන්නේම ඒ දේ. මැරීගෙන මුදල් හම්බකරලා ගොඩගසාගෙන ජීවිතේ විඳගන්න මොහොතක් නැහැ. මේ මොහොතේ සතුටින් කාලා බීලා, රට ලෝකය දැකලා යන්න තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම බිරිය, දරුවන් සහ අලුතින් පවුලට එකතු වුණු මගේ ආදරණීය බෑනාගේ ජීවිත වල දේවල් සතුටින් බාර අරගෙන යන ඉතාම සරල ගමනක් මේක. සුබ මරණයකට පාර හදාගෙන ගමනක් යන එක තමයි බලාපොරොත්තුව.

කුශාන්ති අනුරාධා බණ්ඩාර