දිවංගත පියදාස

0
19

උදේ හතයි තිහ වනවිට එනම් අනික් නීතිඥයන් උසාවියට ඒමට පෙර මා මගේ කාර්යාලයට පිවිසියේ පුරුදු පරිදිය. මගේ ලිපිකාරිනිය හෝ මගේ කනිෂ්ඨ නීතිඥවරිය හෝ කොටින්ම මට පසුව මගේ ගෙදර සිටම එන නීතිඥවරියක් වන මගේම දියණියවත් ඒ වනවිට අධිකරණයට පැමිණ සිටියේ නැත.

මා එන විටත් මධ්‍යම වයසේ සිටි සුදු සරමක් හා ටී ෂර්ට් එකකින් සැරසුණු බුලත්විට කෑ බව පෙනෙන අයකු මගේ කාර්යාලය තුළ හිඳගෙන සිටිනු පෙනුණි.

“ඔබතුමා උදෙන්ම ආවෙ මොකටද දන්නේ නෑ” මම ගැමියකුට කතා කළ යුතු ස්වරූපයෙන් ඔහු ඇමැතුවෙමි.

“අනේ සර් මගේ පුතා ගංජා නඩුවකට අහුවෙලා වඳුරඹ පොලිසියෙන් අල්ලගෙන දැන් මෙහාට ගේනවයි කියලා කිව්වා. මං මේ රූපවාහිනියෙන් ඔබතුමා දැකලා නම මතක තියෙන නිසා බෝඩ් එකේ නම අමාරුවෙන් කියවලා නැවතිලා හිටියා. මං අකුරු කියවන්න දන්නේ පොඩ්ඩයි.”

“වඳුරඹ නං ඉන්නේ චාමර කියලා හොඳම ස්ථානාධිපති කෙනෙක්.  එතුමා කවදාවත් බොරු නඩුවක්නං දාන්නේ නෑ.” මට ඔහු දුන් ලියුම් කවරය පුරුදු පරිදි විවෘත නොකරම සාක්කුවේ දාගෙන පුතාගේ නම හා ලිපිනයද ඔහුගේ නමද දඩ ගෙවීමට තියෙන මුදලද සටහන් කර ගත්තෙමි. ඔහුගේ නම ඩී. පියදාස බවත්, පුතා ඩී. ප්‍රේමදාස බවත් කී නිසා එය මුලින්ම ලියාගත්තෙමි.

“අකුරු පොඩ්ඩක්වත් දන්නවානම් ඇමැතිකමකටත් සෑහෙනවා මේ දවස්වලනං” මම ඔහු සතුටු කළෙමි.

මා අනික් වැඩ කරද්දී ඔහු මගෙන් නොඅසාම අල්ලපු කඩයෙන් ඔහුද තේ බී මටද තේ එකක් ගෙනවිත් දුන්නේ ගැමියකුගේ පමණක් ඇති මනුස්සකම විදහාපාමිනි.

චන්දිම යන ප්‍රියවදන නම අගට ඇති ප්‍රියමනාප තරුණ විනිසුරුවරයා පුරුදු පරිදි ප්‍රසන්න සිනාවක් මුව රඳවාගෙන විනිශ්චය අසුනට ගොඩවූයේ හරියටම නවයහමාරටය.

නඩු දෙක තුනකට පසු පියදාසගේ පුතාගේ නම වන ඩී. ප්‍රේමදාස යන්න අලුත් පැමිණිල්ලක් ලෙසින් තෝල්ක මුදලිවරිය හඬ නඟා කීවාය.

“ඩී. පියදාස කියන්නේ වාසගම මොකක්ද”

විනිසුරුතුමා ඇසුවේ යමක් අවබෝධ කරගෙන නිසා විය යුතුය.

“හමුදුරුවනේ පුතාගේ නම දිවංගත ප්‍රේමදාස”

“දිවංගත කියන්නේ මැරිච්ච අයටනේ”

විනිසුරුතුමා නැවතත් ඔහු දෙස බලා විමසුවේය.

“අනේ හාමුදුරුවනේ මම උපන්න වෙලාවේ නමක් තියන්න ගුරුන්නාන්සේ අපේ තාත්තාට දීලා තියෙන්නේ “දි” යන්නත්, “දා” යන්නත් විතරයි. අපේ තාත්තා ඉස්කෝලේ ගිහින් තියෙන්නේ දෙකට විතරයි. අපි මොනරාගල පළාතේ. අපේ තාත්තා අහල තියෙනවා ලොකු පවුල්වල අය දිවංගත සේනානායක, දිවංගත බණ්ඩාරනායක, දිවංගත කොතලාවල වගේ ලොකු වචන  පාවිච්චි කරන හැටි.  ඒ නිසා මට අපේ තාත්තා “දි” යන්නෙන් නමදාලා තියෙන්නේ. දිවංගත පියදාස කියලා. මමත් මගේ පුතාට දිවංගත ප්‍රේමදාස කියලා නම දැම්මා. එයත් ඉගෙන ගත්තේ තුනට විතරයි.”

හරි එහෙනම් දිවංගත ප්‍රේමදාසට රුපියල් දහදාහක් දඩ නියම කරනවා. දිවංගත පියදාස ගිහින් ඒක ගෙවන්න. විනිසුරුතුමා මඳ සිනහවකින් මුව සරසාගෙන ප්‍රකාශ කළේය.

මාපලගම විමලරත්න ලියයි.