ගෝනුන්ගෙ මළ මිනී තොග ගණන් පාවෙන කවුරුවත් දකින්නැති අඹේවෙල විපත

0
49

නුවරඑළිය පළාතම සුන්දරය. නුවරඑළියේ මෙන්ම හෝර්ටන් තැන්නේද පරිසරය වඩාත් සුන්දර කරන්නට දායක වී ඇත්තේ අඹේවෙල ජලාශයය. අක්කර දහසකින් පමණ සමන්විත එය නොඉඳුල් සිහිලැල් ජලයෙන් පොහොසත්ය.

හෝර්ටන්තැන්නේ ජාතික වනෝද්‍යානයේ දිය දහරාවන්හි දැක ගත හැකි රේන්බෝ ටුවට් නමැති මිරිදිය මාළුවා දැක ගත හැකි තවත් සුවිශේෂ ස්ථානයක් වන්නේද අඹේවෙල ජලාශයයි. ඒ හැරුණුකොට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය මඟින් ජයන්ට් කාෆ් මත්ස්‍ය පැටවුන් මුදාහැර ඇත්තේද මේ ජලාශයටය.

සුපිරිසුදුව පැවැති මේ ජලාශයෙන් නෙළා ගැනෙන මිරිදිය මසුන්ට ප්‍රදේශයේ වූයේ දැඩි ඉල්ලුමකි. එහෙත් දැන් තත්ත්වය වෙනස් වී තිබේ.

ඊට හේතුව සොයා ගිය අපට දැනගත හැකි වූයේ රක්ෂිතයේ වෙසෙන ගෝනුන් විශාල සංඛ්‍යාවකගේ මළ කුණුවලින් ජලාශය අපවිත්‍ර වී ඇති බවය.

ගෝනුන් මියගොස් ඇත්තේ රක්ෂිතය තුළ අයාලේ යමින් සිටින බල්ලන් සපා කෑමෙන් හා උන්ගේ හපා කෑමෙන් බේරෙන්නට ජලාශයට පැනීමෙනි.

ප්‍රදේශවාසීන් පිරිසක් සුරතලයට ඇති කළ බලු රංචුවක් ආහාර සොයා රක්ෂිතය තුළ අයාගේ යෑමට පටන් ගත් තැන් සිට මේ විනාශය සිදුවෙමින් තිබෙන බවද කියැවෙයි.

ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරි කාර්යාලය යටතේ පාලනය වන නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ ව්‍යාප්ති නිලධාරි ආර්.එම්.බී. කුෂාන් විජේරත්න මහතා කියා සිටි පරිදි හෝර්ටන්තැන්න සහ අඹේවෙල රක්ෂිතයේ සැරිසරන ගෝනුන් අවාසනාවන්ත ලෙස මෙසේ  මියයන්නට පටන් ගැනීම නිසා ජලය අපිරිසුදු වීමට පටන් ගෙන ඇත්තේ දෙමසක පමණ සිටිය.

ජලාශය තුළ මියගිය ගෝන්නු 15 දෙනකුගේ පමණ සිරුරු දැක ගන්නට පුළුවන්, මේ නිසා අපේ ධීවරයන්ටත් ජලාශයේ ධීවර කර්මාන්තයේ නියැළෙන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් මම කෘෂිකර්ම කමිටුවේදීත් බලධාරීන්ගේ අවධානය යොමු කරලා තියෙනවායි ඔහු කීවේය.

ගෝනා හෝර්ටන්තැන්නට අවේණික වූ සතෙක්. මෙහෙම ගෝන්නු මැරෙන්න ගියොත් උන් වඳ වෙන්නත් පුළුවන්. මේ සතාව බේර ගන්න යම් වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි ඔහු අවධාරණය කළේය.

අඹේවෙල ජලාශයේ වසර ගණනාවක සිට ධීවර කර්මාන්තයේ නියැළී සිටින මොහොමඩ් රිෆාඩ් අප සමඟ කියා සිටියේ මෙවැන්නකි.

අඹේවෙල ප්‍රදේශයේ ඇතැම් නිවාසවල ඇති කරපු සුනඛයන්ව පන්නා දැමුවට පස්සේ උන් අඹේවෙල රක්ෂිතයට හුරුවෙලා ඉන්නවා. උන් ආහාර සොයාගෙන ගෙවල්වලට ආවම ගෙවල්වලින් පන්නනවා. එතකොට උන් ආපසු රක්ෂිතයටම යනවා. මේ වන විට රක්ෂිතයේ ස්ථාන කිහිපයකම සුනඛයෝ 25 දෙනෙක් විතර දැක ගන්නට පුළුවන්. උන් රක්ෂිතයේ ගෝන්නු, මුවෝ, හාවෝ දඩයම් කරලා තමයි බඩගින්න නිවා ගන්නේ.

ගෝන්නු වැඩි දෙනෙක් දුවගෙන ගිහිල්ලා ජලාශයට පනිනවා. ඒ පස්සෙන් සුනඛයනුත් ජලාශයට පනිනවා. සුනඛයාට වඩා ගෝනා වේගයෙන් ජලාශයේ පිහිනා යන නිසා සුනඛයන් ආපහු ගොඩබිමට පීනා එනවා.

ගොඩබිමේදී ගෝනාව සුනඛයන් සපලා තියෙන නිසා අනතුරට පත් ගෝනාට ඇස් පෙන්නේ නැතුව යනවා කියලා මම අහලා තියෙනවා.

ඒ නිසා වෙන්න ඇති ගෝනුන් ජලාශය මැදට ඇවිල්ලා දියේ ගිලිලා මරෙන්නේ.”

මේ වන විට ජලාශයේ තැන තැන මේ වගේ මියගිය ගෝන්නු 15 දෙනකුගේ පමණ සිරුරු දැක ගන්න පුළුවන්. ගොඩබිමෙත් ඒ වගේ සිරුරු තියෙනවා. ගෝනා කියන්නේ ඉතා අහිංසක සතෙක්. ගෝනුන් බේරගන්න මේ සුනඛයන් අල්ලාගෙන වෙන කොහේ හරි ගිහින් දාන්න කියලා අපි වන ජීවී නිලධාරීන්ට කිව්වා. නමුත් ඒක වුණේ නෑ.

තවත් ධීවරයකු වන කේ්.එම්.එම්. රසික්ද අපට කරුණු කීවේය.

පට්ටිපොළ, මිපිලිමාන, අඹේවෙල, උෟව පරණගම, වැලිමඩ, ඩයගම, ආගරපතන, ලිදුල  යන ප්‍රදේශවල  ජනතාව වගා කටයුතු කරන්නේ මේ ජලාශයේ වතුරෙනුයි. ඒ අය බොන්නෙත් ඒ වතුරමයි.

නමුත් මේ වන විට අඹේවෙල ජලාශයේ විශාල පරිසර හානියක් සිදුවෙනවා. අපි ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ව දැනුවත් කළා. ඒ අය ඇවිල්ලා බලලා ගියා මිසක් කිසිදු පියවරක් ගෙන නෑ.

මෙහෙම ගියොත් අඹේවෙල සහ හෝර්ටන් තැන්න පැත්තේ ගෝනුන් නැති වෙනවා විතරක් නොවෙයි අපේ ධීවර රැකියාවත් නැති වෙලා යන්න පුළුවන්.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිපදෙනෙකුත් ඇවිත් ජලාශයේ මියගොස් සිටි ගෝනකුගේ හිසක් කපාගෙන ගියා. අපි ඇහුවා ඇයි කියලා. මිය ගිය ගෝනුන්ට ජලභීතිකා රෝගය වැලඳිලාද කියලා පරීක්ෂා කරන්නයි කියලා ඒ මහත්වරු කිව්වා.

ගෝනුන් මියයාම සම්බන්ධයෙන් සොයා බැලීමට නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි 1 සමන්ත ජයසුන්දර සහ අඹේවෙල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ධනපාල යන මහත්වරුද ආහ. මෙහිදි අප කළ විමසුමකට ජයසුන්දර මහතා කියා සිටියේ තමන් මේ සත්ත්ව විනාශය පිළිබඳව දැනගන්න ලැබුණු විගසම වන ජීවී නිලධාරීන්ට ලිඛිතව දැනුම් දුන් බවය.

“දැනුම් දීලා ගොඩාක් දවස්. හැබැයි මෙතෙක් විසඳුමක් ලැබිලා නෑ.

මියගිය ගෝනුන් කිහිපදෙනකුගේ බෙල්ලේ  මදු පැටලිලා තිබුණා, තවත් මිය ගිය සතුන් කිහිප දෙනකුගේ ගාත් මසට කපාගෙන ගිහින් තිබුණා.

මේ සත්ත්වයන් මියයෑම පිටිපස්සේ දඩයම්කරුවන් කිහිප දෙනෙකුත් සිටින බව මා කළ විමර්ශනයේදී අනාවරණය වුණා.

ඒ වගේම ජලාශයේ ඔරුවකින් යනකොට දඩයම් සුනඛයන් කිහිප දෙනෙකුත් රක්ෂිතය තුළ ඉන්න හැටි මම දැක්කා.

ගෝනුන් බේරා ගැනීමට කළ යුතු එකම දෙය වන්නේ රක්ෂිතයේ සැරිසරන දඩයම් සුනඛයන් ටික අල්ලාගෙන ගිහින් වෙන පරිසරයකට මුදා හරින එකයි.

සුනඛයන් සේරම එකම ස්ථානයක මුදා හරින එකත් හොඳ නෑ. කාලගුණ තත්ත්වය හොඳ වුණාම ජලාශයෙයි, රක්ෂිතයෙයි තියෙන ගෝන සිරුරු ඉවත් කිරීමට මම පියවර ගන්නවා.

මේක අවාසනාවන්ත සිද්ධියක්. සුනඛයන්ව ඝාතනය කරන්න අපට අයිතියක් නෑ. ඒත් මේ ගෝනුන් මියයෑම නම් නතර කරන්න ඕනෑ. ඒත් ඒක පොලිසියට පමණක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕනෑම වේලාවක අපේ සහයෝගය වන ජීවී නිලධාරීන්ට දෙන්න අපි කැමතියි.”

නෝර්වුඩ් නීටා පත්ම කුමාරි