ඔබේ විවාහයත් ඔබේ විවාහයත් බ්‍රහ්ම විවාහයක්ද?

0
51

“අපිට කරදරයක් වුණානේ. අපේ මාමගේ දුව පැනලා ගියානේ.”

“අනේ එහෙමද?” මම දුක්මුසු සුසුමක් පිට කරමින් කීවෙමි.

“තවම එච්චර ලොකු වයසකුත් නෑ නේද කෙල්ලට? ” නැවතද මම ඇසුවෙමි.

 “මම හිතන්නේ 20 ලැබුවා විතරයි. ගෙදර ඉස්සරහ කඩේක වැඩ කර කර හිටිය කොල්ලෙක් එක්ක තමයි ගිහින් තියෙන්නේ.” 

 “අනේ පව් අර අම්මයි, තාත්තයි. හිතේ අමාරුවෙන් ඇත්තේ.” මවුපියන්ගේ මුහුණ මතක් කරගනිමින් මම ඇසුවෙමි.

“දැන් ඉතින් මොනවා කරන්නද? ඉස්සරහ වැඩ ටික බලලා කරලා දෙනවා ඇරෙන්න.”

“හ්ම්ම්ම් …. පතාගෙන ආව විධිය තමයි ඉතින් නේද?” හිතේ බොහෝ දේ කියන්නට තිබුණද වැඩි යමක් නොකියාම ඒ මාතෘකාවෙන් පිට පැන දෙබස වෙනතකට හැරවූවෙමි.

ඒ පසුගිය දවසක ඉතා හිතවත් කෙනකු සමඟ දුරකථන සංවාදයක යෙදී සිටින අතරතුර එහි ඇතිවුණ දෙබසකි. 

එම සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස වසර දහස් ගණනක් පැරණි මෙම විවාහ ක්‍රමය  එනම් ගාන්ධර්ව විවාහ ක්‍රමය ගැන යමක් ලියන්නට සිතුණි.

ආවාහ – විවාහ කවුරුත් අසා ඇති යුගල පදයකි. මේ අතරින් බහුලව සමාජයෙහි භාවිත වන්නේ විවාහය යන වචනයයි. නමුත් මෙම පද දෙක හරියාකාරව විස්තර කරන්නේ නම් ආවාහය පිරිමි පාර්ශ්වයටත් විවාහය කාන්තා පාර්ශ්වයටත් අදාළය. මනාලියක කැන්දාගෙන ඒම ආවාහ නම් වන අතර මනාලියක වී චාරිත්‍රානුකූලව මනාලයාගේ නිවෙසට යෑම විවාහය නම් වේ. ආවාහය – විවාහය සෑම යෞවන යෞවනියකගේම දිගු කලක් තිස්සේ පවතින සිහිනයකි. ජීවිතයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයකි. හදවත් දෙකක ආදරණීය එක්වීමකි.  ඉතා වැදගත් හා ඉතා වටිනා චාරිත්‍රයකි. වගකීම් සහගත පුරවැසියකු ලෙස සමාජගත වන හා සමාජය පිළිගන්නා බැඳීමකි.

ආවාහය – විවාහය ලෝකයෙහි කොතැනක සිදු වුවද එහිදී සිදුවන්නේ දෙදෙනකුගේ නීත්‍යනුකූල එක්වීමය. නමුත් එහිදී සිදුවෙන චාරිත්‍ර – වාරිත්‍ර දේශයෙන් දේශයට, ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට වෙනස් ස්වරූපයක් උසුලයි. මීට වසර දහස් ගණනකට පෙර පැවතුණ අදටත් ඉන් කිහිපයක් ක්‍රියාත්මක වන විවාහ ක්‍රම කිහිපයක් පිළිබඳ සංස්කෘත සාහිත්‍යයෙහි සඳහන් වේ. විශේෂයෙන්ම ඒ විවාහ විධි එදා පැවති සමාජ ක්‍රමය, කුල ක්‍රමය හා ඍජු සම්බන්ධයක් දරයි. මනුස්මෘතියෙහි හා අර්ථශාස්ත්‍රයෙහි එවැනි විවාහ ක්‍රම 8 විස්තර කොට ඇත.  ඒවා පහත පරිදිය.

“බ්‍රහ්මෝ දෛවස්තථෛවාර්ෂ– ප්‍රජාපත්‍යස්තථාසුර– ගාන්ධර්වෝ රාක්ෂසශ්චෛව පෛශාචශ්චාෂ්ටමෝධම– ”

(මනුස්මෘතිය 3.21)

–              බ්‍රාහ්ම විවාහය

–              දෛව විවාහය

–              ආර්ෂ විවාහය

–              ප්‍රජාපති විවාහය

–              අසුර විවාහය

–              ගාන්ධර්ව විවාහය

–              රාක්ෂස විවාහය

–              පෛශාච විවාහ

බ්‍රහ්ම විවාහය

 “ආච්ඡාද්‍ය චර්චයිත්වා ච ශ්‍රැතිශීලවතේ ස්වයම්

ආහූය දානං කන්‍යයා බ්‍රාහ්මෝ ධර්ම– ප්‍රකීර්තිත–” (මනුස්මෘතිය 3.27)

බ්‍රහ්ම විවාහය හොඳම විවාහය ලෙස සැලකේ. එකම කුලයට අයිති හොඳ පවුල් පරිසරයක් ඇති යුවළක් අතර මෙම කසාදය සිදුවේ. පිරිමි ළමයා ඔහුගේ බ්‍රාහ්මචාර්ය  ආශ්‍රමය (ශිෂ්‍ය කාලය) සම්පූර්ණ කර තිබිය යුතුය.” “කන්‍යාදාන” නම් ක්‍රමයට, එනම් මනාලිය මනලියගේ පියා විසින් මනාලයාට භාර දීම බ්‍රහ්ම විවාහයේ වැදගත් චාරිත්‍රයකි. මෙය අනේ‍යාන්‍ය එකඟතාවයෙන් සිදුවන විවාහයක් වන අතර, මනාලියගේ පියා තම දියණිය තමන් විධිමත් ලෙස අනුමත කරන මනාලයාට විවාහ කර දෙයි. දෙපාර්ශ්වයේම වැඩිහිටියන් ඉදිරියේ වෛදික චාරිත්‍ර අනුව විවාහය සිදු කෙරේ. වර්තමානයේ ඉන්දියාවේ බොහෝ හින්දු විවාහයන් සිදු කරනු ලබන්නේ මේ ආකාරයටය.

දෛව විවාහය

 “යඥේ තු විතතේ සම්‍යග් ඍත්විජේ කර්ම කුර්වතේ

අලංකෘත්‍ය  සුතාදානං දෛවං ධර්මං ප්‍රචක්ෂතේ ” (මනුස්මෘතිය 3.28)

මෙම විවාහයේදී විශේෂිත වූ මංගල්‍යයක් හෝ උත්සව කිසිවක් නොමැත. දුප්පත් පවුලක දියණියකගේ විවාහ මංගල්‍යය ධනවත් පුද්ගලයන් විසින් පුණ්‍ය කටයුත්තක් ලෙස පවත්වනු ලැබේ. ගැහැනු ළමයා වැඩිවියට පත් වී සාධාරණ කාලයක් ඇතුළත සුදුසු මනාලයකු සොයා ගැනීමට දැරියගේ මවුපියන්ට නොහැකි වුවහොත් මෙවැනි විවාහයක් සිදුවිය හැකිය. බොහෝ විට මෙයට හේතුව මනාලියගේ මවුපියන්ට තම දියණියගේ විවාහය සඳහා වියදම් දැරීමට නොහැකි වීමයි. නව යොවුන් වියේ පසු වන ගැහැනු ළමයකු අවිවාහකව තබා ගැනීම නුසුදුසු හෝ අනාරක්ෂිත ලෙස සලකනු ලැබූ අතර, වයසට ගිය ගැහැනු ළමයකුට හොඳ සැමියකු ලැබීමේ අවස්ථාවට වඩා එම ගැහැනු ළමයාට අඩු වයසේදී හොඳ සැමියකු ලබා ගැනීම වඩා හොඳ යැයි සිතා දැරියව මල්වලින් හා කුඩා ආභරණවලින් සරසා ධනවත් මහතකු විසින් ආගමික උත්සවයක් හෝ පූජාවක් පවත්වන ස්ථානයට ගෙන යනු ඇත. ඇය කැමැති ඕනෑම පිරිමියකුට විවාහ කර දෙනු ලබන අතර සාමාන්‍යයෙන් ඔහු තරුණ හෝ මහලු පූජකයන්ගෙන් කෙනෙකි. ධර්මශාස්ත්‍රයට අනුව දෛව විවාහය නුසුදුසු වන නමුත් දරිද්‍රතාව නිසා එවැනි විවාහ සිදු වේ.

ආර්ෂ විවාහය

 “ඒකං ගෝමිථුනං ද්වේ වා වරාදාදාය ධර්මත–

කන්‍යාප්‍රධානං විධිවදාර්ෂෝ ධර්ම– ස උච්‍යතතේ” (මනුස්මෘතිය 3.29)

මෙම ආකාරයේ විවාහයකදී මනාලයාගේ පවුල මනාලියගේ මවුපියන්ට යම් මුදලක් හෝ ජීවී – අජීවී වස්තු හෝ ගෙවයි. ඇතැම් ග්‍රන්ථවලට අනුව මනාලිය සඳහා නියම කර ඇති මුදල වසු පැටවකු සමඟ එළදෙනක හා ගොනුන් ජෝඩුවකි. කෙටියෙන්ම කියතොත් පුරුෂයා කැමැත්තෙන්ම මනාලියගේ මිල ගෙවා මනාලිය නිවෙසට ගෙන ඒම මෙහිදී සිදු වේ.

ප්‍රජාපත්‍ය විවාහ

 “සහෞභෞ චරතාං ධර්මමිති වාචානුභාෂ්‍ය ච

කන්‍යා (ප්‍රදාන) මභ්‍යර්ච්‍ය පජාපතේ‍යා් විධි– ස්මෘත–” (මනුස්මෘතිය 3.30)

මෙහිදී මනාලියගේ පියා ඇයව තෑග්ගක් ලෙස ලබා දෙන්නේ මනාලයාට නොව මනාලයාගේ පියාටයි. මෙම විවාහය සෑම අතින්ම බ්‍රහ්ම විවාහයට සමාන වේ. පාණිග්‍රහණ එනම් අත් පිළිගැනීම නම් උත්සවයේදී මනාලියගේ හෝ දියණියගේ ආරක්ෂාව ඇගේ පියා විසින් මනාලයාගේ පියාට භාර දෙනු ලැබේ. තරුණ මනාලිය හා මනාලයා සම්බන්ධ මංගල උත්සවය මනාලිය හා මනාලයාගේ වයස අනුව තීරණය කළ හැකිය. විවාහයට ප්‍රමාණවත් තරම් වයසක ඔවුන් දෙදෙනා නැතිනම් විවාහ මංගල්‍ය වසර කිහිපයක් ඇතුළත සම්පූර්ණ කළ හැකිය.

අසුර විවාහ

 “ඥාතිභේ‍යා් ද්‍රවිණං දත්ත්වා කන්‍යායෛ චෛව ශක්තිත–

කන්‍යාප්‍රධානං ස්වාච්ඡන්ද්‍යාදාසුරෝ ධර්ම උච්‍යතේ ” (මනුස්මෘතිය 3.31)

අසුර ආකාරයේ විවාහයකදී මනාලයා මනාලියට කිසිසේත්ම සුදුසු නොවේ. කිසිම ආකාරයකින් ඔහු ගැහැනු ළමයාට ගැළපෙන්නේ නැත. නමුත් ඔහු මනාලියගේ මවුපියන්ට සහ ඥාතීන්ට හැකි තරම් ධනය ලබා දෙයි. ආර්ෂ වර්ගයේ විවාහයේදී ගවයන් මනාලිය වෙනුවට දෙනු ලබන නමුත් අසුර විවාහයේදී එවැනි සීමාවක් නොමැත. මෙම විවාහයේදී මනාලියගේ පියා පීඩනය, බිය හෝ මනාලයා විසින් පිරිනමනු ලබන ද්‍රව්‍යමය ආර්ථික හෝ මූල්‍යමය කරුණු හේතුවෙන් ඔහුගේ කැමැත්ත ලබා දෙයි. අතීතයේ රජවරු, ධනවත් වෙළෙන්‍ෙදා් මේ ආකාරයේ විවාහවල නිරත වූහ. එවැනි විවාහ වර්තමානයේ දුර්ලභය. නමුත් සිදුනොවන්නේමද නොවේ.

 ගාන්ධර්ව විවාහය

 “ඉච්ඡයාන්යෝන්‍යසංයෝග– කන්‍යායාශ්ච වරස්යක ච

ගාන්ධර්ව– සතු විඥේයෝ මෛථුන්‍ය–ද කාමසම්භව–” (මනුස්මෘතිය 3.32)

පිරිමියකු හා ස්ත්‍රියක් ආදරයෙන් බැඳී ඔවුන්ගේ පවුල්වල කැමැත්ත නොමැතිව විවාහ වනවිට, එම විවාහය ගාන්ධර්ව විවාහය හෝ ප්‍රේම විවාහය ලෙස හැඳින්වේ. විධිමත් චාරිත්‍ර සහිත උත්සවයක් නොතිබූ නිසාත්, වැඩිහිටියන්ගේ කැමැත්ත ලබා නොගත් නිසාත් එවැනි විවාහයකට මනාලයාගේ හෝ මනාලියගේ පවුල්වල සමාජ අනුමැතියක් හෝ පිළිගැනීමක් නොලැබුණි. කෙසේ වෙතත් හින්දු සම්ප්‍රදායන් විශේෂයෙන් මනාලිය සහ මනාලයා ක්ෂත්‍රිය කුලයට අයත් වන ඇතැම් අවස්ථාවන්හිදී මෙම ආකාරයේ විවාහය පිළිගත හැකි සහ නීත්‍යනුකූල ලෙස සලකයි.

රාක්ෂස විවාහය

 “හත්වා ඡිත්වා ච භිත්වා ච කේ‍රා් ශන්තීං රුදතීං ගෘහාත්”

ප්‍රසහ්‍ය කන්‍යාහරණං රාක්ෂසෝ විධිරුව්‍යතේ” (මනුස්මෘතිය 3.33)

මෙය අත්‍යවශයෙන්ම පැහැරගෙන යෑමෙන් සිදුවන විවාහයකි. ගැහැනු ළමයා පිරිමි ළමයා සමඟ විවාහ වීමට කැමැති නමුත් ඇගේ පවුලේ අය සම්බන්ධයට විරුද්ධ නම්, ගැහැනු ළමයා පැහැරගෙන ගොස් විවාහ විය හැකිය. ගැහැනු ළමයා කැමැත්තෙන් සිටීම අත්‍යවශ්‍ය වේ. මන්ද එසේ නොමැති නම්, හුදෙක් පැහැර ගැනීමේ සිද්ධිය ස්ත්‍රී දූෂණයක් ලෙස සලකන අතර එහි ප්‍රතිඵලයක් ලෙස දඬුවම් හෝ වන්දි ගෙවීමට සිදු වේ.

පිශාච විවාහය

 “සුප්තාං මත්තාං ප්‍රමත්තාං වා රහෝ යතේ‍රා්පගච්ඡති” ස පාපිෂ්ටෝ විවාහානාං පෛශාචශ්චාෂ්ටමෝධ්‍යම–” (මනුස්මෘතිය 3.34)

මනාලිය මත් වී සිටින විට හෝ භූතාවේශයකට පත්ව සිටින විට හෝ සිහිකල්පනාවෙන් තොරව සිටින විට  සිදු කරන විවාහයයි. වැඩවසම් සමාජවල මිනිස්සු පළිගැනීම් පියවා ගැනීමට හෝ තම අධිකාරිය සහ අන් අය කෙරෙහි පාලනය ස්ථාපිත කිරීමට මෙවැනි විවාහයන් වෙත යොමු වී ඇත.

මේ අතරින් වර්තමානයෙහි බහුලව පවතින්නේ බ්‍රාහ්ම විවාහය සහ ගාන්ධර්ව විවාහය යන වර්ග දෙකයි. වෙනත් ආකාරයේ විවාහයන් කිහිපයක් පසුගිය ශත වර්ෂය දක්වා අනුගමනය කළ නමුත් ඒවා ක්‍රමයෙන් සමාජයෙන් අහෝසි වී ඇත.

ආවාහය – විවාහය සෑම දෙනාගේම ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යයකි. ඇතැම් ජීවිත විවාහයෙන් පසුව සම්පූර්ණයෙන්ම වෙනස් වෙති. එය හොඳ පැත්තට හෝ නරක යන දෙපැත්තටම සිදුවිය හැකිය. ඇතැම්හු තමා ලැබූ සහකාරයා හෝ සහකාරිය ගැන උද්ධාමයෙන් කතා කරති. මගේ පෙර පිනකට මේ වගේ කෙනකු හමුවුණේ’ යැයි උදම් අනති. ඇතමෙක් ජීවිතයේ තමා ලැබූ ලොකුම පරාජය විවාහය ලෙස සලකති. ඇතමෙක් තමා ගත්ත වැරදිම තීරණය ඔහු හෝ ඇය සමඟ විවාහ වීමට ගත් තීරණය බව සිතමින් පශ්චාත්තාපයට පත් වෙති.

ආවාහය – විවාහය අපේ ජීවිතයේ ඉතාම වටිනා අවස්ථාවක් නිසා එය හිතුමතේ තීරණය කළ යුත්තක් නොවේ. ළඟ නොබලා දුර දැකලා ගත යුතු තීරණයකි. මන්ද ආවාහ – විවාහ වන්නේ අද ගොස් හෙට එන්නට නොව, අපේ අවසන් හුස්ම පොද වැටෙනතුරු ඔහු හෝ ඇය සමඟ ජීවත් වෙනවා යන තීරණය මතය. එබැවින් ඒ තීරණය ඔබේ ජීවිතයේ ඔබ ගත්ත හොඳම තීරණය විය යුතුවාට සැක නැත. සැමගේ ආශීර්වාදයෙන් සිදුවන බැඳීමක් නම් එය තව තවත් අර්ථවත් වේ.

ප්‍රේමවන්තයකුගේ ප්‍රේවන්තියකගේ ආදරය, තරුණ හිතක් අවශ්‍යයෙන්ම බලාපොරොත්තු වන දෙයකි, සොයන දෙයකි. දෙදෙනෙක් ආදරයෙන් බැ¾දුණු පසු ඒ දෙදෙනාගේ ලෝකය වෙනම එකකි. ඔවුන්ගේ එකම හීනය කෙදිනක හෝ කූඩු වීමය. ඇතැම්හු එය හදිසියේ දුර දිග නොබලා සිදු කරති. මවුපියන්ගේ තීරණය, ආශීර්වාදය අවශ්‍යම යැයි නොසිතති. ඇතැම් විට අවුරුදු විස්සක්, විසි පහක්  දුකක් නොදී රැක ගත්ත මවුපියන්ගේ බසට විරුද්ධව කටයුතු කරති.

ආදරය නාමයෙන් ලොවටම එරෙහි වී ගොඩක් හිත්වල බලාපොරොත්තු සිඳ බිඳ දමා හොර රහසේම දීග යති. ඒ බැඳීමට යමෙක් එරෙහි වන්නේද ඔවුන් සියල්ලන් හතුරන් ලෙස සලකයි. බොහෝ අවස්ථාවල ජීවිතයේ ඉදිරිය දැක කළ යුත්ත නොකළයුත්ත පවා හ¾දුනා ගැනීමට නොහැකි වන තරමටම ආදරයෙන් මුළාවට පත් වේ. ඇතැම් ගැහැනු ළමයි තම ජීවිතයේ වටිනාම සහ රැකගත යුතුම දේවල් ආදරය නාමයෙන් නැඟෙන රාගයට පුද කරති. ඇතැම් ආදර කතා දෙවාචකවලින් අවසන් වන්නේ මෙම මුලාව නිසාය.

හොරෙන් පැන යෑම, හඳපානෙම දීග යෑම යන ව්‍යවහාරයන් අපට අමුතු දෙයක් නොවේ. මෙම ක්‍රමය අවුරුදු දහස් ගණනක් තිස්සේ පවතින විවාහ ක්‍රමයකි. පෙර මෙන් වර්තමානයෙහි බහුලව සිදුවෙන බවක් දැක ගන්නට නැත. නමුත් සිදු නොවන්නේමත් නොවේ. ගාන්ධර්ව විවාහයෙන් දීග ගිය සියලු දෙනා ජීවිතය වරද්දවා ගෙන ඇති බවද නොකියමි. ඇතැම්හු ඉතා හොඳින් දිවි ගෙවති. නමුත් මෙම විවාහ ක්‍රමයට සමාජ පිළිගැනීමක් නැත. තවත් පැත්තකින් මවපියන්ගේ හිත් රිදවීම්, බලාපොරොත්තු කඩවීම්, කලකිරීම් ආදිය නිසා අතුරු විපාක ඇතිවීමේ ඉඩකඩ වැඩිය. ඇතැම් විට කායික, මානසික රෝගාබාධවලට ලක්වීම් සහ ජීවිතයෙන් පවා වන්දි ගෙවන අවස්ථාද නැතුවා නොවේ.

ඇතැම් අවස්ථාවල ඒ වේදනාවල කලකිරීම නිසා ජීවිතාන්තය දක්වාම මවුපිය – දූ දරුවන් විරසක බවෙන්, වෛරයෙන් කටයුතු කරන අවස්ථාද දක්නට ලැබේ. තවද හදිසියේ සිදු වන වැරදි බැඳීම් නිසා මියෙනතුරුම දුක් විඳින, වන්දි ගෙවන කතාද අසා ඇත්තෙමු, දැක ඇත්තෙමු. එබැවින් විවාහය යනු හුදෙක් හැඟීම්වලට වහල් වී ඉක්මන් වී හිතුමතේට ගත යුතු තීරණයක් නොවන බව තරයේම මතක තබා ගැනීම අගනේය. ජීවිතයේ වටිනාම අවස්ථාවක් වන විවාහය, වටිනාම ආකාරයට, සියලු ආශීර්වාද මධ්‍යයේ සතුටු කඳුළු, සතුටු සිනහ මැද සම්පූර්ණ කර ගන්නට වෙර දැරීම අගනේය.

රාජකීය පණ්ඩිත

මාවෙල

සීලරතන හිමි