අලුත්ම වවුල් විශේෂය සොයා ගිය මෙහෙයුම

0
92

දශක අටකට පසු ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ වාසය කරන අලුත් වවුල් විශේෂයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය. එහි සම්පූර්ණ ගෞරවය හිමිවනුයේ රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක හා දැනට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සේවයේ නියුතු වවුලන් පිළිබඳ අධ්‍යයනවල නිරත වන මෙරට තරුණ ජීව විද්‍යාඥයකු වන තාරක කුසුමින්ද ප්‍රමුඛ දෙස් විදෙස් පර්යේෂණ කණ්ඩායමටය. විද්‍යාත්මක බසින් Miniopterus phillipsi ලෙස හැඳින්වෙන මේ වවුලා ‘පිලිප්ස්ගේ දික් පිය වවුලා’ ලෙස සිංහලෙන් නම් කර ඇත. ඒ ශ්‍රී ලංකාවේ ක්ෂීරපායී සතුන් පිළිබඳව පර්යේෂණ විශාල ප්‍රමාණයක් සිදුකර එම ක්ෂේත්‍රයට අසමසම සේවාවක් සිදුකළ ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයකු වන W.W.A. Phillipsට සිදු කරන ගෞරවයක් ලෙසය.

අවසන් වරට මෙරටින් නව වවුල් විශේෂයක් සොයාගෙන ඇත්තේ වසර අනූවකට පෙරය. දශක අටකට පසු මෙරටින් හා ඉන්දියාවෙන් නව Miniopterus වවුල් විශේෂයක් සොයාගත් පළමු අවස්ථාව මෙය යැයි සැලකේ. එපමණකින් නොනැවතී මේ සොයා ගැනීම ඉදිරියෙන් තවත් වාර්තාවක් ලියැවී ඇත. ඒ ආසියාවෙන් දශක හයකට පසුව මෙම ගණයට  අයත් නව වවුල් විශේෂයක් සොයාගත් පළමු අවස්ථාව ලෙසය.

මින් පෙර මේ වවුල් විශේෂය හ¾දුනාගෙන ඇත්තේ  දකුණු ආසියාවේ හා ගිනිකොනදිග ආසියාව ජීවත් වන Miniopterus fuliginosus නම් විශේෂය ලෙසින්ය. එහෙත් ඒ පුරෝකථන සියල්ලට නව මුහුවරක් දෙමින් නව විශේෂයක් දකුණු ඉන්දියාවෙන් හා ලංකාවෙන් මතුකර ගැනීමට තාරක කුසුමින්ද ප්‍රමුඛ පර්යේෂකයෝ සිය කාලය, බුද්ධිය, අත්දැකීම් හා ධනය වෙහෙසවමින් සිටියහ.

මින් පෙර 1852 දී ඊ.එෆ්. කෙලාඩ් මෙරට වවුලන් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට මුල් අඩිතාලම දමන ලදී. වවුලන් සම්බන්ධයෙන් මුල්ම වාර්තාවද ඇත්තේ ඔහු සතුවය. ඉන් පසුව සුදු ජාතික පර්යේෂකයෝ කිහිප දෙනෙක්ම කෙලාඩ් මහතාගේ ගමන් මඟේ ගොස් ඇත. ඒ සියල්ල අතුරින් මෙරට ක්ෂීරපායින් ඇතුළු වවුලන් සම්බන්ධයෙන් වැඩිම අධ්‍යයන ප්‍රමාණයක් සිදු කිරීමේ ගෞරවය හිමිවනුයේ ඩබ්.ඩබ්.ඒ. පිලිප්ස්ටය. අවසන් වරට මෙරටින් නව වවුල් විශේෂයක් ලොවට හ¾දුන්වාදී ඇත්තේද ඔහුය. ඒ 1932 වසරේදීය. ඔහු ලියූ ‘Manual of the Mammals of Sri Lanka’ යන කෘතිය අදටත් වවුලන් සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන පිරිස් අත්පොතක් සේ පාවිච්චි කරන බව තාරක කුසුමින්ද පැවැසීය. ඔහු ලියූ කියූ දේ සම්බන්ධයෙන් අදටත් තාරක සිහි කරනුයේ ගෞරවයෙනි.

අලුතින් හ¾දුනා ගැනුණු වවුලා විවෘත පරිසරයක ගොදුරු සොයනා සත්ත්වයෙකි. කෘමීන් මතම යැපෙන නිසාම කෘමි භක්ෂකයෙකි. දහවල් කාලය උෟ ගෙවා දමනුයේ ස්වාභාවිකව සැකසුණු විශාල ගල්ගුහා තුළය. ස්වාභාවික ගල් ගුහාවලට සෑම අතින්ම සමානකම් දක්වන කෘත්‍රිිමව සැකසුණු උමඟක් තුළ ජීවත් වූ වවුලන්ද පර්යේෂක කණ්ඩායම සොයාගෙන තිබේ. ස්වාභාවික තත්ත්වයන්ගෙන් පිරි ගල්ගුහා තුළ දිවි ගෙවීමට මේ වවුලන් වැඩි කැමැත්තක් දක්වන බව සිය අධ්‍යයනවලදී අනාවරණය වූ බව තාරක කුසුමින්ද පැවැසීය.

මේ හේතුවෙන්ම මේ සතුන්ගේ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කරන බවද තාරක පෙන්වා දුන්නේය.

නව විශේෂයට අදාළ දර්ශීය නිදර්ශක සොයාගෙන ඇත්තේ ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පිහිටා ඇති බයෝ ටී ගාර්ඩ්න් තේ වතුයාය අසලින්ය. එයට අදාළ අමතර නිදර්ශක සොයා ගෙන ඇත්තේ අරණායක සඳරාජ වනය, තලවකැලේ, වැල්ලවාය වවුල් ගල්ගේ, වවුල්පනේ හුනුගල් ගුහාව යන ස්ථානවලින්ය. මේ වවුල් විශේෂය අප රට තුළ තෙත් හා අතරමැදි පරිසර කලාප තුළ සාමාන්‍ය ව්‍යාප්තියක් පෙන්නුම් කළද වියළි කලාපයේ ස්ථාන කිහිපයකින්ද වාර්තා වී ඇත. ඉන්දියාවේ මහා බාලේශ්වරවල Robbers Cave නම් ගුහාවෙන්ද මෙම වවුල් විශේෂයට අයත් නිදර්ශක හමුවී ඇත.

මේ පර්යේෂණය සඳහා මෙම වවුල් විශේෂයේ සුබෙදු විද්‍යාත්මක පසුබිම, රූප විද්‍යාත්මක මෙන්ම ජාන විද්‍යාත්මක දත්තද යොදාගෙන තිබේ. එහිදී පර්යේෂණ කණ්ඩායම අනාවරණය කරගෙන ඇත්තේ මේ විශේෂය දකුණු ආසියාවේ සෞම්‍ය දේශගුණයක් සහිත පරිසරවල හා අග්නිදිග ආසියානු කලාපයේ රටවල පමණක් ව්‍යාප්තව සිටින බවය. ශ්‍රී ලංකාවේ වවුල් විශේෂයක සුබෙදු විද්‍යාත්මක පසුබිම තහවුරු කිරීම සඳහා ජාන තාක්ෂණයේ සහාය ලබාගත් දෙවැනි අවස්ථාව ලෙස මෙය සැලකේ. එම තාක්ෂණික උපකරණ හා ඒවා භාවිතයේ සීමිත බව හා අඩුව නිසා දශක ගණනාවක් පුරා මෙරට තුළ ජීවත් වන වවුලන්ගේ සැබෑ විශේෂ විවිධත්වය නිසි ලෙස අනාවරණය වී නැතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

ලංකාවේ විශ්වවිද්‍යාලවල ජාන තාක්ෂණික පරීක්ෂණ සඳහා පහසුකම් සහිත විද්‍යාගාර පැවතුණද ඒ සඳහා අවසර ලබා  ගැනීම අතිශය අසීරු බවද තාරක සඳහන් කළේය. එහෙත් රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය කනිෂ්ක උකුවෙල මිහින්තලය පරිශ්‍රයේ පිහිටි ජීව විද්‍යාගාරයේ ඉඩකඩ වෙන් කරමින් ඒ වෙනුවෙන් විශාල සහායක් දුන් බව තාරක ස්තුති පූර්වකව සිහිපත් කළේය.

නව වවුල් විශේෂයක් ලොවට හ¾දුන්වා දීමේදී නිදර්ශක කිහිපයක් පිළිගත් කෞතුකාගාරයක තැන්පත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. ඒ අනුව ජාතික කෞතුකාගාරයේ නිදර්ශක තැන්පත් කිරීමට තාරක ඇතුළු පිරිස කටයුතු කර තිබිණි. හිස්කබලේ මිනුම්, දන්ත වින්‍යාසය පවා අනෙකුත් වවුල් විශේෂ හා සංසන්දනය කර බැලූ බවද තාරක කීය. ඒ ජාන තාක්ෂණිකව මෙන්ම රූප විද්‍යාත්මකව කෙතරම් වෙනස්කමක් දරනවාද යන්න සොයා බැලීම සඳහාය.

සියලු විශ්ලේෂණ අවසානයේදී මේ පර්යේෂණ ප්‍රතිඵල ලොව පිළිගත් විද්‍යාත්මක සඟරාවක් වන Acta Chiropterologica සඟරාවේ නවතම කලාපයේ පසුගියදා පළ කෙරිණි. ඒ, නව වවුල් විශේෂයක් සොයා ගැනීමේ ගෞරවයද සමඟිනි. එම සත්ත්වයා එම නමින් ලෝකයට වලංගු සත්ත්වයකු බවට පත් වන්නේ ඉන් අනතුරුවය.

සාමාන්‍යයෙන් ලෝකයේ ජීවත් වන කෘමි භක්ෂක වවුලන් සියල්ල පාහේ අති ධ්වනි තරංග භාවිතයට ගනී. ගොදුරු සොයා ගැනීමට උන් යොදා ගනුයේ ඇස් පෙනීම නොවන මේ අති ධ්වනි තරංගය. එය හැඳින්වෙන්නේ ප්‍රති ධ්වනි ස්ථානගත කිරීම් ලෙසය. එම ශබ්ද තරංග වවුලන්ගෙන් වවුලන්ට වෙනස් බව අධ්‍යයනවලදී හෙළිව ඇත.

මේ පර්යේෂණය සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අමානි මාන්නක්කාර, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය විපුල යාපා, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය කනිෂ්ක උකුවෙල, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ රාජික ගමගේ, ජෙට්වින්ග් යාල ආයතනයේ චාමර අමරසිංහ, සඳරාජ වන අරණ සංචාරක මධ්‍යස්ථානයේ මතීශ කරුණාරත්න, ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාභාවික විද්‍යාව පිළිබඳ ක්ෂේත්‍ර කෞතුකාගාරයේ මහාචාර්ය බෘස් පැටසන් මෙන්ම හන්ගේරියාව, ස්විට්සර්ලන්තය, ඉන්දියාව, රුසියාව හා එක්සත් රාජධානිය යන රටවල පර්යේෂකයන් රැසක් දායක වූ බව තාරක කුසුමින්ද සඳහන් කළේය.

සවනි ශේශාධි