අම්බලන්ගොඩ හොල්ලන බෙනට්-වසන්ත මිනීමරු යුද්දේ තව ඉවර නැද්ද?

0
77

නාඳුනන තුවක්කුකරුවන් සිදුකරන වෙඩි තැබීම් සහ මිනිස් ඝාතනවල නිමාවක් තවමත් දක්නට නොමැති බව පසුගිය සතියේ සිදු වූ වෙඩි තැබීම්වලින් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මෙවන් වෙඩි තැබීම්වල ආසන්නතම සිදුවීම් තුනක් ඉකුත් සතියේ 24 වැනිදා ගම්පහ, අහුන්ගල්ල සහ උෟරගස්මංහන්දිය පොලිස් වසම්වලින්ද වාර්තා වීමෙන් එය මැනවින් පැහැදිලි වේ.

ගම්පහ උඩුගම්පොළ බටපොළ ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකු විසින් සිදු කළ වෙඩි තැබීමකදී ඉදිකිරීම් උපකරණ අලෙවිසලක හිමිකරුවකු ඝාතනය වූ අතර එදිනම සවස උෟරගස්මංහන්දිය පොලිස් වසමේ නුගුඩුමුල්ල හන්දියේ පිහිටි කොණ්ඩා කපන ආයතනයක් තුළට කඩාවැදුණු තුවක්කුකරුවකු එහි සිටි ආයතන හිමිකරු වෙඩි තබා මරා දමන ලදී.

මේ අතර 24 වැනිදා දහවල් කාලයේදීද අහුන්ගල්ල පොලිස් වසමේ ගලවෙහෙර ප්‍රදේශයේදී පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් තුවක්කුකරුවකු විසින් වෙඩි තැබීමක් සිදු කළද වෙඩි වැදුණු පුද්ගලයා තුවාල ලබා රෝහල්ගත කරන ලදී. මේ වනතුරුත් ඔහුගේ ජීවිතයට හානියක් සිදුව නැතැයි වාර්තා වේ.

මේ අතර ඉකුත් 21 වැනිදා ද අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයක මත්පැන් බොමින් සිටි පුද්ගලයකු ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්වූ අතර මේ අනුව ඉකුත් මැයි මස 30 වැනිදා සිට මාස තුනකට ආසන්න කාලයක් තුළදී නාඳුනන තුවක්කුකරුවන් විසින් එල්ල කරන ලද වෙඩි තැබීම්වලින් අහිමි වූ ජීවිත ගණන 29 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් මේ සෑම වෙඩි තැබීමක් සහ මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් අදාළ වසමේ පොලිස් ස්ථානයත් කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයත් විමර්ශන අරඹා ඇති අතර ඒ නිසා මෙම ඝාතන බොහොමයක් මත්කුඩු ආරවුල්වල ප්‍රතිඵල ලෙසද අනාවරණය කර ගැනීමටද හැකිව තිබේ.

දිගින් දිගටම මෙවැනි සිද්ධීන් වාර්තා වීමත් සමඟ ඇතැම් පුද්ගලයන් සිය පැරණි අමනාපකම් හා බද්ධ වෛරයන් පිරිමසා ගැනීම සඳහාත් පුද්ගල මරණ සිදු කර ඒවාද වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලට බැර කිරීමට උත්සාහ කර ඇති අයුරු සමහරක් පොලිස් විමර්ශනවලදී පැහැදිලිව දකින්නට ලැබී ඇත.

ඉකුත් ජූලි මස 26 වැනිදා අම්බලන්ගොඩ පොලිස් වසමේ සිදුවූ මිනිස් ඝාතනයත් සමඟ මේ වන විට දින 26ක් තුළදී එම වසම තුළ පමණක් මනුෂ්‍ය ඝාතන 5ක් වාර්තා වී තිබිණි. මෙම මිනිස් ඝාතන පහම අම්බලන්ගොඩ කේන්ද්‍රකරගෙන සිටින පාතාල වෙඩික්කරුවන් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවට මූලික පරීක්ෂණවලදී සැක පළ කරනු ලැබුවත් මේ වන විට සිදු කර ඇති විමර්ශනවලදී හෙළි වී ඇත්තේ කලක සිට දෙපාර්ශ්වයක් අතර ඇතිව තිබූ තදබල වෛරයක් මත එකිනෙකා මෙලෙස මරා ගන්නා බවකි.

විමර්ශන නිලධාරීන් මේ බව තහවුරු කර ගන්නේ අම්බලන්ගොඩ උෟරවත්ත ප්‍රදේශයේ මිනිස් ඝාතනයක් සිදු කළ තුවක්කුකරුවකු සහ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන කරන ලද දීර්ඝ විමර්ශනයක් අතරතුරදීය.

අම්බලන්ගොඩ ඉඩන්තොට පදිංචිව සිටි මුරුක්කුවාගෙදර වසන්ත සොයිසාගේ හෙවත් වසාගේ පාර්ශ්වය සහ අම්බලන්ගොඩ මාදම්පේ පදිංචි බෙනට් අජිත් හෙවත් බූරු අජිත්ගේ පාර්ශ්වය අතර කලක් තිස්සේ ඇති වී තිබෙන එකිනෙකා මරා ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වනතුරුත් දෙපාර්ශ්වයම මිනිස් ඝාතනවල තවමත් නියැළී සිටින බව විමර්ශනවලදී පෙනෙන්නට තිබේ.

මෙම පාර්ශ්ව දෙකේ ගැටුමට මූලිකම හේතුව බූරුවා පොළකදී ඇති වූ සිදු වීම බව කියැවේ. ඒ මීට වසර හත අටකට පමණ පෙරදී සිදුවූවකි. මාදම්පාගම පදිංචි බෙනට් අජිත් සූදු කප්පිත්තෙකි. එමෙන්ම බෝට්ටු ස්කීපර්වරයෙකි. ඔහු විසින් පවත්වාගෙන ගිය බූරුපොළකට වරෙක වසන්ත සොයිසාද පැමිණ සිටි අතර එහිදී ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස වසන්තගේ අතකට බරපතළ හානි සිදුව තිබිණි.

බෙනට් අජිත්ගේ පියා වන බෙනට් සොයිසාද ඊට වසර ගණනාවකට පෙර මරා දමා තිබුණේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙසිනි. බෙනට් සොයිසාට පුතුන් තිදෙනකු වූ අතර බෙනට් අජිත්, විජිත් සහ සුජිත් සෙසු දරුවන් වේ.

වසන්ත සොයිසාද කලක් කරන්දෙණිය හිතහොඳ ‍ෙදාස්තරගේ ඝාතකයකු වූ ජයලත් සුද්දා සහ පොඩිලැසී ආදිය සමීපව ඇසුරු කළ තැනැත්තෙකි. මේ නිසා වසන්ත සොයිසාට ඔවුන්ගේ සහායද ලැබුණු අතර තමාගේ අතකට සිදු වූ හානියට කොයි මොහොතක හෝ බෙනට් අජිත්ගේ පාර්ශ්වයට ප්‍රහාරයක් එල්ල කිරීමට වසන්ත සොයිසා දැඩි උත්සාහයක යෙදණි.

එහි ප්‍රතිඵලයක් ලෙස 2020 අගෝස්තු මස 22 වැනිදා පෙරවරු 9ට පමණ බෙනට් අජිත් ඝාතනය කරන්නේ වසන්ත සොයිසාගේ පාර්ශ්වය විසිනි. අම්බලන්ගොඩ ධීවර වරායෙන් මාළු රැගෙන යතුරුපැදියකින් ගාලු පාර දිගේ ගාල්ල දෙසට ගමන් කරමින් සිටි බෙනට් අජිත් නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකට ලක්ව මිය යන්නේ වසන්තගේ අත කැපුවාට රිටන් එකක් ලෙසින් බව කියැවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කළද බෙනට් අජිත්ගේ ඝාතනයත් සමඟ වසන්ත සොයිසා ප්‍රදේශයෙන් අතුරුදන් වී තිබිණි. කෙසේ වෙතත් අම්බලන්ගොඩ පොලිසියට වසන්ත සොයිසා සොයාගත නොහැකි වුවද රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට වසන්ත ගැන තොරතුරක් ලැබිණි. ඒ අනුව සිද්ධියෙන් දින 3කට පසු 2020 අගෝස්තු 25දා උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටි වසන්ත සොයිසා විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ බෙනට් අජිත් ඝාතනය සඳහා පැමිණි මෝටර් රිය පදවා ඇත්තේ වසන්ත සොයිසා බවය.

කුලී පදනම මත ලබාගෙන තිබූ එම වාහනයද පසුව නෙළුව ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා භටයන් විසින් සිය භාරයට ගෙන අම්බලන්ගොඩ පොලිසිය වෙත භාරදුන් අතර පොලිසිය බෙනට් අජිත්ගේ ඝාතනයට සැක පිට වසන්ත සොයිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

වසන්ත සොයිසා ඇතුළු පාර්ශ්වය විසින් තම සොහොයුරා වූ බෙනට් අජිත් ඝාතනය කිරීමත් සමඟ ඔහුගේ සෙසු සොහොයුරන් තුළ ඇති වූයේ දැඩි වෛරයකි. ඊට එකට එක කිරීමක් ලෙස වසන්ත සොයිසා ඝාතනය කිරීමට ඔවුන් දැඩි උත්සාහයක් ගත්තද වසන්ත ඇප මත නිදහස්ව පැමිණෙන තුරු ඔවුන්ට ඒ දේ කර ගත නොහැකිව තිබිණි.

කාලය මෙසේ ගෙවී යද්දී වසන්ත සොයිසාද ඇප මත බන්ධනාගාරයෙන් පිටතට පැමිණියද බෙනට් අජිත් ඝාතනයේ නඩුව නිමා වී නොතිබිණි. එමෙන්ම ඊට වසර කිහිපයකට පෙර මාදම්පේ ඉඩම්තොටදී ඝාතනය වූ ගලගොඩ සුසාගේ මරණය සම්බන්ධයෙන් වසන්තට එරෙහිව නඩුවක්ද අධිකරණයේ විභාග වෙමින් පැවැතිණි. මෙලෙස පවතින නඩු සඳහා අධිකරණය හමුවේ පෙනී සිටීමට වසන්තට සිදු වන බවත් බෙනට් අජිත්ගේ සොහොයුරන් මෙන්ම ඔහුගේ පාර්ශ්වයද හොඳින් දැන සිටි අතර එවන් අවස්ථාවකද වසන්ත කොටු කර ගැනීම ඔවුන්ගේ අරමුණද විය.

ඒ ඉකුත් ජූලි මස 26 වැනිදාය. බෙනට් අජිත් ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට සහභාගි වීමට වසන්ත සොයිසා බළපිටිය අධිකරණයට ගොස් සිටියේය. නඩුවට ඉදිරිපත් වූ ඔහු නඩු වාරය කල්යෑමත් සමඟ සිය මිතුරකුත් සමඟ යතුරුපැදියකට ගොඩ වූයේ නිවෙසට යෑම සඳහාය. යතුරුපැදිය පැදවූයේ වසන්ත සොයිසාය. කෙසේ වෙතත් වසන්ත සොයිසාට සිය නිවෙසට යෑමට හැකි වූයේ නැත. ඔහු ගමන්ගත් යතුරුපැදියට පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයකු වසන්ත සොයිසා ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්නට විය. වෙඩි පහර වසන්තට වැදිණි. යතුරුපැදිය මඳක් ඉදිරියට ගොස් පෙරළිණි. ඒ සමඟ වසන්ත සමඟ පිටුපස අසුනේ පැමිණි පුද්ගලයා පලා ගිය අතර වෙඩි ප්‍රහාරය එල්ල කළ නාඳුනන තුවක්කුකරුවන්ද ඒ සමඟම පැනගොස් තිබිණි.

නයින් එම්.එම්. වර්ගයේ ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර වෙඩි වැදුණු වසන්ත බළපිටිය මූලික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන ඇරැඹූ අතර ඝාතකයන් සොයා සිදුකරන එම විමර්ශන අතරතුරදී අම්බලන්ගොඩ පොලිසිය වෙත තවත් තොරතුරක් ලැබිණි. ඒ අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ අවමඟුල් ගෙදරකට කඩාවැදුණු තුවක්කුකරුවකු නිවෙසේ සිටි පිරිසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

මෙම සිදුවීමෙන් අවමඟුල් නිවෙසේ හිමිකරු වන අජිත් සුදර්ශන එතැනම මරුමුවට පත්වූ අතර මියගිය අයගේ දේහයට ගෞරව දැක්වීමට පැමිණි තිරිමාදුර විජිත් යන අයද ජීවිතක්ෂයට පත්විණි.

නාඳුනන තුවක්කුකරුවන් මෙම නිවෙසට ප්‍රහාරය එල්ල කර තිබුණේ වසන්ත සොයිසා මරා දැමූ දාට පසු දින වීමද විශේෂත්වයකි. ඒ ජූලී 27 වැනිදා රාත්‍රියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇරැඹි විමර්ශනයේදී හෙළි වූයේ තුවක්කුකරු මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ටී පනස් හය තුවක්කුවකින් බවය. එසේම මිය ගිය දෙදෙනාගෙන් එක් අයකු වූ තිරිමාදුර විජිත් නමැත්තා මීට වසර දෙකකට පෙර ඝාතනය වූ බෙනට් අජිත්ගේ සොහොයුරකු බවටද අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි විය. ඒ අනුව මීට වසර කිහිපයකට පෙර බූරුවා පොළකදී වසන්ත සොයිසාගේ අතකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර තිබුණේ බෙනට්ගේ මෙම සොහොයුරා බවත් හෙළිකර ගැණිනි.

ඒ අනුව මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇත්තේ වසන්ත සොයිසාගේ ඝාතනයට එකට එක කිරීමක් ලෙස බව පොලිසියේ අදහස විය. ඒ වසන්ත සොයිසාගේ හිතවත් පාර්ශ්වය විසිනි.

මේ අතර මෙම ඝාතන ත්‍රිත්වය නිසා පොලිසිය දැඩි අපහසුතාවට පත්ව තිබිණි. එහෙත් ඇල්පිටිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලීලවංශ සහ සහකාර පොලිස් අධිකාරි අමරසිරි යන මහත්වරුන් විසින් මෙම ඝාතන පසුපස සිටින තුවක්කුකරුවන් සොයා ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ද යොදවා තිබිණ. ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේත් බුද්ධි තොරතුරු ඔස්සේත් කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් මත වසන්ත සොයිසා මරාදැමූ කණ්ඩායම කොටුකර ගැනීමට නිලධාරීන්ට හැකිවූයේ මෙවන් වාතාවරණයක් පවතින මොහොතකය.

හෝමාගම, ගැමුණු මාවත ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී වසන්ත සොයිසාගේ ඝාතකයා කොටුකර ගැනීමට නිලධාරීන් සමත් වී තිබිණි. එමෙන්ම වසන්ත සොයිසා ඝාතනය කිරීම සඳහා උපයෝගී කරගත් විදෙස් රටක නිෂ්පාදිත ස්වයංක්‍රිය පිස්තෝලය සහ ඊට යොදන ලද පතරොම් ගැබද වසන්ත ඝාතනයට යොදාගත් යතුරුපැදියද බටපොළ නිවෙසක සඟවා තිබියදී පොලිස් කණ්ඩායම විසින් සොයා ගනු ලැබුවේ අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීමේදීය.

එමෙන්ම වසන්ත සොයිසා ඝාතනය සඳහා ඔත්තු බැලූ අයකුද කොටුවිය. ගම්බෙට්ටා නමින් හඳුන්වන ඔහු ඝාතකයන්ට සහාය දෙමින් තවත් යතුරුපැදියක ඒ මොහොතේ ගමන් කරමින් සිටි බවට පොලිස් කණ්ඩායමට තොරතුරු ලැබී තිබිණි.

මේ අතර වසන්ත සොයිසා ඝාතනය කිරීමෙන් පසු මෙම සැකකරුවන්ට හෝමාගම ප්‍රදේශයේ නිවෙසක නවාතැන්දීමේ වරද යටතේ එම නිවෙසේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඉකුත් අගෝස්තු මස 19 වැනි දින මෙලෙස අත්අඩංගුවට ගැනුණේ සුජිත් සහ තරිඳු ඇතුළු තවත් දෙදෙනෙකි. වසන්ත ඝාතනයට උපයෝගී කරගත් පිස්තෝලය සොයා ගනු ලැබුවේ මාදම්පේ, මහරුප්ප ප්‍රදේශයේ නිවෙසක් තුළ වළදමා තිබියදීය.

ඝාතනය සඳහා යොදාගත් යතුරුපැදිය පදවා ඇත්තේ බෙනට් අජිත්ගේ ඥාති පුතකු බව කියැවේ.

මේ අතර අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ඉකුත් 21 වැනිදා දැඩි ආරක්‍ෂක රැකවරණ මැද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අම්බලන්ගොඩ පොලිසිය පියවර ගෙන තිබිණ.

ඒ අනුව බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමේ ඊළඟ අරමුණ වූයේ අම්බලන්ගොඩ, ගලගොඩ අවමඟුල් ගෙදරට කඩාපැන එහි සිටි පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කළ තුවක්කුකරුවන් සොයා ගැනීමයි.

ඒ සඳහා කණ්ඩායම් දෙකක් පිටත්ව තිබූ අතර එදිනම රාත්‍රියේ නැවත අම්බලන්ගොඩ පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබී තිබුණේ ඊට  සුළු වේලාවකට පෙර අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ පිහිටි හෝටලයකට කඩා වැදුණු තුවක්කුකරුවන් තවත් පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර ඇති බවය.

අම්බලන්ගොඩ නගරයේ සිට කිලෝමීටර් 3ක් පමණ දුරින් මාදම්පා ගඟට යාබදව දෙල්දූව ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලය වෙත ගිය සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු කණ්ඩායම ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර තුවක්කුකරු රාත්‍රි අටට පමණ එම හෝටලයට ඇතුළු වී ඇත්තේ හෝටලයේ විදුලිය විසන්ධිව තිබූ මොහොතකදී බවද නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

ආරක්‍ෂිත හිස්වැසුමක් දමාගෙන ටී. පනස්හය ගිනි අවියක්ද අතැතිව ගනඳුරේ හෝටලයේ ඉහළ මාලයේ විවෘත පරිශ්‍රයට පැමිණි තුවක්කුකරු ඉටිපන්දම් දල්වාගෙන මත්පැන් පානය කරමින් සිටි සිවුදෙනා ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

ඒ අවස්ථාවේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයකු එතැනම මැරී වැටුණු අතර ඔහු බෙනට් අජිත්ගේ ඥාති පුත්‍රයකු බවට පසුව හඳුනා ගැනිණි. කෙසේ වෙතත් තුවක්කුකරුගේ ඉලක්කයද ඔහු වන්නට ඇතැයි පොලිසියේ සැකයයි.

මේ අතර වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී ඉහළ මාලයේ සිටි තවත් පුද්ගලයකු පහළ තිබූ පිහිනුම් තටාකයට වැටී ඇත. එය දුටු අයකු ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වෙද්දී ඔහුද වෙඩි පහරට ලක්වී ඇත. පසුව ඔහු රෝහල් ගත කළද ඔහුද මරණයට පත්ව තිබිණි.

සිද්ධියෙන් මියගොස් තිබුණේ අම්බලන්ගොඩ, වේනමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සඳුන් මධුසංඛ සහ 33 හැවිරිදි තිරිමාදුර ධනුෂ්ක යන අය බව පොලිසිය කියයි. ධනුෂ්ක බෙනට් අජිත්ගේ ඥාති පුත්‍රයා බව කියැවේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ තවත් පුද්ගලයන් දෙදෙනකු බළපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹි පොලිස් කණ්ඩායම පවසන්නේ මෙම සිද්ධියද වසන්ත සොයිසා පාර්ශ්වය සහ බෙනට් අජිත්ගේ පාර්ශ්වය අතර ඇතිව තිබෙන ගැටුමේ තවත් ප්‍රතිඵලයක් බවය. මෙම වෙඩි ප්‍රහාරයද වසන්ත සොයිසා ඝාතනයට පළිගැනීමක් ලෙස වසන්තගේ පාර්ශ්වය විසින් සිදුකරන ලද්දක් බව පොලිසිය සැක කරයි.

කෙසේ වෙතත් මේ පාර්ශ්ව දෙක අතර ඇතිවී තිබෙන මෙම ගැටුමේදී මේ වන විට ජීවිතක්‍ෂයට පත්ව ඇති පුද්ගල සංඛ්‍යාව 6කි.

අම්බලන්ගොඩ, ගලගොඩදී සහ දෙල්දූව හෝටල් පරිශ්‍රයේදී වෙඩි ප්‍රහාරය සිදුකළ තැනැත්තා වසන්ත පාර්ශ්වයේ එකම තුවක්කුකරුවකු බවට සැකකෙරෙන තොරතුරුද ලැබී ඇති බවත් ඒ ඔස්සේ විමර්ශන පවත්වන බවත් ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් පවසයි.

මීට වසර කිහිපයකට පෙර අම්බලන්ගොඩ, මීටියාගොඩ, කරන්දෙණිය ආදී ප්‍රදේශවල දිගින් දිගටම මිනිස් ඝාතන සිදුවූ අතර එවකට ඇල්පිටිය කොට්ඨාස භාරව සිටි ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන අතුල  වීරසිංහ, සිසිර කුමාර සහ නිහාල් තල්දූව යන නිලධාරීන් එම තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සාහයක් ගත්තේ ඊට සම්බන්ධ වූවන්ද කොටුකර ගනිමිනි.

කෙසේ වෙතත් මසක් ඇතුළත මිනිස් ඝාතන 5ක් අම්බලන්ගොඩ පොලිස් වසමෙන් එක දිගට වාර්තාවීම ප්‍රදේශයේ නීතිය සහ සාමය පවත්වාගෙන යෑමට දැඩි අසීරුතාවක් ගෙනදෙන බව රහසක් නොවේ. එබැවින් වත්මන් ඇල්පිටිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි වයි.ඒ. ලීලවංශ ඇතුළු උසස් නිලධාරීන්ගේ කාර්යභාරය වී ඇත්තේ තවත් මිනිස් ඝාතන සිදු කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා පියවර ගැනීමයි. ඒ සඳහා තුවක්කුකරුවන් මෙන්ම ඔවුන් සතු ගිනිඅවිද කොටුකර ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කළ යුතුව ඇතැයි අම්බලන්ගොඩ ප්‍රදේශවාසීහු පවසති. හැකි ඉක්මනින් අම්බලන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවල නීතිය තදින් ස්ථාපිත කිරීමද මෙම නිලධාරීන්ගේ යුතුකම වේ.

ඇල්පිටිය කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි වයි.ඒ. ලීලවංශ සහ සහකාර පොලිස් අධිකාරි යූ.එම්. අමරසිරි යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එස්.කේ.ජී. විතානගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රවීන්ද්‍ර පුෂ්පකුමාර, ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මනෝජ් ආරියරත්න, උප පොලිස් පරීක්‍ෂක රුක්ෂාන්, සැරයන් සුජිත් (39185) සහ කොස්තාපල්වරුන් වන සමරනායක (69144, ජයන්ත (71931), කුමාර (72826), ජයසේකර (84259) සහ සජීව (16907) යන නිලධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ.

කීර්ති මෙන්ඩිස්

පින්තූර:

අනුරාධ ප්‍රියදර්ශන – අම්බලන්ගොඩ