අකුසල් වපුරන මිථ්‍යා දෘෂ්ටිකත්වය

0
39

මිථ්‍යාදෘෂ්ටිකත්වය තරම් මෙලොවදී සිදුකරන අකුසල කර්මයක් තවත් නොමැති තරම් බව බුදුරදුන් වරක් දේශනා කළා. වර්තමානයේ බුදුන් වහන්සේ දේශනා කළ උතුම් බුද්ධ දර්ශනය බැහැර කර බෞද්ධයන් විවිධ වූ මිථ්‍යාවන් පසුපස හඹායෑම සුලබ දසුනක්ව තිබෙනවා. ඇතැම් වෙලාවට දෙවියන් කෙරෙහි, යක්ෂයන් කෙරෙහි ඇතිකරන්නා බිය හා ගෞරවය භක්තිවන්තයන් බුදුන්වහන්සේ කෙරෙහි හෝ බුද්ධ දර්ශනය කෙරෙහි නොදැක්වීම කනගාටුවට කරුණක්.  මිථ්‍යාදෘෂ්ටිකත්වය අකුසලයක් වන්නේ කොහොමද කියලා කෙනකුට හිතෙන්න පුළුවන්. බුදු දහමේ ඉගැන්වීම පරිදි මිනිසකුට සිදුකළ හැකි බරපතළම පාප කර්ම පහක් දක්වනවා.

එම පහ අපි පංච ආනන්තරීය පාප කර්ම ලෙසද හඳුන්වනවා. මෙම අකුසල කර්ම පහෙන් එකක් කළොත් මිනිසා අවීචි මහා නරකාදියට වැටෙන බව අප විශ්වාස කරනවා. අවීචි මහා නරකාදිය කියන්නේ විශ්වයේ කෙළවරම තිබෙන නරකාදියයි. එයට වැටුණොත් එම සත්ත්වයා එහි කල්පයක් පමණ වාසය කළයුතු බවද බෞද්ධ ඉගැන්වීමයි. එම නිසා පංච ආනන්තරීය පාප කර්ම නොකිරීමට බොහෝදෙනා ප්‍රවේශම් සහගත වෙනවා. මිථ්‍යාදෘෂ්ටිකත්වයත් එතරම්ම බරපතළ පාප ක්‍රියාවක් බව ධර්මයේ උගන්වනවා. මිත්‍යාදෘෂ්ටිකත්වය ඇති වන්නේ සම්මා දිට්ඨිය නොමැතිකම නිසයි. නිවැරදි දෙය නිවැරදි ලෙස දැකීමට පුරුදු පුහුණු වූ අය මිථ්‍යාදෘෂ්ටිකත්වය පසුපස හඹා යන්නේ නැහැ. මොකද ඔවුන් ධර්ම මාර්ගයේ පිහිටා කටයුතු කිරීමෙන් ලැබෙන ආදීනව ගැන දන්නා නිසාය. වර්තමානයේ බොහෝ දෙනා විවිධ මිත්‍යා විස්වාසයන් කෙරෙහි ඇලී ගැලී සිටිනවා.

පන්සලකට ගියත්, බෝමළුවකට ගියත්, ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වුණත්, දානයක් පිළිගැන්වූවත් ඔවුන් ඒවා සිදු කරන්නේ අවබෝධයෙන් හෝ ශ්‍රද්ධාවෙන් යුතුව නොවෙයි. බුද්ධ දේශනාව කියන්නේ පරම සත්‍යයි. පරම සත්‍ය තුළ සැකය හෝ විවේචනයක් නොමැත. නමුත් බෞද්ධයන් වන අප පරම සත්‍යය ගවේෂණය බැහැර කර එයට හාත්පස විරුද්ධ දෙයක් කෙරෙහි යොමු වන්නේ අප තුළ සම්මා දිට්ඨිය නොමැති නිසාය.

ඔබ, අප සියලුදෙනාම පන්සලකට ගිහින් මලක් පහනක් පූජා කරලා බෝධියට පැන් කළයක් වත්කරන එක පුරුද්දක් විධියට සාමාන්‍යයෙන් සිදු කරනවා. ඔබ දකිනවා ඇති බෝධීන් වහන්සේගේ අතුරිකිලි පුරාම විවිධ වැකි සහිත පුවරු එල්ලා තිබෙනවා කියලා. “චූටි පුතුගේ අපල දුරු වේවා, අහවලා විභාගයෙන් සමත් වේවා” යනුවෙන් එවැනි වැකි එල්ලීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ අදාළ ප්‍රාර්ථනාව ඉෂ්ට වීමයි. නමුත් බෝධිය යනු කුමක්ද? බෝධිය යනු බෝධිසත්ත්වයාණන් උතුම් වූ බොධිය (බුද්ධත්වය) ලබාගත් යන අදහසයි.

ඒ සඳහා පිටදීම රුකුලක් වූ ඇසතු ගස තමයි අප බෝධිය ලෙස වන්දනාමාන කරනුයේ. ඉතින් සියල්ල අත්හැර බුද්ධත්වය ලබා ගැනීමට උරදුන් බෝධීන් වහන්සේ සමීපයෙහි අප සියල්ල ඉල්ලා සිටීම කෙතරම් ධර්මයට අනුගත් වන්නේදැයි ඔබම සිතා බැලිය යුතුයි. එමෙන්ම අද කාලයේ කෙනෙක් මියැදුණු පසු මළසිරුර නිවෙසට ගෙන ඒමටත්, එය සුසානය දක්වා රැගෙන යෑමටත් නැකැත් බලනවා. අප මෙලොව උපදින්නේ හෝ මියයන්නේ සුබ නැකැත් බලා නොවේ. එසේනම් මියැදුණු මළසිරුර රැගෙන යෑමට දින බලන්නේ අප මිථ්‍යාදෘෂ්ටිකත්වයෙන් අන්ද වී සිටින නිසා නොවෙද. බුදු දහම තුළ මෙවැනි කාරණා අනුමත නොකරයි.

දානය ලබාදීම කියන්නේ බුදු දහම තුළ ඉගැන්වෙන යහපත් ක්‍රියාවක්. එයිනුත් සාංඝික දානය මහත් ඵලයි, මහානිශංසයි. දානයක් ලබා දීමේදී සැපිරිය යුතු කරුණු තුනක් බුදු දහමේ කියා දෙනවා. දානය දීමට පෙර චේතනාව, දානය ලබා දෙන අවස්ථාව සහ දානයෙන් පසු අවස්ථාව මෙම තුනයි. එමෙන්ම එම දානය ලබාදිය යුතු වන්නේද ධාර්මික ආකාරයට උපයාගත් ධනයෙන් පමණයි.

ධාර්මිකව උපයාගත් ධනයෙන් පිරිසුදු චේතනාවෙන් ලබාදෙන ඕනෑම දෙයක් මහත්එල ආනිශංස ගෙනදෙනවා. එහෙත් අද භික්ෂුන් වහන්සේලාට දානයක් පිළිගන්වනවා නම් එය උත්සවාකාරයෙන් ඉහළ වියදමක් දරා කර යුතු දෙයක් බවට සමාජය තුළ මතයක් ගොඩනැඟිලා තිබෙනවා. එයද අප දානය දීම කෙරෙහි ගොඩනඟා ගත් මිථ්‍යාවක්. යහපත් චේතනාවෙන් ලබාදෙන ඕනෑම දෙයක් දානයක් විධියට හඳුන්වන්න පුළුවන්. එය මහ ඉහළින් ලබාදුන්නද සුළුවෙන් ලබා දුන්නද කිසිදු ගැටලුවක් නැහැ. අවශ්‍ය වන්නේ චේතනාව පිරිසුදු වීම සහ ධාර්මිකව උපයාගෙන තිබීම පමණයි.

වර්තමානයේ බොහෝ මිථ්‍යා විස්වාසයන් පරම්පරාවෙන් උරුම වූ දේවල්ය. ඒවා සිදුකිරීමේ හේතුව හෝ ඇතැමුන් දන්නේ නැත. අම්මා කළ නිසා මමත් කරනවා, ආච්චි කළ නිසා අම්මාත් කළා කිව්වට එහි සැබෑ අරුත ඔවුන් නොදනී. එම නිසා බෞද්ධ ඉගැන්වීම තුළ මිථ්‍යාදෘෂ්ටිකත්වය විශාල අකුසලයක් කර්මයක් ලෙස සලකනවා. මොකද මිථ්‍යාදෘෂ්ටිකත්වයෙන් අන්ධ වීම නිසා සත්‍ය ගවේෂණයට ඉන් බාධා ගෙන දෙනවා.

ඔවුන් පරම සත්‍ය පිළිගන්නවා වෙනුවට මෝහයෙන් අන්ධ වි දුගතියට ගමන් කරනවා. බුද්ධ දර්ශනයේ ඇති ගැඹුරු සංකල්පයන් තේරුම් ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ. එම නිසා  ඔවුන්ට උතුම් වූ නිර්වාණාවබෝධය බොහෝ දුරස් වෙනවා. එබැවින් ඔබත් සියලු මිථ්‍යා විස්වාසයන්ගෙන් බැහැරව සම්මා දිට්ඨිය ඇතිකර ගනිමින් අලෝභ, අ‍ෙදා්ස, අමෝහ යන කුසල කර්මයන්ට නැඹුරුව සත්‍යාවබෝධය ළඟාකර ගැනීමට වීර්යය වඩන්න.

දුමිදු ලංකා බණ්ඩාර

පූජ්‍ය මාතර විජයසීහ හිමි

තරුණ දම්සභා බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ