තෙල් පෝලිම් යළිත්

0
179

මුතුරාජවෙල තෙල් තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ත් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් ද ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බව ත් ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ‘මව්බිම’ට පැවසීය.

මුතුරාජවෙලින් කර්මාන්ත ශාලාවලට ද ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බව ත් මේ නිසා ඊයේ (අගෝ. 25) සහ පෙරේදා (අගෝ. 24) දෙදින ම ඉන්ධන හල් සහ කර්මාන්ත ශාලා වෙත ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොවූ බව ඔහු සඳහන් කළේ ය.

මේ තත්ත්වය මත මුතුරාජවෙල තෙල් ගබඩාවෙන් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ, ලංගම ඩිපෝ සඳහා පමණක් බව ද හෙතෙම කීවේය.

ඉන්ධන නිකුත් කිරීමට සීමා පැනවීමත් සමග මේ තත්ත්වය උද්ගතව ඇති බව ත් කොළොන්නාව තෙල් ගබඩාවෙන් ද ඉන්ධන නිකුත් කරනු ලබන්නේ සීමා යටතේ වීම මත ඊයේ දින ද ඉන්ධන රැගත් බවුසර් පිටත් වූයේ 100කට අඩු සංඛ්‍යාවක් බව ත් හෙතෙම වැඩිදුරට ත් පැවසීය.

මෙලෙස ප්‍රධානතම තෙල් ගබඩා පර්යන්ත දෙකෙන් ඉන්ධන නිකුත් කිරීම සීමා වීම මත දිවයින පුරා ඉන්ධන හල් ආශ්‍රිත ඉන්ධන පෝලිම් හට ගෙන ඇතැයි වාර්තා වේ.

එසේ ම තව ත් ඉන්ධන හල් රැසක් ඉන්ධන නොමැතිව වැසී ගොස් තිබේ.

මේ අතර, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කරන්නේ බැංකු කටයුත්තක් හේතුවෙන් ප්‍රමාද වූ මෙරටට ආ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 30000ක නෞකාවේ ගොඩබාන කටයුතු ද ඊයේ (අගෝ. 25) ආරම්භ කළ බව ය. එසේ ම තවත් ඔටෝ ඩීසල් රැගත් නෞකාවක් ගොඩබෑමේ කටයුතු අද (අගෝ. 26) දින ආරම්භ කරන බව ද අමාත්‍යවරයා කියා සිටී.

ඉන්ධන බෙදාහැරීමේ ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් තොග නිමා සමාගම ඊයේ රාත්‍රියේ සිට අමතර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරට ත් පැවසීය.