ශ්‍රී  ලංකා පොඩ්ඩන්ගෙන් එංගලන්ත පොඩ්ඩන්ට ගෙදරදීම ප්‍රහාරයක්

0
11

රනුද සෝමරත්නගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් ශ්‍රී  ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරය වෙනුවෙන් පැවැති පළමු යොවුන් ටෙස්ට් තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී  ලංකා කණ්ඩායමට හැකිවිය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සඳහා අවසන් දිනයේදී ශ්‍රී  ලංකා යොවුන් පිලට ලකුණු 273ක ඉලක්කයක් හිමිවූ අතර, කඩුලු 7ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එම ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී  ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 98ක් තුළ දැවී ගියද මැදපෙළ වගකීම තමා වෙත රඳවා ගනිමින් පන්දු 115කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 120ක් ලබාගත් රනුද සෝමරත්න ශ්‍රී  ලංකා යොවුන් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

එහිදී රනුද සෝමරත්නට අගනා සහායක් දැක්වූ ලහිරු දෙවටගේ ලකුණු 49ක් ලබාගත්තේය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 387කි. ඉන් අනතුරුව පිළිතුරු පළමු ඉනිම දියත් කළ ශ්‍රී  ලංකා යොවුන් පිල සියලුදෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 407කි. එහිදී අසිත වන්නිනායක ලකුණු 132ක් රැස්කළ අතර, රනුද සෝමරත්න ලකුණු 65ක් ලබාගත්තේය.

කෙසේ වෙතත් දෙවැනි ඉනිම දියත් කළ එංගලන්ත පිලට සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 292ක් පමණි. ශ්‍රී  ලංකා යොවුන් පිල වෙනුවෙන් වනුජ සහන් කඩුලු 4ක් දවාගත්තේය.

ලකුණු සාරාංශය

එංගලන්තය පළමු ඉනිම – 387 (ජෝර්ජ් බෙල් 107, රොස් විට්ෆිල්ඩ් 86, දුවිඳු රණතුංග 100/4, වනුජ සහන් 56/2)

ශ්‍රී  ලංකාව පළමු ඉනිම – 407 (අසිත වන්නිනායක 132, රනුද සෝමරත්න 65, බර්ටි ෆෝමන් 94/4)

එංගලන්තය දෙවැනි ඉනිම – 292 (රොස් විට්ෆිල්ඩ් 110, වනුජ සහන් 89/4, දුවිඳු රණතුංග 34/3)

ශ්‍රී  ලංකාව දෙවැනි ඉනිම – 276/7 (රනුද සෝමරත්න නොදැවී 120, ලහිරු දෙවටගේ 49, තෝමස් ඇස්පින්විල් 67/4)