රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව එක්වෙමු

0
61

“රජය යෝජනා කරන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙළක් වුවද ආණ්ඩුව සැබවින්ම  ක්‍රියාත්මක කරන්නේ “සර්වභක්ෂක” වැඩපිළිවෙළක් බවත් කුමන තනතුරු දුන්නත් පොදුජන අරගලය මර්දනය කරන ආණ්ඩුවට සම්බන්ධ වෙන්නේ නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පැවැසීය.

සියලු වාදභේද අමතක කොට, මතවාද මොහොතකට පසෙකින් තබා මේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වය පරාජය කරන්න එකතුවෙමු යැයි සියලු බලවේගවලට ආරාධනා කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගනිමින් ආණ්ඩුව මේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හෝ නැති කිරීමට කිසිවකුට අයිතියක් නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, කලාකරුවන්, බහුජන සංවිධාන සහභාගිත්වයෙන් ශ්‍රී  ලංකා පදනම් ආයතනයේ පැවති “මර්දනයට එරෙහි ජන පෙළගැස්ම” වැඩසටහනට එක්වෙමින් ඔහු මෙසේ පැවැසීය.

එම අවස්ථාවට බි්‍රතාන්‍ය, කැනඩා, ඕස්ට්‍රේලියා, දකුණු අප්‍රිකා ඇතුළු තානාපති කාර්යාලවල නියෝජිතයෝද, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයෝද එක්ව සිටියහ.

නිර්මාණි  ගුණරත්න