මේ අය සැරසෙන්නේ දඬුලේනාට නිල වශයෙන් මරණ දඬුවම දෙන්නයි

0
18

ජාතික සත්ත්වයා සේ සැලකෙන දඬුලේනා ඉන් ඉවත් කෙරෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍යට කර ඇති ප්‍රකාශ තුළින් එම සත්ත්වයාට නිල වශයෙන් මරණ දඬුවම පමුණුවන්නට පියවර ගැනෙන බවක් ගම්‍ය වන බව සතුන් හා සොබාදහම සඳහා යුක්තිය සංවිධානයේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ චෝදනා කරති.

දඬුලේනාගෙන් වගාවට සිදුවන හානිය සලකා ඒ සතාට ජාතික සත්ත්වයා වශයෙන් ලබාදී තිබූ ගෞරව සන්නාමය ඉවත් කිරීමේ පාපකාරී නිගමනය කැකිල්ලේ තීන්දුවක්ම වන බව කෘෂිකර්‍ම අමාත්‍ය මහින්ද අමරවීර වෙත විවෘත සන්දේශයක් යොමු කරමින් ඕමල්පේ සෝභිත හිමියෝ පෙන්වා දෙති.

සමස්ත ජාතිය පාවා දී තම සාක්කු පුරවා ගැනීමට ක්‍රියා කරන නීච නින්දිත පාපතරයන්ට විරුද්ධව කිසිදු පියවරක් නොගෙන දඬුලේනකුට එරෙහිව මෙවන්  පියවරක් ගැනීම කෙතරම් සාධාරණද යන්න හොඳ සිහියෙන් යුතුව කල්පනා කර බලන්නැයිද එම විවෘත සන්දේශයෙන් ඉල්ලීමක් කර ඇත.

වගාවන්ට සතුන්ගෙන් වන හානිය මෙරටට පමණක් සීමා වූවක් නොවන බවද ලෝකයේ දියුණු රටවල සතුන් පලවා හැරීමට හිරිහැරයකින් තොර අහිංසක ක්‍රමවේද අනුගමනය කරන බවද සෝභිත හිමියෝ සිය සන්දේශයෙන් පෙන්වා දෙති.

විද්‍යුත් තරංග මඟින් විදේශයන්හි සතුන් පලවා හැරෙන බව පෙන්වා දෙන උන්වහන්සේ මෙරට කෘෂි පර්යේෂකයන් මෙතෙක් එවන් විද්‍යාත්මක ක්‍රමවේද කෙතරම් ප්‍රමාණයක් හ¾දුන්වා දී ඇද්ද යන්න ප්‍රශ්න කර සිටිති.

මෙවන් ප්‍රාථමික හා හිංසන ක්‍රම වෙනුවට වඩාත් ශිෂ්ටාචාරවත් ක්‍රමවේදයක් නිර්මාණය කිරීම මනුෂ්‍යත්වයේ නාමයෙන් වහාම කළ යුතු ප්‍රතිකාරය බවද උන්වහන්සේ සිය විවෘත සන්දේශයෙන් අවධාරණය කර ඇත.

සවනි ශේශාධි