තවත් කඳුකර කොටි පැටවකු කම්බි උගුලකට බිලි

0
33

මන්දකට හසු වී සිටි තවත් කඳුකර කොටි පැටවකු ඊයේ (25දා) ජීවිතක්ෂයට පත් වූ බව නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු පැවසූහ. නාවලපිටිය පොලිස් වසමේ වෙස්ට්හොල් වතුයායට අයත් නිඩ්ලන්ඩ්ස් කොටසේ තේ වත්තේ අටවා තිබු උගුලකට හසු වී සිටි කඳුකර කොටි පැටවකු ඊයේ (25දා) උදැසන එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී නිලධාරීහු කියති.

තේ වත්තේ සැරිසරන සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් තේ ගසක අටවා තිබු කම්බි සහිත උගුලකට මෙම කොටි පැටවාගේ උදරය ප්‍රදේශය හසු වී ඇත.

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් උගුලකට කඳුකර කොටියකු හසු වී ඇති බවට වනජීවී නිලධාරීන් වෙත කළ දැනුම් දීමක් මත ගම්පොළ සහ නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයට යන විටත් උෟ ජීවිතක්ෂයට පත් වී සිටියේය.

අවුරුදු 2 පමණ වයසැති මෙම මියගිය කොටියා සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර කොටි පැටවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත භාරදෙන බව වනජීවී නිලධාරීහු පැවසූහ.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි