ගලහ මිනීමැරුමේ සැකකරු රාගම සැඟවී සිටියදී අල්ලයි

0
19

ගලහ, බෙල්වුඩ් ජනපදයේ නිවසක තනිව විසූ පුද්ගලයකු පසුගිය 23දා රාත්‍රි තියුණු ආයුධයකින් පහරදී නිවෙස තුළ මරා දමා ප්‍රදේශයෙන් පලාගොස් සිටි සැකකරු ගලහ පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන් පෙරේදා (24දා) සවස රාගම ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගලහ බෙල්වුඩ් ජනපදයේ අවුරුදු දහනවයක තරුණයකු වන අතර 23 දින රාත්‍රි අසල්වැසි නිවැසියකු වන මියගිය පුද්ගලයා හා ඇති වූ බහින් බස් වීමකින් පසු පිහියකින් ගෙල පෙදෙසට එල්ල කළ පහරකින් මියගොස් ඇත.

පොන්නයියා ජයකුමාර් නමැති අවුරුදු 45ක් වන මියගිය පුද්ගලයා විවාහක තිදරු පියෙකි. බිරිය විදේශ ගතවී ඇති අතර ඔහු තනිවම මෙම නිවෙසේ ජීවත් වී ඇත. ඔහුට දියණියන් තිදෙනකු සිටී. 

මියගිය පුද්ගලයා හා අසල්වැසි නිවෙසේ සිටින පුද්ගලයකු හා දැඩි මිතුදමකින් ජීවත් වූ අතර පසු කලෙක විරසක වී ඇත. මියගිය පුද්ගලයා බොහෝ දිනවල මෙම අසල්වැසි පුද්ගලයාට බැනවැදී ඇති අතර දෙදෙනා අතර නිතරම රණ්ඩු ඇති වූ බවට අනාවරණය වේ.

පසුගිය 23 වැනි දින රාත්‍රියේද එවැනි රණ්ඩුවක් ඇතිවී ඇති අතර දෙදෙනාගේ මෙම රණ්ඩුවට අසල්වැසි පුද්ගලයාගේ මිතුරාද පැටලී ඇත. අවුරුදු 19ක් වන මෙම මිතුරා පිහියකින්  එල්ල කළ පහරකින් බෙල්ල පෙදෙසේ කැපුම් තුවාල සිදුවී ඇත.

පිහිපාර ඒල්ල කළ පුද්ගලයාගේ පියා රාත්‍රි පැමිණ බිම වැටී ලේ ගලමින් සිටි තුවාලකරු නිවෙස තුළට රැගෙන ගොස් ඇඳට දමා ඇත. පසුදින අලුයම පැමිණ බැලීමේදී ඔහු මියගිය බව වැටහී ඇති අතර නිවෙස තුළ තිබූ ලේ පැල්ලම් සෝදා රණ්ඩුව ඇතිකරගත් අසැල්වැසියා විසින්ම  මේ බව 119ට දුරකථන ඇමැතුමක් ලබාදී පුද්ගලයකු මියගොස් ඇති බවට දැනුම්දී ඇත.

පසුව ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට අසල්වැසියා හා ප්‍රධාන සැකකරු වන අවුරුදු 19ක් වන පුද්ගලයාගේ පියා මේ සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන ඇත.  පසුව ගලහ බුද්ධි අංශ නිලධාරීන්ගේ දක්ෂතාව මත ප්‍රදේශයෙන් පලාගොස් සිටි ප්‍රධාන සැකකරු රාගම ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.  මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෘත ශරීරය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පේරාදෙණිය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන ලදී.

ගම්පොළ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශගේ උපදෙස් මත ගලහ පොලිස් ස්ථානාධිපති සමන් ගුණසේකර, අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විජේසිංහ, පොලිස් සැරයන් රණසිංහ (47224), ගුණවර්ධන (52299) ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

හන්තාන – චමින්ද කුමාර