හිසට යකඩ පොල්ලකින් ගසා අයකු මැරූ සැකකරුවන් සැප්. 5දා දක්වා රිමාන්ඩ්

0
14

කටුනායක කලහපිටිය ප්‍රදේශයේදී පුද්ගලයකුගේ හිසට යකඩ පොල්ලකින් ගසා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ලබන මස 05 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය 23 වැනිදා නියම කළාය.  කටුනායක කෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන තම්මිටගේ නන්දන කුමාරසිංහ සහ රුමේෂ් මධුසංඛ වික්‍රමරත්න යන සැකකරුවන් දෙදෙනා මෙසේ රිමාන්ඩ්භාරයට පත් කෙරිණි. එම ඝාතනයෙන් අනතුරුව සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බව පොලිසිය කීය.

එක් සැකකරුවකු කටුනායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි. අනෙක් සැකකරු නීතිඥ සංජීව හෙට්ටිආරච්චි මහතා මඟින් අධිකරණය හමුවට ඉදිරිපත් වී තිබිණි.  අධිකරණය හමුවට ඉදිරිපත් වූ සැකකරුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කටුනායක පොලිසියට ඉඩ සලසා දෙන ලෙස අධිකරණයෙන් මීගමුව බන්ධනාගාර අධිකාරි වෙත නියම කෙරිණි. ඉකුත් සවස 09දා කලහපිටිය ප්‍රදේශයේදී මහ හෙට්ටිගේ වික්‍රම ජයසිංහ හෙවත් ගාමිණී නමැති 58 හැවිරිදි පුද්ගලයාගේ හිසට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කර තිබූ බවට අධිකරණයේදී සඳහන් විය. සැකකරුවන් දෙදෙනා හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටින බව පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා හෙරොයින් පානය කර ත්‍රීවීල් රථයකින් ගමන් කරමින් සිටියදී මරණකරු හමුවී තිබේ. මරණකරු සහ රිමාන්ඩ් භාරයට පත් ත්‍රීවීල් රථය පැද වූ සැකකරු අතර කාලයක පටන් පවතින ආරවුලක් හේතුවෙන් ත්‍රීවීල් රථයේ තිබූ යකඩ පොල්ලක් රැගෙන සැකකරු මරණකරුගේ හිසට යකඩ පොලු පහරක් එල්ල කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවටද අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය. බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණකරු මණයට පත්ව ඇති බවට පොලිසිය පැවැසීය.

මිනුවන්ගොඩ – ටෝනි කේ. අතුකෝරාල