හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය නොවැ. 16 වැනිදා

0
31

තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 16 වැනි දින  කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (24දා) නියෝග කළේය. එදින අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි දෙන ලෙස විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කළේය. මෙම නඩුව ඊයේ දින විභාගය සඳහා අධිකරණය හමුවේ කැඳවු ලැබූ අවස්ථාවේදී තම ජේ‍යෂ්ඨතම නීතිඥවරයා අසනීප තත්ත්වයක් මත අධිකරණය හමුවේ පෙනී නොසිටීම මත නඩු වෙනත් දිනයක් සඳහා කල් තබන ලෙසට විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම නඩුව 2017 වසරේ සිටම දිනෙන් දින විභාගයට ගැනීම කල් තබන බවත් මෙම නඩුව ඉක්මනින් විභාගයට ගැනීමට අවශ්‍ය වන බවත් ඒ අනුව කෙටි දිනයක් ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී මෙම නඩුව දහතුන් වතාවක් පමණ විභාගයට නොගෙන කල් තබා ඇති බවට තමන්ට පෙනී යන බවත් ඒ අනුව මෙම නඩුව ඉක්මනින් විභාගයට ගැනීමට අවශ්‍ය වන බවත් පෙන්වා දුන් විනිසුරුවරයා නඩුව ලබන නොවැම්බර් මස 16 වැනි දින කැඳවීමට නියම කළේය. 

2015 වසරේ දෙසැම්බර් 21 වැනි දින දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසලක සේවය කළ අමිල ප්‍රියන්ත නමැති තරුණයකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිර කර තබා පහරදී තර්ජනය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හා ඇගේ ආධාරකරුවන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි.

එහෙත් ඇයගේ ආධාරකරුවන් 07 දෙනා 2017 නොවැම්බර් මස 24 අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් ඔවුන්ට කොළඹ මහාධිකරණය වසර 12කට අත්හිටුවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබිණි. විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරද පිළිනොගැනීම හේතුවෙන් ඇයට එරෙහිව චෝදනා ඉදිරියට පවත්වාගෙන යනු ලැබීය.

හංසි නානායක්කාර