වැඩි මිලට බිත්තර විකිණ­ූ සමුපයකටත් කඩවල් දහයකටත්  වැඩ වරදී

0
26

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කළ බළන්ගොඩ සමුපකාර වෙළෙඳසලකට සහ පෞද්ගලික වෙළෙඳසල් දහයකට එරෙහිව නඩු පැවැරීමට පාරිභෝගික සේවා අධිකාරියේ රත්නපුර කාර්යාලය කටයුතු කළේය.

පසුගිය 23 සහ 22 දෙදින තුළ කහවත්ත සහ බළන්ගොඩ ප්‍රදේශවල වෙළෙඳ සල්වල කළ වැටලීමකදී රජය මගින් පැන වූ පාලන මිල ඉක්මවා බිත්තර විකිණ­ූ වෙළෙඳසල් වැටලූ බව පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ ප්‍රධානී උදය නාමල්ගම මහතා පැවැසීය. කහවත්ත යයින්න ප්‍රදේශයේ බිත්තර තොග වෙළෙඳසලක්ද මෙහිදී වටලනු ලැබීය.

සුදු බිත්තරයක් රුපියල් 43කට සහ රතු බිත්තරයක් රුපියල් 45කට අලෙවි කරන ලෙස පාලන මිලක් නියම කර තිබියදී මෙම වෙළෙඳසල් හිමියන් රු. 60 සිට 65 දක්වා මිලකට බිත්තර විකිණූ­ බව අනාවරණය කරගත් බවද පාරිභෝගික අධිකාරියේ රත්නපුර ප්‍රධානියා පැවැසීය. බළන්ගොඩ ප්‍රදේශයේ සමුපකාර වෙළෙඳසලකද සුදු බිත්තර රුපියල් 65කට අලෙවි කරමින් තිබූ නිසා එම ආයතනයටද නඩු පවරා තිබේ.

දින කිහිපයක් තිස්සේ පාලන මිලට බිත්තර අලෙවි කරන ලෙස වෙළෙඳුන් දැනුවත් කිරීමෙන් පසු මෙම වැටලීම කළ බව පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලය පවසයි.

සිල්ලර මිලට වඩා වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සඳහා පළමුව නඩු පැවැරීමේදී රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ පහ දක්වා දඩ නියම කිරීමටත් දෙවැනි නඩු පැවැරීමේදී රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ දහය තෙක් දඩ නියම කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇතැයි පාරිභෝගික අධිකාරියේ රත්නපුර කාර්යාලයේ ප්‍රධානී උදය නාමල්ගම මහතා පැවැසීය. ඔහුගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම් සඳහා විමර්ශන නිලධාරීන් වන අජිත් ජයසුන්දර මේඝ කන්දේවත්ත, යසිත ඉෂාන්, ඩී.යූ. විජේවීර, සමීර හෝකන්දර, නසික් අහමඩ්, නදීෂා ලියනගේ, දිනේශා උඩුවේරිය යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

කහවත්ත – එල්. නිරෝෂණ