ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශේ්‍රණිගත කිරීම්වලට අනුව අපේ රට අප්‍රේල් 12දා සිට  බංකොලොත්

0
49

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශේ්‍රණිගත කිරීම්වලට අනුව අපේ රට අප්‍රේල් මස 12 වැනිදා සිට බංකොලොත් වූ රටක් ලෙස නම් කර අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි  හර්ෂ ද සිල්වා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (24දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙසේ කීය. මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතියක රැස්වීම් සඳහා ලංකාවට පැමිණිලා ඉන්නවා. රජයේ බලාපොරොත්තුව මේ මාසේ අවසන් වෙනකොට ඒ අයට Staff Level Agreement එකට එන්න පුළුවන් වෙයි කියන එක. ඒ ගැන අපට ඉස්සරහට බලන්න පුළුවන්. ගැටලුව වෙලා තියෙන්නේ අපි දැක්කා මහ බැංකුවේ අධිපතිවරයා දවස් දෙකකට කලින් කියනවා තවම ණය හිමියන් සමඟ ලංකාවේ රජය කිසිම සාකච්ඡා පටන් අරන් නැහැ කියලා. එතුමා කියන්නේ මාණ්ඩලික එකඟතාවක් ලබාගත්තට පස්සේ ණය හිමියන් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.

මේක ගැටලු සහගත තත්ත්වයක්. මොකද. මාණ්ඩලික එකඟතාව ඇතිකර ගන්න යම්කිසි විදිහක වැඩපිළිවෙළක් රජයේ ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. ණය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. මොකද අපේ ණය තිරසර නැහැ කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැන් වෙනකොට ශේ්‍රණිගත කරලා තියෙනවා. ඒ කියන්නේ අපි බංකොලොත් කියන එක අප්‍රේල් මාසේ ‍ෙදාළොස් වැනිදා ඉඳලා.

අපි බහුපාර්ශ්වික ආයතනවලට ඇරෙන්න ගෙවන සියලු ණය නවත්තලා තියෙන්නේ. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිව්‍යුහගත  කරගන්න තවම කිසිදු සාකච්ඡාවක් ආරම්භ කරලා නැහැ කියලා. එය යම්කිසි විධියකට තැතිගන්වන සුලු කතාවක්. අපි හරියටම දන්නේ නෑ ඔවුන්ට කතා නොකර අපි කොහොමද ඔවුන් සමඟ ගෙවන්න තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරගන්න සැලැස්මක් ගහගෙන තියෙන්නේ කියලා. මම මහ බැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඔහු සහ මුදල් අමාත්‍යාංශයේ වැඩ කරගෙන යනවා, ඒ අතරවාරයේදී අපි අහන ප්‍රශ්නය? කරුණාකරලා යම්කිසි විධියක  රටේ ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් වෙන විධියට විනිවිදභාවයක් තිබුණ නම් තවත් හොඳයි කියන එක. අපේ මතය වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාණ්ඩලික එකඟතාව ලබා ගැනීම සඳහා බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණ මේ අවස්ථාවේ සිදුවෙමින් පවතිනවා.

අපි දැක්කා විදුලි ඒකකයක මිල 75%කින් වැඩිවෙලා තියෙනවා. සමහර කණ්ඩායම්වලට ඒ මිල 200% ගාණකින් වැඩිවෙලා තියෙනවා නම් Average 175% අපි දැක්කා භූමිතෙල් මිල විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. විපක්ෂයක් විදිහට මේ සම්බන්ධයෙන් අපි කොයි ආකාරයෙන්ද දකින්නේ. අපේ රටේ අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අපේ මතය කුමක්ද. අපි සාමාන්‍ය  දේශපාලනඥයන් හැටියට හැමදාම රජය විසින් කරන දේ වැරදියි කියන්න සූදානම්ද, එහෙම නැත්නම් අපිට ජනතාව සමඟ මේ සම්බන්ධයෙන් යම්කිසි සංවාදයක් ඇති කරගන්න ඕනද ,කියන දේ පිළිබඳව අපි පක්ෂයක් විදිහට දීර්ඝ සාකච්ඡාව නියැළිලා ඉන්නවා. අපි මේ සම්බන්ධයෙන් මතය සඳුදා පාර්ලිමේන්තු විවාදයේදී එළිදක්වනවා.

එහෙත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ විය යුතුයි කියන මතයේ අප ඉන්නවා. ඒත් එය සිද්ධ කරන විධිය පිළිබඳව රජය සමඟ ගැටලු තිබෙනවා. ප්‍රතිසංස්කරණ කළාම අපේ සමාජයේ ඉන්න සියලුම ස්ථරවල පුද්ගලයන්ට එන බලපෑම එක් විධිහට ඔවුන් මතට පැටවෙන්නේ නැහැ. උදාහරණයක් විදියට ඉහළ ආදායම් තියෙන කණ්ඩායම්වලට වඩා ආර්ථික ප්‍රතිසංස්කරණවල සෘණාත්මක බලපෑම අඩු ආදායම් කට්ටියට තදින් දැනෙනවා. එතකොට එහෙම නම් කොයි ආකාරයෙන්ද ප්‍රතිසංස්කරණ කළ යුත්තේ. උදාහරණයක් විධියට භූමිතෙල් මිල වැඩි කරාම කුප්පි ලාම්පු පත්තු කරන කට්ටිය හා වතු ආශි්‍රතව ජීවත්වන කට්ටියට දැඩිව බලපානවා. එහිදී රජය කළ යුතුව තිබුණේ මොකක්ද. අපේ යෝජනාවල තිබුණේ කරුණාකරලා ප්‍රතිසංස්කරණ කරනවා නම් අදාළ මුදල් ලබාදීමක් යම්කිසි සමාජය කොටස්වලට කළ යුතුයි.

ඒක නොකර පෙට්රල් මිල, ඩීසල් මිල, භූමිතෙල් මිල, ලයිට් බිල වැඩි කරන එක සම්බන්ධයෙන් අපේ දැඩි විවේචනයක් තියෙනවා.  ඒත් අපි කියන්නේ නැහැ ආර්ථිකයේ කළ යුතු ප්‍රතිසංස්කරණ නොකළ යුතුයි කියලා . එසේ නොකර අපිට රට ගොඩගන්න බැහැ. ඒක කරන ආකාරය ඒකාධිපතියෝ වගේ කරන්න බැහැ. අපට මේක හදිසි නීතිය පාවිච්චි කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බලෙන් කරන්න බෑ. එහෙම කරන්න ගියොත් සිද්ධ වෙන්නේ තවත් විශාල සමාජ ප්‍රතිවිරෝධයක් විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපේ මතය මෙය කළ යුත්තේ කොහොමද කියන එක විවාදයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ සතිය ඉතාමත්ම වැදගත්. අපේ ආර්ථික ගොඩගැනීම සඳහා රජය මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සිද්ධ වෙන මේ සාකච්ඡා. අපි බලාපොරොත්තු වෙනවා ඒවා සාර්ථක වේවි කියලා. මොකද අසාර්ථක වුණොත් එහෙම අපි කාටත් මේ රටේ සියලු ජනතාවට දුෂ්කර යථාර්ථයට දිගින් දිගටම මුහුණ දෙන්න සිද්ධ වෙයි.

නිර්මාණි ගුණරත්න