උපාධිධාරීන් ගැන ‘මව්බිම’ පුවතෙන් මම කම්පා වුණා

0
20

මේ වනවිට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය  මඟින් පාලනය වන පාසල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් ලෙස  උපාධිධාරීන් හැට අට දෙනකු සේවය කරන අතර ඉන් දහඅට දෙනකු පාසල්වල වැසිකිළි පවිත්‍ර කිරීමේ නිරතව සිටින්නේ යැයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත්  යාපා මහතා විසින් අනාවරණය  කළ පුවතක්   24 වැනිදා ‘මව්බිම’ පුවත්පතේ ප්‍රධාන පිටුවේ පළකර තිබූ වාර්තාව දැකීමෙන් තමා අතිශය කනගාටුවට  පත් වුණේ යැයි  ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් වහන්සේ පැවැසූහ.

එම වාර්තාවට අනුව දැනට වසර ගණනාවක සිට මෙම උපාධිධාරීන් දහ අට දෙනා පාසල්වල සනීපාරක්ෂක කම්කරුවන් ලෙස සේවය කරන බවත් ඒ පිළිබඳව  දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා වන විලී ගමගේ මහතාටද දැනුම්දී ඇති බවද පුවතේ සඳහන් කර ඇති බැවින් එය මේ වන විට බලධාරීන්ට නොරහසක් බව  සනාථ වී ඇතැයි ඊයේ (24දා) බත්තරමුල්ල දේවාල පාරේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ පැවැසූහ.

රටේ පවතින අභාග්‍යසම්පන්න කරුණු අතර උපාධිධාරීන්ට මෙරට තුළ සුදුසු රැකියාවල් නොමැති වීම රටේ පරිහානියට ප්‍රධාන හේතුවක් වී ඇතැයිද බුද්ධිමතුන් වැසිකිළි පවිත්‍ර කරමින් ජීවිකාව ගෙන යද්දී නූගතුන් රටේ ඉහළ පුටුවල වැජඹෙමින් මහජන මුදලින් සුරසැප විඳින්නේ යැයි උන්වහන්සේ පැවැසූහ.

මෙවැනි සමාජ අසාධාරණකම් නොබියව හෙළිකරන ‘මව්බිම’ ජාතික පුවත්පතට ස්තුතිය පුදකරන බවද  කිසි ලෙසකවත් දැයේ දුප්පත් මවුපියන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය කඩා ඉහිරවීමට ඉඩ නොදෙන අතර මැති ඇමැතිවරුන්ගේ දරුවන් විදේශ රටවල උසස් අධ්‍යාපනය ලබා පාරම්පරිකව මුදල් උපයන දේශපාලනයට ගුවනින් පැමිණෙද්දී දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාදමා  ඔවුන් මුදල් හම්බ කිරීමට ඇද දැමීමෙන්  රට විශාල පරිහානියකට පත්වෙන බවද උන්වහන්සේ පැවැසූහ.

කැලණිය _ කුසුම් එස්. හැන්නදි