ඉස්පිරිතාලේ ඉන්න පුතාට කුඩු ගෙනා මව අත්අඩංගුවට

0
23

රෝහල්ගත කර සිටි තම පුතුගේ සුවදුක් බලන මුවාවෙන් පැමිණ හෙරොයින් ලබා දුන් බව කියන 70 හැවිරිදි මවක් හෝමාගම පොලිසිය විසින් පෙරේදා (23දා) අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ කාන්තාවක (70) බව පොලිසිය කියයි. මෙම කාන්තාව ඉකුත් 23දා සවස රෝගීන් බැලීම සඳහා වෙන් කර ඇති කාල සීමාව තුළදී හෝමාගම මූලික.  රෝහලේ 03 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තම පුතුගේ සුවදුක් බැලීම සඳහා පැමිණ තිබිණි.

 එම රෝගියා ඊට පෙරදින පොලිස් නිලධාරියකුට පහරදී පලා ගොස් මහල් තුනක ගොඩනැඟිල්ලකින් බිමට පැන පාදයක් බිඳී යාබද වැසිකිළියක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී කුඩා පිස්තෝලයක්, උණ්ඩ පහක්, අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් හතයි මිලිග්‍රෑම් 150 තිබී හමුවීමත් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුට අධිකරණ නියෝග මත පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.

රෝගියා බැලීමට පැමිණි රෝගියාගේ මව රැගෙන ආ කෑම පාර්සලයක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂ්මව සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 580, ගිනිකූරු සහ ඊයම් කොළ කිහියක් මෙසේ සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණි.

ඒ අනුව හෙරොයින් රැගෙන ආ රෝගියාගේ මව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඇය ඊයේ  (24දා) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.  සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජන්ත ප්‍රභාකර මහතාගේ මෙහෙයවීමෙන් පො.කො. ප්‍රියභාෂණ (100374), රණසිංහ (102266), රණසිංහ (82144) ලක්ෂිත (92502) රොෂාන් (92504) (කා.පො.කො.) මේකලා (11914) ඇතුළු නිලධාරීහු මේ වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

පන්නිපිටිය – හෂාන් පුෂ්පික