වතු ජනතාව කොට උඩ: ලක්‍ෂ 3ක ධීවර පවුල්වලට බඩේ පාර වැදුණා

0
15

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253.00කින් ඉහළ දැමීම නිසා නාගරික, වතුකර, ධීවර ජනතාවට මරු පහරක් එල්ලවී ඇති බව වෘත්තීය සමිති චෝදනා කරයි.

බලශක්ති අමාත්‍යාංශය රුපියල් 87.00කට පැවැති භූමිතෙල් ලීටරය රුපියල් 340.00ක් ලෙස අධික මුදලකින් මිල ඉහළ දැමීමක් සිදු කළ නමුත් ඉන්ධන පිරවුම්හල්වල දැඩි භූමිතෙල් හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව පැවැසූහ.  කොළඹ හා නාගරික ප්‍රදේශවල ජීවත් වෙන නාගරික පැල්පත් මහල් නිවාස ආශ්‍රිත ජනතාව මෙන්ම වතුකරයේ ජීවත්වෙන දුගී ජනතාව මෙන්ම අති දැවැන්ත කර්මාන්තයක් වන ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවටත් මේ මිල ඉහළ දැමීම දැඩි අර්බුදයක් ඇති කර ඇත. මේ හේතුවෙන් ලක්ෂ තුනක ධීවර පවුල්වලට බඩේ පහර වැදී ඇති නිසා රැකියාව සිදුකර ගැනීමට නොහැකිව බෝට්ටු 26,000ක් වෙරළේ ගාල් කර තියන්නට සිදුව ඇති බව එක්සත් ධීවර හා ධීවර කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් එම්. විජේන්ද්‍ර පැවැසීය.

පෙට්රල්, එන්ජින් ඔයිල්, භූමිතෙල් ඇතුළු ඉන්ධන වර්ග කිහිපයකින් අවම ඉන්ධන ලීටර් 30ක් දෛනිකව අවශ්‍ය බවත් ඒ සඳහා රුපියල් 15,000කට අධික මුදලක් වැය වෙන නිසා මාළු මිල වැඩි වීම කිසිවකුට නතර කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

මේ ගැටලුව නිසා වතු කම්කරුවන්ගෙන් සියයට 20කටත් අඩු සංඛ්‍යාවක් මේ ගැටලුවෙන් පීඩා විඳින බවත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය මත ඔවුන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති කේ. සේලවරාජ් පැවැසීය.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රටේ සියලු දුගී ප්‍රජාවට අත්‍යවශ්‍ය භූමිතෙල් මිල ඉහළ දැමීම පිළිබඳව ජනතාව රජය පිළිබඳ දැඩි නොසතුටින් සිටින බව වාර්තා වී ඇත.

එසේම භූමිතෙල් මිල සංශෝධනය වසර ගණනාවක සිට පැවැති අවශ්‍යතාවක් බවත් සහන මිලට භූමිතෙල් ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මිල ගණන් සංශෝධනය වූ නමුත් අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍රවල ජනතාවට මූල්‍ය සහනයක් ලබාදීම සඳහා කටයුතු කරන බවත් එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙ අතර භූමිතෙල් මිල වැඩිවීම සුළුපන්න ධීවර කර්මිකයන්ට දරාගත නොහැකි බවත් ඉදිරියේදී සුළුපන්න ධීවර කර්මාන්තය කඩාවැටීමකට ලක්විය  හැකි බවත් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවැසීය.

ගාල්ලේදී පැවැති මාධ්‍ය  හමුවකදී භූමිතෙල් මිල වැඩිවීම පිළිබඳ අදහස් දක්වමින්  හෙතෙම මෙසේද කීවේය.

භූමිතෙල් මිල වැඩිකරලා රජය විසින් සුළුපන්න ධීවර කාර්මිකයාට කනේ  පහරක් ගහලා තියෙනවා. භූමිතෙල් ලීටරයක මිල සියයට 291කින් වැඩිවෙලා තියෙනවා. සුළුපන්න ධීවර කාර්මිකයකු දිනකට භූමිතෙල් ලීටර් 40ක්  භාවිත කළහොත්  භූමිතෙල් සඳහා දිනකට අමතර වියදමක් ලෙස රුපියල් දසදහසක මුදලක් වැයකිරීමට සිදුවෙලා තියෙනවා. මෙරට  භූමිතෙල් යොදාගෙන ධීවර කර්මාන්තයේ නිරත වන ධීවර බෝට්ටු 25,500ක් තියෙනවා.  සෘජුව හා වක්‍රව ලක්ෂ 05ක පිරිසක් සුළුපන්න ධීවර කර්මාන්තයේ නිරතව සිටිනවා. භූමිතෙල් හිඟයක් ඇති කරලා ආණ්ඩුව උපක්‍රමශීලී ලෙස භූමිතෙල් මිල වැඩිකළා. මේ විධියට ගියහොත්  සුළුපන්න ධීවර කර්මාන්තය නැත්තටම නැතිවේවි. පෙර පැවැති මිලට භූමිතෙල් ලබාදෙන්න කියලා අපි රජයට බලකරනවා. ඉදිරියේදී භූමිතෙල් මිල වැඩිවීමට එරෙහිව ධීවර කාර්මිකයන් සමඟ එක්වී  අරගලයක් දියත් කිරීමටද  බලාපොරොත්තුවන බවද රත්න ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මාතර – උදය කුමාර රණවීර, මිතුන් ජයවර්ධන, ගාල්ල – කමල් විජේහේවා