සොබාදහමට ඇලුම් කළ විරශ්මි කඳු අතරේ සැඟවුණා

0
52

කුඩා කල සිට සොබාදහමට ඇලුම් කළ දැරියක් අවසානයේ සොබාදහමටම සිය වටිනා ජීවිතය කැප කළ බව ඇල්පිටිය මගුරුකඩුව ගම්වාසීහු කියති. ඔවුන් එසේ පැවැසුවේ විරශ්මි කොඩිතුවක්කු නමැති 27 හැවිරිදි යුවතිය පේරාදෙණිය සරසවියේ සහාය උපදේශිකාවක් ලෙස සේවය කරමින් සිටියදී පෙරේදා (21දා) පෙරවරුවේ මාවනැල්ල උතුවන්කන්දෙන් පහළට ඇද වැටී මිය යෑමේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමිනි.

ඇයගේ මව පෙර පාසල් පාලිකාවක් ලෙස සේවය කළ අතර කැඩුම් බි¾දුම් සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර කිරීමටද දස්කම් දැක්වූවාය. විරශ්මි පාසල් කාලයේ සිටම සිය මවගේ එම ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වෙමින් සිට ඇත. සිය ගෙවත්තේ ඊට අවශ්‍ය බෙහෙත් පැළෑටි වැවීමටද ඇය ඒ කාලයේ මවට උදවු කළාය.

විරශ්මි පාසල් යන කාලයේ සිටම දක්ෂ දැරියකි. ඇය ඉගෙනීම ලැබුවේ ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයෙනි. විද්‍යා විෂය ධාරාවන් හැදැරූ ඇය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නමයටම ඒ සාමාර්ථ නමයක් ලබා සමත් වූවාය. උසස් පෙළට හැදෑරුවේ කෘෂි විද්‍යා අංශයෙන්. උසස් පෙළ විභාගය සමත් වූ ඇය පේරාදෙණිය සරසවියට ඇතුළත් වී තිබේ.

විරශ්මි ඇල්පිටිය ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍යාවක් ලෙස 2002 වසරේදී ඇතුළත් වූවාය. ඉන් පසුව උසස් අධ්‍යාපනය සඳහා ආනන්ද මධ්‍ය මහා විද්‍යා‍ලයට ඇතුළත්ව 2015 වසරේදී පේරාදෙණිය සරසවියට ඇතුළත් වීමට වරම් ලැබුවාය.

ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක් ලෙසත් කථික කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළ ඇය විද්‍යාලයේ විවිධ සමිතිවල නිලතල දරමින් කටයුතු කළ බවත් එම විදුහලේ ගුරුවරයකු වන අනුර පුෂ්ප කුමාර මහතා පැවැසීය.

පවුලේ එකම දරුවා වූ විරශ්මි කොඩිතුවක්කු  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව මෙලොව හැර ගිය මෙම ශෝකජනක පුවතත් සමඟ මුළු ඇල්පිටිය ප්‍රදේශයම කම්පා වී සිටියි.

මඟුරුකඩුව ප්‍රදේශයේ පදිංචි සුනිල් කොඩිතුවක්කු  මහතා (65) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් නිලධාරියකු ලෙස සේවය කර මේ වනවිට විශ්‍රාම ලබා සිටී. ඔහුගේ බිරිය ලතා ගමගේ මහත්මිය වලල්ලාවිට ප්‍රාදේශීය සභාවට අයත් යගිරල පෙර පාසල් පාලිකාව ලෙස සේවය කරන්නීය.

මේ දෙදෙනාගේ එකම දියණිය වූයේ විරශ්මි කොඩිතුවක්කුය.

උසස් පෙළ විභාගයට පෙනී සිටි වි‍රශ්මි ප්‍රථම වතාවේම ඒ සාමර්ථයක් හා බී සාමාර්ථ දෙකක් ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා උපාධිය හැදැරීම සඳහා එම විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවාය.

ඇය දෙවැනි වරට උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර එම විභාගයෙන් ඒ සාමාර්ථ දෙකක් හා බී සාමර්ථයක් ලබා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට වරම් ලැබූවද ඇය කෘෂි විද්‍යා උපාධියම හදාරා ඇත.

වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ රටකට යෑමට අපේක්ෂා කළ විරශ්මි ඒ සඳහා මීට මාසයකට පමණ පෙර නිවෙසට පැමිණ ඇල්පිටිය පොලිසියෙන් පොලිස් සහතිකයක්ද ලබාගෙන තිබේ.

ඇය මීට මාස හයකට පමණ පෙරදීද මාරක අනතුරකට ලක්ව අනූනමයෙන් දිවි බේරාගෙන තිබේ. විශ්වවිද්‍යාලයට යැමට පාර මාරුවෙමින් සිටියදී පාරේ ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ඇයගේ අතකට හා හිසට තුවාල වීමෙන් බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලේ මාසයකට ආසන්න කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා සුවපත් වී ඇත. ඒ අවස්ථාවේ ඇයගේ මවුපියන් විසින් කතරගම දේවාලයට බාරයක් වී ඇති අතර දැනට මාසයකට පමණ පෙර ඔවුන් තිදෙනා කතරගම දේවාලයට ගොස් එම බාරයද පූජා කර පැමිණි බව ඇගේ අසල්වාසීහූ පැවැසූහ.

විරශ්මි සරසවි වරම් ලැබීමට අපේක්ෂාවෙන් නිවෙසේ රැඳී සිටිය කාලය තුළද ගමේ දරුවන්ට අකුරු කියා දෙමින් ඒ දරුවන්ගේ අධ්‍යාපනයටද උදවු උපකාර කළාය. ඇය ගමේ ග්‍රාම සංවර්ධන සමිතිය හා එක්ව ගමේ දරුවන්ට අධ්‍යාපන දැනුම ලබාදීම සඳහා ගමේ ග්‍රාම සංවර්ධන සමිති ගොඩනැඟිල්ලේ කුඩා පුස්තකාලයක්ද පවත්වාගෙන ගොස් ඇත.

විරශ්මි සරසවිය තුළද ඉතා ජනප්‍රිය චරිතයකි. සහෝදර සිසු සිසුවියන් කාගේත් ආදරයට සැලකිල්ලට ලක්ව උන්නාය. ඇයගේ අභාවයත් සමඟම සමාජ මාධ්‍ය ජාලයට ඇයගේ සොහොයුරු සොහොයුරියන් තොරතුරු රැසක් එක්කර තිබිණි.

ඇල්පිටිය – ගයාන් ගුණසේකර