යකඩ හීනවල එල්ලිලා චැසිය ඇද කරගත්ත මල්ලිලා

0
98

රථ ගාය කියන්නෙ හැදුණොත් ලේසියෙන් හොඳ කරන්න පුළුවන් ජාතියෙ ලෙඩක් නෙවෙයි.  ඒකෙනුත් මෝටර්බයික් ගාය  වැරදිලාවත් හදාගත්තොත් ආයෙ ඉතින් ඇපත් නෑ.  ලංකාව වගේ රටක කොල්ලෙක්ට කවදහරි බයික් එකක් ගන්න ඕනෙ කියන හීනෙ එන්නෙ චූටි කාලෙ ට්‍රයිසිකල් එක පදින දවස්වලමයි. එතැනින් පස්සෙ ගෙවෙන්නෙ බයික්වල ෆොටෝ එකතු කරන  ඒවා කාමරේ. බිත්තිවල අලවගන්න. ගෙදර බයික් එකක් තියෙනව නම් ඒකෙ හෝන් එක හරි පොඩ්ඩක් ගහලා බලන්න, රෝදයක් හරි පොඩ්ඩක් අතගාලා බලන්න ට්‍රයි කරන කාලෙ  කොහොම හරි ඕලෙවල්,  ඒලෙවල් වයසට එද්දි ගෙදරට දහ අතේ වැඳලා අඬලා, පොළොවෙ හැපිලා බයික් එකකුත් ගන්නවයි කියමුකෝ. 

හූල්ලන හීල්ලිල්ල බලන් ඉන්න බැරිකමට දුකට, අනුකම්පාවට හරි නැත්තම් අර යාන්තම් මෝදු වෙන දැළිරැවුලත් එක්ක අනුලෝමව සමානුපාතව වැඩි වෙන කොල්ලගෙ කටේ වොලියුම් එකට බයේ හරි මොකක් හරි විධියකින් මවුපියොත් සල්ලි නැත්තම් ණය වෙලා හරි ඔය දඬුමොනරෙ අරගෙනත් දෙනවා.  හැබැයි කොච්චර ඝාන්ටාර ගහලා සද්ද පූජා තිබ්බත්  අරන් දෙන්නෑ උඹ හම්බ කරපු කාලෙක ගනිං කියලා නොසැලී නොදැවී ඉන්න මවුපියොත් ඉන්නවා.  කොහොම වුණත් ඕක සුර ලෝකේ මං සක්කර දෙයියෝ වගේ යාළු මිත්‍රයො පිරිවරාගෙන ඉන්න කාලෙ නිසා ගෙදරින් බයික් එක නොලැබුණත් එකට සෙට් වුණාම යාළුවගෙ එක හරි ඉල්ලගෙන පදින එක කොල්ලන්ට මහ ලොකු වැඩක් නෙවෙයි. 

ඊට පස්සෙ ඉතින් ඕකට නැඟගත්තහම බයික් එකට තටු එනව, ආපෝ  කවුද මචං බයික් එකකට නැඟලත් ඉබි ගමනෙන් යන්නෙ. පියඹා යනවා මා ආකාසයේ කියලා ඉගිල්ලෙන්නයි ඕනෙ.  ඔන්න ඔය සාතිශය බහුතරේකට ලයිසන් නෑ.  මාර්ග නීති ගැන අබ ඇටයක් තරම්වත් දෙයක් දන්නෑ.  සමහර වෙලාවට බූට්ස්,  ජැකට් තියා අඩුම තරමේ ඔළුවට හෙල්මට් එකක්වත් නෑ.  ඒත් ඉතින් ඔව්වා මොකටද නේද?

පළාතම දෙදරලා යන්න ටිකක් හයියෙන් රේස් කරලා ගත්තහම  හැන්ඩ්ල් එක අතෑරලා අන්තිම කට්ටටම, වේගෙන් ගියහම  වීල් එකක් දෙකක් එහෙම ගැහුවම ආන් එතකොටනේ ඔය පාරේ යන ලස්සන නංගිලා වුණත් හැරිලා බලන්නෙ.  යාළුවො සෙට් එකේ වුණත් ෂා මූ නියම වැඩ්ඩෙක් කියලා පොඩි තැනක් හැදෙන්නෙ.  ඔන්න ඔහොම හිතෙනවා නම් කොල්ලනේ ඔබ ඉන්නෙ මේ මෝටර් බයික් මේනියාවේ අන්තරාදායකම හරියේ.  ඒ හින්දා කොල්ලෙක් වුණාම බයික්වලට ආසා කරන එක වැරැද්දක් නෙවෙයි. හැබැයි බයික් එකට නැග්ගහම ඒක අජානේය අස්පයෙක් වගේ පෙනිලා ඉගිල්ලෙන්න හිතෙනව නේද  ආන් ඒක ලෙඩක්.

පාරෙ යන එන මිනිස්සු ඉස්සරහ හැටට හැටේ හැන්ඩ්ල් එකත් අතෑරලා වැඩ දාලා ඉගිල්ලෙන එකෙන් ඔබට සුපිරි වීරත්වයක් ආරෝපණය වෙනවා කියලා හිතෙනවා නම්  නෑ එහෙම නෑ. අම්මයි, තාත්තයි ඇරෙන්න කවමදාකවත් ඒ බලන් ඉන්න එක මනුස්සයෙක්වත් ඔහොම ඉගිල්ලෙද්දී රියැදුරු දෑතට දෙවි රැකවරණයි කියලා ඔබට ආශීර්වාද කරන්නෑ.  මූණත් පුලුටු කරලා කියන්නෙ මෙච්චරයි. ඕන් බලන්ඩකො ඔහොම ඉගිල්ලෙන්ඩ ගිහිල්ලා වැඩි දවසක් යන්න කලින්ම කොහෙ හරි ගිහින් ඇනගනියි. එච්චරයි හිතලා මතලා තරහකට කියනවා නෙවේ. පොදු මහාමාර්ගවල පවුලේ බූදලේ වගේ රේස් පදිනවා දැක්කම ඒක ඉබේම කියවෙනවා.  අන්න ඒ හින්දා දැනගෙන පදින්න ඔබ ඉගිල්ලෙද්දී චියර් කරන තරම් වේගෙට බිමට ඇදගෙන වැටුණහම නැඟිට්ටවන්න ඔබ වටේ මිනිස්සු එකතු වෙන්නෑ.

හැම යතුරුපැදිකරුවෙක්ටම තියෙන්න ඕනි විනයක්. මාර්ග නීති ගැන හොඳ වැටහීමක්  ඔක්කොටම වඩා යකඩ ගොඩක් උඩ නැඟලා මම මේ බැලන්ස් කරන්නෙ මං වටේ ඉන්න තව ජීවිත ගාණක වටිනාකම් කියලා. වගකීමක්  එලොවටත්, මෙලොවටත් දෙකටම නැතිව ඔහේ පාවෙන්න ගිහින් වැඩ වරද්දගත්තම තමයි එක්කො උපන් දා ඉඳලා අම්මයි, තාත්තයි අඩුපාඩු නැතිව හදපු වඩපු අතපය කඩාගෙන පත්තු බැඳගෙන වීල් චෙයාවලට වැටුණු සදාකාලිකවම එක්තැන් වෙච්ච නැත්තම් ආව ලෝකෙටම ආයෙ යන්න සිද්ධ වෙච්ච කතා මේ දවස්වල හරි හරියට ඇහෙන්නෙ.  අන්න එදාට යකඩ හීන බොඳ වෙලා. අම්මට පුතා නැති වෙලා කියලා පෝස්ට් හැදුණට ආපහු පුතාව අම්මට හම්බවෙන්නෙ නෑ. 

සෝෂල් මීඩියාවල නිවන් සුව පැතුවට මචං  එච්චර හයිස්පීඩ් එකෙන් ගිහින් නිවන් යන්නත් බෑ.  එහෙම හයිස්පීඩ් නිවන් අවබෝධ කරන්න පුළුවන් නම් සිදුහත් කුමාරයට බුද්ධත්වය වෙනුවෙන් වැය කරන්න වෙන්නෙ අවම තත්පරයයි, දෙකයි. අනිත් එක අන්තිමේ යාළුවො නැවත අපි අතරම ඉපදේවා කිව්වට, ගිටාර් එක ගගහා පෙට්ටිය වටේ සිංදු කිව්වට, අවමඟුල් පෙරහරේ බයික් රේස් කර කර උත්තමාචාර පිදුවට ඒක මේ දවස්වල ට්‍රෙන්ඩ් එක නිසා කරන දෙයක් මිසක් ඒක ඔබ වෙනුවෙන් උපන් ආදරේකට නෙවේ. හොඳට කල්පනා කරලා බැලුවොත් ඒකත් අර බයික් එකේ නැඟලා දැම්ම ෂෝ එක වගේම සෝෂල් මීඩියා සන්දර්ශනයක් විතරයි.

  ඇතුළ හිස්. බයික් එක රේස් කරද්දි කනට දෙකක් දීලා මැරෙන්නද හදන්නෙ යකෝ කියලා අහන්න බැරි වුණ යාළුවෙක්ට  ආරක්ෂක පැල¾දුම් මොනවත් නැතිව හැන්ඩ්ල් එකත් අතෑරලා හැටට හැටේ යද්දී අත්පුඩි ගහලා, චියර් කරලා, තව ස්පීඩ් කරලා යමන් කියලා උසි ගන්වපු යාළුවෙක්ට අන්තිම මොහොතෙවත් ඔබ වෙනුවෙන් සිරාම ගිල්ට් එකක් ඉතුරු වෙයි කියලා ඔබ හිතනවද? ඕකෙම අනිත් පැත්ත පොදු ජනතාව යන එන මහාමාර්ගවල බයික් ස්ටන්ට් කරන්න ගිහින් ඔබ හින්දා කිසිම වරදක් නැති රියදුරෙක්ගේ, මගියෙක්ගේ,  පදිකයෙක්ගේ ජීවිතයකට හානියක් වුණොත් එදාටත් ඔය දැනෙන ගැම්ම ඔය චියර් කරන යාළුවො වටේ ඉතුරු වෙලා තියෙයිද?

බයික් ස්ටන්ට් කියන්නෙ හරියට කළොත් සුපිරි ගණයේ ක්‍රීඩාවක්. නමුත් ඒකට නියමිත ප්‍රමිතියේ ධාවන පථවල  නියමිත ආරක්ෂක ඇ¾දුම්, පැල¾දුම් විධි විධාන යටතේ පුහුණු වීම් කරන්න ඕනෙ.  එහෙම නැතිව ෂෝටයි, බාටයි ගහගෙන සමහර වෙලාවට හිතේ ෆිට් එක වැඩිකමට හෙල්මට් එකක්වත් නැතුව පොදු මහාමාර්ග අස්සේ රේසින් ට්‍රැක් එක්ස්පීරියන්ස් හොයන එකයි,  අන්තිම කට්ටට ස්පීඩ් කරලා යන එකයි, බයික් ස්ටන්ට් නෙවෙයි. වේගය පාලනයයි, හිත පාලනයයි කියන්නෙත් බයික් ස්ටන්ට් එක්කම එන කලාවක්.

හැබැයි බයික් ස්ටන්ට් ගැන අ යන්න, ආ යන්නවත් නොකියවා ස්ටන්ට් එක්ස්පර්ට්ස්ලා වෙන්න යන එක බයික් එක උඩ ඉන්න ජීවිතේට වගේම පාරේ යන එන අනිත් ජීවිතවලටත් භයානකයි. මොකද මම නම් හිතන්නෙ නෑ ඔබේ බයිසිකල් සන්දර්ශනේක බයිට් එක වෙන්න පාරේ යන කිසිම මනුස්සයෙක් කැමැති වේවි කියලා. ඒ වගේම ඔය ඉගිල්ලෙන පිම්මටම නීතියේ බැරියර් උඩිනුත් පියාඹලා යන්න පුළුවන්කමක් තියේවි කියලා.

ලෝකෙ හොඳම සහ පළපුරුදුම වෘත්තිය මට්ටමේ යතුරුපැදි ධාවකයන්ට පවා තත්ත්පරයක පමාවෙන් ආයේ හරිගස්සන්න බැරි තරමට වැරදිලා තියෙනවා. එතැනදී බයික් එකේ බ්‍රෑන්ඩ් එකවත් ඒක හදපු රටවත් පදින මනුස්සයගේ දක්ෂකමවත් අදාළ වෙන්නෑ. කෙස් ගහක මිස් වීම ඇති ජීවිතේම ආපස්සට යූ ටර්න් වෙන්න ජීවිතේ නාහෙට අහන්නෙම නැති කාලෙදී දඬුමොනරයක් උඩ නැඟලා හුළං කපාගෙන ඉස්සරහට යද්දී අමුතුම කික් එකක් එනවා තමයි, ඒක ඇත්ත. පාරෙ දෙපැත්තේ ඉන්න යාළුවන්ගේ ෆෝන්වල කැමරා ඔන් වෙද්දි චියර් කරන සද්දේ වැඩි වෙද්දී ඒ කික් එක ඩබල් ත්‍රිබල් වෙනවා. ඒකත් ඇත්තය හැබැයි අමතක කරන්නෙප කික් එක වැඩි වුණොත් නොකවුට් වෙලාම යන්න පුළුවන්. ඒ නිසා මහපාරවල බයික් ස්ටන්ට් අත්හදා බලන්න හිතෙනවා නම්  තවත් පරක්කු නොවී බෙහෙත් ගන්න. මොකද රේස් වෙන වේගෙට සමානුපාතව ට්‍රැක් එක වදින්නේ නැති මොහොතවල් ජීවිතේ තියෙනවා.

ප්‍රහර්ෂි පෙරේරා