බිත්තරයක් ගන්න පොල් ගෙඩි දෙකක් විකුණන්න වෙලා

0
22

දකුණු පළාතේ මේ වන විට පොල් මිල ශීඝ්‍රයෙන් පහත ගොස් තිබේ. විශේෂයෙන්ම දෙණියාය, බෙලිඅත්ත, වැලිගම, පොල්වත්ත සහ මුහුදුබඩ තීරයේ පොල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ.

මේ වන විට ලොකු පොල් ගෙඩියක් තොග මිල රුපියල් තිහට ආසන්න මුදලක් දක්වා පහත වැටී තිබේ. මේ හේතුවෙන් පොල් කර්මාන්තය පවත්වාගෙන යෑමට අසීරු වී ඇතැයි ග්‍රාමීය සහ කුඩා පොල් වතු හිමියෝ පවසති. තොග වශයෙන් පොල් ලබා ගන්නා පිට පළාත්වල වෙළෙඳුන් ඉන්ධන අර්බුදය නිසා පොල් ලබාගැනීමට නොපැමිණීම ප්‍රධානතම හේතුව වී ඇත.

ඉන්ධන මිල දරා ගත නොහැකි ලෙස ශීඝ්‍ර ලෙස ඉහළ යෑමත්, ප්‍රමාණවත් පරිදි ඉන්ධන කෝටාව නොලැබීමත් නිසා පිට පළාත්වලින්  තොග වශයෙන් පොල් ලබාගැනීමට වෙළෙඳුන් නොපැමිණෙයි. මේ හේතුවෙන් පොල් තම ප්‍රදේශයේම අලෙවි කිරීමට සිදුව, පොල් අතිරික්තයක් ප්‍රදේශයේ තිබේ. පොල් කැඩීම සඳහා මේ වන විට ගසකට රුපියල් දෙසීයක් වැනි මුදලක් ගෙවීමට සිදු වේ.

මෙම තත්ත්වය තුළ තම ප්‍රදේශයේ පොල් අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් කුඩා පොල් වතු හිමියන්ට දෛනික ජීවනෝපාය කර ගැනීමට අසීරු බව පවසති. අද වෙළෙඳපොළ වටිනාකම අනුව බිත්තරයක් මිලදී ගැනීමට පොල්ගෙඩි දෙකක් අලෙවි කළ යුතු බව ඔවුහු සඳහන් කරති.

මාතර _ උදය කුමාර රණවීර