පාරක විකිණෙන දාරක හීන

0
84

උඹට බං බැලූ බැල්මට පේනව ඇති මේ කී ටැග් එක කිසි ලස්සනක් නෑ කියල. ඒ මදිවට මලකඩ කාලා. හරිම කැතයි කියලා හිතෙනවද මේකෙ එල්ලලා තියන ප්ලාස්ටික් බෝල තුන?

“ඔව් බං ! මේකෙ හිත ඇදිලා යන ටෙඩියෙක් නෑ. බාබි ඩෝල් කෙනෙක් නෑ. කුචි කුචි සොෆ්ට් කියුට් කියලා කියන්න පුළුවන් මුකුත්ම නෑ.”

“හැබැයි මේකේ පණ ගැහෙනවා.”

“හුස්ම වැටෙනවා, පපුව වේගෙන් ගැහෙනවා.”

මේක අතට ගන්න හැම වෙලාවකම ගස් ගල් දෙබෑ කරං හරි ඉස්සරහට යන්න පුළුවන් හයියක් එනවා.

ඊයේ පෝය හින්ද කොළඹ හැමතැනක්ම වගේ වහලා. මට මගේ ගජයෝ එක්ක නිදහසේ කතාවක් දාන්න ඕනම වුණා. අපි අන්තිමේ රෑ 10.30ට විතර ගෝල්ෆේස් එකට ආවා. ගෝල්ෆේස් එකේ සෙනඟ. අපිත් ඒ සෙනඟ අස්සට ගිහින් ගෝල්ෆේස් එකේ බිම තණකොළ පිඩක් උඩ වාඩි වුණා.

අපි ඉස්සරහට කරන්න ඉන්න දේවල්, තව ඕප දූප කතා කර කර ඉන්නකොටයි මේ කී ටැග් එක මගේ ළඟට ආවේ. දිගටම අහපං කතාව.

අපි හිටියේ මොකක් හරි ලොකු කතාවක. ඒ අස්සේ මම ඉඳගෙන හිටපු තැනට පස්සෙන් ආව ඒ සද්දේ

“කී ටෑග් …. කී ටෑග් …. කී ටෑග් ….”

මම පිටිපස්ස හැරිලා බැලුවා. පුංචිම පුංචි කෙල්ලක් අතේ බේසමකට දාගෙන කී ටැග් විකුණනවා. අපි ළඟටත් ආවා. ඇවිල්ලා අපි දිහාත් බලාගෙන හිටියා. ඒ ඇස්වල බලාපොරොත්තු ගොඩක් මම දැක්කා.

“දුව ඇයි මේව විකුණන්නේ …. කෙල්ල ඇඹරුණා.”

“දුව මේව විකුණලා මොනාද ගන්නේ?”

“ මම අම්මට දෙනවා. අම්මා ස්කෝලේ බඩු අරගෙන දෙනවා.”

“කෝ අම්මා ….?”

“අම්මත් අරෙහේ සෙල්ලම් බඩු විකුණනවා.

ඔයා විතරයිද පවුලේ?”

“නෑ අයියයි, අක්කයි, නංගියි.”

“කෝ එයාලා?”

“එයාලත් මෙහෙම විකුණනවා.”

“ඔයා කවුරු වෙන්නද ඉගෙන ගන්නේ.”

“ඩොට්ට කෙනෙක්.”

“ඔයා කීය වසරේද?”

“හයේ.”

“ස්කෝලේ කොහෙද?”

“හලාවත. ස්කෝලේ”

“පන්තියෙ කී වැනියද?”

“හතර වැනියා.”

“හරි මට දුවගෙ ගෙදර ෆෝන් අංකයක් තියනවද?”

“දන්නේ නෑ.” පුංචි එකී මඳක් අපහසුවෙන් වචන ගළපයි.

“හරි දුව මේක තියාගන්න. මේක ඔයාගේ ස්කෝලේ බඩු ගන්න. හොඳට ඉගෙන ගන්න. මම මගේ අතේ තිබ්බ 1000ක් ඇය අත තැබුවාය.

ඇයගේ මූණට ආපු හිනාව අවංකය. නිර්ව්‍යාජ බව ඕනවටත් වඩා තිබුණි. අපි දෙන්නගේ කතාව අපේ කණ්ඩායමම අහගෙනය. ඇය හිනාවී ගෙනම බේසමට යටින් තිබ්බ බෑග් එකේ සල්ලි කොළේ ඔබාගෙන එතනින් පියවර කිහිපයක් ගොස් මා දෙස නැවත හැරී බැලුවාය. අපි සියල්ලෝම අෑ දෙස හිනාවී ගෙනම බලා උන්නෙමු. මම අත වැනුවෙමි. ඇය මිනිසුන් අතර නොපෙනී ගියාය.

අයියේ මාර මොරාල් එකක් තියෙන්න ඕනි කෙල්ලෙක්ට මේ රෑ මෙහෙම මිනිස්සු අස්සට ගිහින් විකුණන්න.

ඔව්. දන්නවනේ මෙහෙ ඉන්න එවුන් ගැන. තිරිසන්නු ඉන්නේ.

කෙල්ල කිව්වේ බොරුවක් නෙවෙයි අයියේ. දැක්කද හිනාව.

මම නැවතත් ඇය ගිය දෙස බැලීමි. ඇය අෑත යනු පෙනිණි.

ඒ මට කී ටැග් එකක් ගන්න ඕනි බං.

මම මගේ පිරිසට කියූයෙන් එකෙක් නැඟිට මාරු සල්ලිත් අරගෙන ඇය සොයා ගියත් ඇය සොයා ගැනීමට අපොහොසත් විය. මගේ හිත දුකෙන් බර විය. මම නැඟිට ගත්තෙමි.

මිතුරන්ට එසේ ඉන්නට කියා මම ගාලු මුව‍ෙදාර සිසාරා ඇය සෙවුවෙමි. ඒත් ඇය නැත. මට ඇගෙන් කී ටැග් එකක් ගත යුතුමය. නැවත මා සිටි තැනට ආවෙමි. කණ්ඩායමේ කතා අස්සේ මගේ හිත නොරැ¾දුණේ ඇස් සියල්ල ඒ පුංචි කෙල්ල සෙවූ නිසාය. අන්තිමේ ඇය සිටියාය.

මම ඇගෙන් කී ටැග් එකක් මිලදී ගතිමි. මා කැමැති එක නොව ඇය කැමැති එක මම මිලදී ගතිමි. මේ තියෙන්නේ මගේ ජීවිතේ මා දුටු අලංකාරම වටිනම කී ටෑග් එකයි.

උඹලට මේ කතාව වැඩක් නැතිවා වෙන්න පුළුවනි. නමුත් ඒ පුංචි කෙල්ල මාගේ හිත තුළ සෑහෙන විපර්යාසයක් සිදු කර ඇති බව මම දැන ගතිමි.

ඔටාරා ගුණවර්ධනත් පටන් ගත්තේ පාරෙන්.

අපේ නංගි එහෙම කිව්වත් 99%ක් ඔටාරලා නැත. ඇත්තේ 100%ක් වීදි දරුවන්ගෙන් 0.0001 ඔටාරලා පමණි.

කොල්ලන්ද, කෙල්ලන්ද ලොකු මහත් වනවිට කුඩු ජාවාරම්, මංකොල්ල, පාතාල, ගණිකා ව්‍යාපාරවලට සල්ලි පෙන්වා විකිණෙයි.

70 – 80 කාලේ ඕනෑම දේක තරගකාරී ස්වභාවය අඩුය. එහෙත් දැන් එසේ නැත.

මේ කී ටැග් එක මම යන පාර තවත් පැහැදිලි කළා විතරක් නෙවෙයි මට මාව ඇතෑරෙන හැම වෙලාවකම මගේ හිතට හයියක් ගේයි. මම එහෙම හිතද්දී මට උඹට කියලා දෙන්න තව කතාවක් ඇත.

කොළඹදී පොඩි එකෙක් දැක්කම ඒ කරන්නේ ජාවාරමක්ද, අවංකවම නැති බැරිකමද කියලා හොයන්න උඹට කවදාවත් බැරිය. මොකද ළමයෙක් ඇවිත් අත පාද්දී උඹට උඹේ ලෝකය සේරම අමතක වී යනු නියතය. එහෙම නොවන්නේ පොඩිකාලේ ඉඳන් ලක්සරි

කාමර වල හැදුණු එයාර්කන්ඩිෂන් ජීවිතවලට පමණි. මොකද උඹ මම පොඩිකාලේ ඉඳන්ම ආස දේවල් නැතුව දරාගෙන ජීවත් වුණ හින්දම අපිට නැති බැරි එකෙක් දැක්ක ගමන් පපුව තෙත්වෙලා ඒ තෙතමනය ඇස්වලින් ගලාගෙන එයි.

ඉන්දියාවෙ වගේ අවයව ජාවාරම් මේ කොළඹ අහස යට වගේම නුවර අහස යටත් දිවා රෑ නොබලාම වෙන බව එහෙන් මෙහෙන් ආව ආරංචිවලින් කියැවෙනවා. ලෝකය දුවන්නේ කතාන්දරවලින් නිසාවෙන්ම අපිට ඒවා කටකතා කියා බැහැර කරන්නත් නොහැකිය.

ඉතින් රෑ කොළඹ ඉන්නේ හිඟන්නෝ විතරක්ම නෙවෙයි. ගණිකාවෝ විතරක්ම නොවේ වුවත් මේ ලියන හතරවැනි කොටස වෙන් කරන්න උනේම රෑ කොළඹ පරවෙලා යන මල් ගැන කියන්නටය.

ඒවත් මල්ය. නමුත් පෙතිවල දූවිලි තැවරී ඇත. පාලකයන්ට මේ ප්‍රශ්න සමථයකට පත් කරන්න විසඳන්න, සිස්ටම් හදන්න, තිරසර ව්‍යාපෘති, හදන්න අවශ්‍ය නැත. මොකද උන් මේවා උන්ගේ මට්ටමෙන් තිරසාර කර හමාරය. උන්ට පරම්පරාවක් ඉවර වෙනකොට පාතාල වැඩවලට තව පරම්පරාවක් නිර්මාණය කර අවසන්ය. උන් පරම්පරාවක් ඉවර වෙද්දී ගණිකා සේවයට තව පරම්පරාවක් නිර්මාණය කර අවසන්ය. ඒ මේ රටේ හැටිය.

රෑ කොළඹ 4 වැනි ලිපියෙ තිබ්බ කී ටැග් එක මතක තියාගනින්

මොකද මේ කී ටැග් එක හුස්ම ගන්නවා. මට ඒක ඇහෙනවා.

ලසා