දුෂ්මන්තත් ආබාධ ලැයිස්තුවට

0
45

තවත් දින 4කින් ශ්‍රී ලංකාවේ අධීක්‍ෂණය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් දුෂ්මන්ත චමීර ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.  ඒ අනුව මෙයට පෙර නම් කළ 20 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ලැයිස්තුවට ඇතුළත්ව සිටි දුෂ්මන්ත චමීර පාදයේ ආබාධයක් හේතුවෙන් ඉවත් කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් මෙම ආබාධය සුව කර ගැනීම සඳහා දුෂ්මන්ත චමීරට විවේකයක් ලබා දී ඇති බව පැවැසෙන අතර, ඔහු වෙනුවට නුවන් තුෂාර කණ්ඩායමට කැදවා ඇතැයි වාර්තා වේ.

පසුගියදා ප්‍රකාශයට පත්කළ 20 දෙනකුගෙන් යුත් ලැයිස්තුව ප්‍රකාශයට පත්කරන තුරුත් චමීර මෙම ආබාධ තත්ත්වයෙන් පෙලෙමින් සිටි නමුත් මෙම දින කිහිපය තුළදී එය සුවවනු ඇතැයි බලාපොරොත්තු තැබූවද අපේක්‍ෂා කළ පරිදි එම ආබාධය පූර්ණ වශයෙන් සුව වී නොමැතිකම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද පැවැසේ.

මේ අතර මෙයට පෙර නම් කළ 20 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙහි සිටි බිනුර ප්‍රනාන්දු හා කසුන් රාජිතගේ ආබාධ තත්ත්වය සුව අතට පත් නොවීම හේතුවෙන් ඔවුන් එම සංචිතයෙන් ඉවත්කළ අතර, ඔවුන් දෙදෙනා වෙනුවට ප්‍රමෝද් මධුශාන් සහ අසිත ප්‍රනාන්දු සංචිතයට එක්කිරීමට පියවර ගත්හ.

27 ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා හෙට (24දා) ශ්‍රී ලංකා පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වීමට නියමිතය.

විචිත්‍ර වීරසිංහ