කතක් සහ තවත් අයෙක් සැකපිට දෙල්ගොඩදී අල්ලති

0
19

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයකු සහ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් බියගම දෙල්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකාරිය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයකු වන අතර පිරිමි පුද්ගලයා වයස අවුරුදු 27ක වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගැනුණු කාන්තාව සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 4ක් සහ මිලිග්‍රෑම් 520ක්ද තිබී විශේෂ කාර්ය බළකා නිලධාරීන් සොයාගෙන තිබේ. 2022-08-04 දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී පුද්ගලයකු ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර පසුව ඔහු පොලිසියට කොටු නොවී පලායන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකා කණ්ඩායමක් විසින් බියගම කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ වැටලීමක් සිදුකර මෙම කාන්තාව සහ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව සැකකරු සහ සැකකාරිය වැඩිදුර විර්ශන සඳහා ගල්කිස්ස පොලිසිය වෙත භාර දී තිබේ.

සැකකරු සහ සැකකාරිය ගල්කිස්ස පොලිසිය විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබිණි. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි (බුද්ධි සහ විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක) ඩී.එස්. කුලසේකර මහතාගේ මෙහෙයවීම මත මෙම වැටලීම සිදුකර තිබිණි.

කීර්ති මෙන්ඩිස්