අණ්ඩර දෙමළ විකුණන සයිබර් ලොන්ඩරියක් අටවමු

0
74

මාධ්‍ය සදාචාරය බල්ලට දමා  නම යටින් ජර්නලිස්ට් පට්ටම අලවාගත්  යූටියුබ් මහත්තුරුන් වෙත ලියමි යූටියුබර් කෙනෙක් කිව්වාම ඔයාට මොන වගේ හැඟීමක්ද එන්නේ කියලා මේක ලියන්න කලින් මට අහන්නම ඕන. මට නම් යූටියුබර් කෙනෙක් කිව්වාම මතක් වෙන්නෙ. කුණු මාකට් කරන දුක විකුණන් කන අයියලා, අක්කලා කිහිපදෙනෙක්ව.

මම මේ ලංකාව ඇතුළත ගැන කතා කරන්නේ ලෝකෙම ඉන්න යූටියුබර්ස්ලා ගැන නෙවෙයි. අනික අමුතු ඇටේ යූටියුබර්ස්ල විතරක් මුතු වගෙ වුණොත්නෙ ලොකුම අවුල.  කෙසේ හෝ වේවා කිසිදු රැකියාවකට ගරහන්න ඕන නැති වුණත් ලංකාවෙ යූටියුබර්ස්ලට යූටියුබ්කාරයා කියල කියවෙන තරමටම මගේ දිව ෆ්ලෙක්සිබල් තාක්ෂණය එක්ක ඉස්සරහට යනකොට මේ යූටියුබ්කාරයෝ කියන්නෙ ලංකාව ඇතුළෙ මාෆියාවක්.

අනුන්ගෙ වැලේ තියෙන ඇඳුමක් පෙන්නලා හරි කමක් නෑ අතට කීයක් හරි එනවා නම් යූටියුබ්කාරයන්ට ඉන් එහා දෙයක් නෑ. වෙලාවකට හිතෙනවා කැලණි පාලම ළඟ ඉඳන් පන්සලේ පඩිපෙළ ළඟට වෙනකන් හිඟා කන උදවිය යූටියුබ්කාරයන්ටත් වඩා ශිෂ්ටයි නේද කියලා. ඇයි ඉතින් ඒ උදවිය විකුණන්නෙ තමන්ගෙම දුක තමන් විසින්නෙ. හැබැයි කැලණි හිඟන්නෝ පරදවමින් කරළියට එන සිරි ලංකන් යූටියුබර්ස්ලගෙ බෙස්ට් සෙලින්ග් ප්‍රඩක්ට් එක තමයි අනුන්ගේ දුක  අනික් මිනිහගෙ ක¾දුළ.  තව සරලව කිව්වොත් මම අර උඩ කිව්ව අනික් මිනිහ වැලේ වනපු ජංගිය තමයි මොඩර්න් යූටියුබර්ස්ලගෙ ප්‍රඩක්ට් එක.

මෙතනින් එහා ලියන්න කලින් මේක කියලම ඉන්නම්. ලාංකේය යූටියුබ් චැනල්ස් ඕනතරම් තියෙනවා. හරයක් සහ සදාචාරයක් එක්ක මේන්ටේන් වෙන මනුස්සයෙක්ට දෙයක් දැනගන්න කරගන්න හේතුවක් වෙන යූටියුබ් චැනල්ස් ලංකාවෙ ඕන තරම්. හැබැයි රීච් නෑ  අර කුණු මාකට් අයියලා, අක්කලට නම් රීච් තියෙනවා. සෙලිබ්‍රිටිලට වගේ. මම මේ කතා කරන්නේ ඇතුළ කුණු වුණ පොත්තෙ හුණු ගාන් ඉන්න අනුන්ගේ යට ඇඳුමත් මාකට් කරන් බත් බුදින හිඟන මහත්ම, මහත්මීන් පිරිස ගැන විතරයි. 

ලංකාව ඇතුළෙ මම දැක්ක යම් යම් යූටියුබ් චැනල් හරහා ප්‍රචාරණය වෙන ප්‍රෝග්‍රෑම්ස් දැක්කම මට හිතුණා ලංකාවට මෙහෙම නොවී තිබ්බොත් තමා පුදුම කියලා. 

අහම්බෙන් දැකපු එක්තරා චැනල් එකකට නළු, නිළියො ගෙන්නලා හෑන්ඩ් බෑග් එකෙයි, සූට් කේස් එකෙයි තියෙන සබ්බසකලමනාව ගැනම ප්‍රශ්න අහනවා. අනේ ඉතින් අපේ හිතාදර නළු නිළි කැළ බොහොම උදේ‍යා්ගයෙන් තමන්ගේ ස්ව කැමැත්තෙන් චැනල් එකකට විකිණෙනවා. 

“අන්තිමට හොටු පිහුව, කොටු වැටුණු ලේන්සුව අනේ මේක”

“මම කවදාවත් බස්වල ගිහින් නෑ. පෙරේදා යන්න වුණා. මේ තියෙන්නෙ ඒ ටිකට් එක”

“සන්ක්‍රීම් එකක් නම් මගෙ බෑග් එකේ කොහොමත් තියෙනවා. ස්කින් එක අවුට් ගියොත් ෆීල්ඩ් එකේ ප්‍රශ්නනෙ අනේ”

අනේ ඉතිං අපේ අක්කලා, නංගිලා එයාලගෙ හෑන්ඩ් බෑග් එක ලස්සනට විස්තර කරනවා.  ඊට පස්සෙ අපේ ප්‍රේක්ෂක ජනතාව මනුස්සයෙක් මුල් වතාවට ලේන්සුවකින් හොටු පිහුවාය කියලා  දැනගත්තා වගේ ස්ක්‍රීන් එක දිහා ඇස් අලවන් ඉන්නවා. මම මේ නිකමට අහන්නෙ ඔය යූටියුබර්ස්ලටයි  නළු, නිළි අක්කලා, අයියලටයි  ඕවා දිනපතා බලන ප්‍රේක්ෂක හිතවතුන්ටයි වෙන වැඩක් ඇත්තේම නැද්ද? බෑග් එක පවා මාකට් කරන් කන තරමට අපි දියුණුයි නේද? කියල හිත හදාගන්න හදද්දීම මතක් වෙනව තව යූටියුබ් අයියෙක්ව. 

ඔව් ඔව් අර පේරාදෙණිය හන්දියෙ උන්නු මානසිකව අබලන් වුණු අංකල්ව උස්සන් ඇවිත් කොණ්ඩෙ කපලා, රැවුල කපලා, අලුත් ඇඳුම් අන්දපු අයියව තමා. ඔන්න කැමැත්තෙන් මනුස්සයෙක් ඔය ඇඳුම් ටිකයි, කෑම ටිකයි, ආයෙ ඔය සැලකිලි ටිකයි බාරගත්ත නම් ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔය වීඩියෝ එක පුරාවටම මම දැක්කෙ ඒ මාමා අසරණ වෙලා ඉන්නවා විතරයි. එයා පාරේ උන්නු කාලේ කන්න බොන්න ලැබෙනවා මම ඇස් දෙකෙන්ම දැකල තිබ්බා. ඒ පාරෙ ඉන්නකොට අර යූටියුබ් වීඩියෝ එකේ ඉන්නවාට වඩා නිදහසක් සහ සතුටක් ඒ ඇස්වල මම දැකලා තිබ්බා. උක්ත වීඩියෝ එක හැරස්මන්ට් එකක් විධියට මට පේන්න ගන්නෙ ඔය කරුණු කාරණා මත.

“මිනිහෙක්ගෙ පෞද්ගලික නිදහසක් තව මිනිහෙක්ට රකින්න බැරි රටක් මේක.” ඒ මාමට කතා කරන්න පුළුවන් වුණා නම් කියයි “මට යන්න දීපන් පව්කාරයනේ, කියලා. ඔය මාමට උදව් කරන එක නම් යූටියුබ් අයියගෙ ලොකුම අරමුණ වුණේ ඕකෙ පතරංග වීඩියෝ එකක් මොකටද? යූටියුබ් එකට දාන්නෙ  ආ. ඒ සත්‍ක්‍රියාව දැකලා තවත් අය එහෙම පාරේ ඉන්න උදවියව ගෙවල්වලට එක්කන් යන හොඳ පුරුද්ද පුරුදු වෙයි කියලද?  විහිළු කරන්න ඔට්ටු නෑ හිතවතුනි. වීඩියෝ එක බලපු අයගෙන් කවුරුහරි පාරේ උන්නු නැන්දෙක්, මාමෙක් පිරිසුදු කරලා ගෙවල්වලට බාරදුන්නද?

ඉතින් ඕනිම මනුස්සයෙක්ට වැටහෙන්න ඕන කාරණයක් තමා මේ මාකට් කරන්නෙ තවත් මනුස්ස ප්‍රාණියෙක්ගෙ ජීවිතයක් කියන එක. ඔය අයියා කියන විධියට එයාගෙ හොඳ පුරුද්ද ලෝකයක් දැක්කා කියලා වුණ එකම දේ රීච් වැඩි වුණ එකයි. එයා ධනවත් වුණ එකයි විතරයිනෙ.  නැත්තන් ඔය කමෙන්ට් සෙක්ෂන් වල කියවගන්න උපාසක අම්මලා, තාත්තලා කියන විධියට අමා මහ නිවන් යන පිනක් යූටියුබ් දාලා මාකට් කළාය කියලා. ඒක බලන උන්දැලා සෝවාන්  සකෘදාගාමී වෙන්නෙවත් නෑනෙ ඉතිං. 

මේ ළඟදී තවත් යූටියුබ් අයියෙක්ව දැක්කා 

“පුංචි දියණිය විකුණලා මෙහෙම දේවල් කරන එක ගොඩක් වැරදියි “ කියලා හෑෂ් ටෑග් එකක් ගහගෙනම ඒ කිව්ව පුංචි දියණියව විකුණන් කනවා. අනේ ඉතිං දරුවෙක්ට පෙරහරක නටන්නත් නෑ. මේ යූටියුබ් ඩැඩීලා නිසා. මීඩියා එතික්ස් සතේකට මායිම් නොකරන ගොඩක් අය ජර්නලිස්ට්ල වුණ එක, යූටියුබර්ස්ළා වුණ එක හරි අපරාදේ.  මේ කතා කළේ යූටියුබර් යැයි සිතා සිටින  ජර්නලිස්ට් පට්ටම ඇඟේ ගසාගෙන සිටින අනුන්ගේ ජංගි මාකට් කරන කිහිපයක් ගැන විතරයි.

හැබැයි මෙතනදී මතක් කරන්න ඕන වැදගත්ම කාරණාව මේ අමුතු ඇටේ ඉන්න මිනිස්සු සමහර වෙලාවට ස්වකැමැත්තෙන්ම යූස් වෙනවා. එක්කෝ ජනප්‍රියත්වයට, එක්කෝ ප්‍රසිද්ධියට. ඔතනින් කිහිපදෙනෙක් හැබෑම අසරණකම නිසාත් යූටියුබර්ලට පාවිච්චි වෙනවා.  ජනප්‍රියත්වයේ හෝ ප්‍රසිද්ධ වීමේ කික් එක ගන්න දුක මාකට් කරන එකට තම තමන් එකඟ වෙන එකත් ඉතින් පුද්ගලබද්ධයි. අපි පුද්ගල නිදහස අගයන්න ඕන තමයි හැබැයි කික් එකට විකිණෙන එක හරි පිළිකුල් සහගතයි.

මට නම්  මම ඒ ලෙවල් කරනකොට මගෙ ලොජික් ගුරුවරයා කියනවා “මාධ්‍යකාරයෙක් ඔයාට කැමරාව ඇල්ලුවොත් ඔයා ඒකට අකැමැති නම් මුලින්ම තමන් අකමැතියි කියලා කියන්න. ඒත් බලහත්කාරෙන් ඔහු හෝ ඇය ඔයාව වීඩියෝ කරනවා නම් මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කරනවාය කියලා පොලිසියට පැමිණිලි කරන්න” කියලා. ඔයිට වඩා දේවල් මගෙ ගුරුතුමාගෙ ප්‍රකාශෙ ඇතුළෙ තිබ්බා “බලෙන් වීඩියෝ කරනව නම් දීලා ඇරපන් පුතේ” වගේ කොටසක්. මීඩියා උදවිය වීඩියෝ කළ පමණින් අතින් පයින් සංග්‍රහ කරන්න යන එක කොයිතරම් එතිකල්ද කියල මට හිතාගන්න බැරි නිසා ගුටි බැට හුවමාරු ගැන වැඩිය හිතන්න යන්න ඕන නෑ. 

දුක අහනා අයියල, අක්කලාගේ යූටියුබ් චැනල්වලට කැමැත්තෙන් මාකට් වීම හෝ නොවීම පිළිබඳ වගවීම මාකට් වෙන්නන් සතු බව අනිවාර්යයෙන්ම කියන්ඩෝන. 

ප.ලි. – අවම මාධ්‍ය සදාචාරයවත් උල්ලංඝනය නොකර මම මඩ ගැහුවාය කියලා මේ හෑල්ල මාකට් නොකරන මෙන් ආදරණීය දුක අහනා අයියලා සහ අක්කලාගෙන් ඉල්ලා සිටිමි. 

ඔබ සැමට අනුන්ගේ වැල්වල ඇඳුම්? සිහිනෙනුත් පෙනේවා.

ස්තූතියි

පවනි වාසනා