අගමැති හමුවෙන්න ගිය බිත්තර නිෂ්පාදකයන්ට හිස් අතින් එන්න වෙලා

0
53

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඊයේ (22දා) පෙරවරුවේ පැමිණියද ඔවුන්ට අගමැතිවරයා හමුවීමට අවස්ථාව නොලැබිණි. එම සංගමයේ නියෝජිතයන් මල්පාරේ පිහිටි අගමැති කාර්යාලයට පැමිණි අවස්ථාව වන විට  අගමැතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් තිබිණි.

අගමැති කාර්යාලයේ නියෝජිතයකු සඳහන් කළේ පෙර දැනුම්දීමකින් තොරව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ පිරිස අගමැති කාර්යාලයට පැමිණ තිබූ බවයි. බිත්තර සඳහා පිරිවැය ආවරණය වන සාධාරණ මිලක් නොලැබෙන්නේ නම් බිත්තර ව්‍යාපාරයෙන් ඉවත්වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක අනතුරුව අදහස් දක්වමින් පැවැසීය. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කර නොගන්නේ නම් තවදුරටත් බිත්තර ව්‍යාපාරයේ යෙදීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

සුදු බිත්තරයක් රුපියල් 43කටද රතු බිත්තරයක් රුපියල් 45කටද අලෙවි කරන ලෙසට ගැසට් නිවේදනයෙන් නියම කර ඇතත් එම මිලට බිත්තරයක පිරිවැය ආවරණය නොවන බවද හෙතෙම කීවේය. බිත්තරයක් නිෂ්පාදනය කර ප්‍රවාහනය කිරීමට රුපියල් 52ක් වැයවන බවත්, එහිදී ගොවිපළේ සිට කොළඹට ප්‍රවාහනය කිරීමට පමණක් බිත්තරයකට රුපියල් 4ක් වැයවන බවත් ඔහු පැවැසීය.

අමිත් මධුරංග ගමගේ