හොරු රකින්න නොව නසන්න සමත් ජන වරමකට ඉඩදෙන්න

0
18

පසුගිය ජනතා නැඟිටීම බාග ජයග්‍රහණයකින් කෙළවර වීම හදවත් කම්පා කරවන්නක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවනු! නව ජනවරමකට ඉඩදෙනු! තේමාවෙන් පැවැති “අරගලයේ ජන බලය” – නුගේගොඩ රැලිය අමතමින් දිසානායක  මහතා මේ බව කීය. ඔහු මෙසේද පැවැසිය.

“මහජන අරගලවලින් රාජපක්ෂ කඳවුරේ හිස ඉවත් කරන්න සමත් වුණා. කඳ පාර්ලිමේන්තුවේ ඉතිරි වී තිබෙනවා. ඒ කඳ විසින් රනිල් රාජපක්ෂ හිසක් නිර්මාණය කළා. දැන් රටේ නිශ්චිත වශයෙන් කඳවුරු දෙකක් බෙදී තිබෙනවා. එකක් රනිල් රාජපක්ෂ කඳවුර. ඒ කඳවුර රනිල්, රාජපක්ෂලා, අපරාධකාරයන්. වංචනිකයන් ඇතුළු කණ්ඩායමකින් සමන්විතයි. ඒ වගේ හොරගල් අහුලන කණ්ඩායමකුත් ඉන්නවා. ස්වාධීන වූවා කියන පිරිස හොරගල් අහුලනවා. සජිත්ගේ කණ්ඩායමේ බොහෝ අයත් හොරගල් අහුලමින් ඉන්නවා.

ගෝල්ෆේස් අරගලයේ සාමකාමී අය සහ ත්‍රස්තවාදීන් සිටි බව පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ කිව්වා. ඔහු කියන ඒ ත්‍රස්තවාදීන් කවුද කියලා අපි බලාගෙන සිටියා. ෆූල් එකේ සබන් ගාලා නාපු කෙනා එක ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ වැසිකිළිය පාවිච්චි කළ කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපතිගේ කොඩියේ නිදාගත් කෙනා තව ත්‍රස්තවාදියෙක්. ෆ්‍රිජ් එකේ තිබුණු ගස්ලබු කෑල්ල කෑව කෙනා තව ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයේ තිබුණු සල්ලි ගණන් කළ කෙනත් ත්‍රස්තවාදියෙක්. ජනාධිපති මන්දිරයට පළමුවෙන්ම ඇතුළු වූ කෙනත් ත්‍රස්තවාදියෙක්. මෙහෙම බැලුවාම රනිල් 134 අංගොඩ රූට් එකේමයි යවන්න ඕනෑ. අරගලයට මැදිහත් වුණු අය මර්දනය කරලා තමන්ගේ පාලනය ගෙනියන්න හැකිවෙයි කියලා රනිල් වික්‍රමසිංහ හිතනවා. 18 වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයෙන් පෙළපාළියක් ගියා. ටවුන්හෝල්වලින් පටන්ගෙන කොටුවේ රැස්වීමක් තියන්න ගියේ. යුනියන් ප්ලේස්වල මඟරැකලා සිටි පොලිසිය පහර පිට පහර දුන්නා. අරලියගහ මන්දිරයට, ජනාධිපති මන්දිරයට යන්න ගිය පා ගමනක් නොවෙයි. රනිල් මංපහරන්නෙක් වගේ මඟ රැකලා ඉඳලා පහර දුන්නා.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, උද්ඝෝෂණය කරන්න තිබෙන අයිතිය බිඳවැට්ටීම සඳහා රනිල් වික්‍රමසිංහ දරන සෑම ප්‍රයන්තනයක්ම පරාජය කරන්න අපි සූදානම් බව අවධාරණය කරනවා. අපි දෙල්කඳ සිට නුගේගොඩට උද්ඝෝෂණ පෙළපාළියෙන් ආවා. මඟ රැකලා ඉඳලා අපිට පහර දෙන්න ආවා නම්, අපි නුගේගොඩින් නතර නොවෙන බව රනිල් වික්‍රමසිංහට කියනවා. ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කරන්න බලයක් රනිල් වික්‍රමසිංහට නැහැ.

මේ අරගලයෙන් රනිල් රාජපක්ෂ කඳවුර විතරක් නොවෙයි සජිත් ප්‍රේමදාස ඇතුළු සිඟිති කඳවුරත් අභියෝගයට ලක්වෙනවා. ඔවුන් ජනතාවත් එක්ක දේශපාලනය කරනවා වෙනුවට තමන්ගේ පිරිස ආරක්ෂා කර ගන්න අරගලයක ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන්නේ සජිත්ලාගේ වැඩපිළිවෙළලු. මේ නිසා ඔවුන් දේශපාලනයේ නන්නත්තාර වූ කණ්ඩායමක් බවට පත්වී සිටිනවා. ඒ වගේම රාජපක්ෂ කඳවුරට විරුද්ධව ඩලස් අලහප්පෙරුම ඡන්දය ඉල්ලලා ආණ්ඩු පක්ෂයේ වාඩි වී ඉන්නවා. තව කණ්ඩායමක් ජනාධිපති තෝරන ඡන්දයේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය දීලා විපක්ෂයේ වාඩි වී ඉන්නවා. අද පාර්ලිමේන්තුවේත් එළියේත් ඔවුන්ගේ කඳවුර සුනුවිසුනු වෙලා තිබෙන්නේ. නිශ්චිත මතවාදයක්, ඉලක්කයක් සහිතව සාමූහිකව වැඩකරන, ඉතාමත් දුෂ්කර තත්ත්වයක් යටතේත් නුගේගොඩ මහා හිස්ගොඩක් බවට පත්කළ හැකි වූයේ ජාතික ජන බලවේගයට පමණයි.

බැසිල් රාජපක්ෂ ලංකාවෙන් යන්න හදනකොට ගුවන් තොටුපොළින් යන්න නොදුන්නේ මහජනයාගේ දේපොළ හොරකම් කළ අයට යන්න දෙන්න බැහැ කියලයි. රනිල් මේ අයට දඬුවම් කරන්නේ නැහැ. රනිල් නාමිකව හරි එහෙම කරන්න සූදානම් නම්, රතු වරෙන්තු නිකුත් කර තිබෙන අර්ජුන මහේන්ද්‍රන්ව ගේන්න කියලා අභියෝග කරනවා.

මේ නිසා වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දෙන නව ජනවරමකට අවස්ථාව ලබාදෙන්න ඕනෑ. හොරු රකින පාලනයක් වෙනුවට හොරු අල්ලා දඬුවම් දෙන පාලනයක් වෙනුවෙන් නව ජනවරමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපට අරගලයක් තිබෙනවා.

ඒ වගේම ජීවිත කාලයක් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර නව ආර්ථිකයක් ගොඩනඟන්න ජනවරමක් අවශ්‍යයි. අප්‍රේල් මාසයේ 08 වැනිදා සිට විදේශ ණය නොගෙවන බංකොලොත් රාජ්‍යයක් බවට අපේ රට පත්කර තිබෙනවා. දැන් ලංකාව ලෝක පොලුකාරයෙක්ගේ තත්ත්වයට පත්කරලා තිබෙන්නේ. පසුගිය ජනතා නැඟිටීම බාග ජයග්‍රහණයකින් කෙළවර වීම අපේ හදවත් කම්පා කරවන්නක්. ඒ නිසා තවදුරටත් භාග ජයග්‍රහණ නොවෙයි, අවසන් ජයග්‍රහණ ලබාගන්නත් සටන් පෙරමුණු ජාතික ජන බලවේගයෙන් ගොඩනඟා ජයග්‍රහණය දක්වා ගෙනයනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අපි අද නුගේගොඩට ආවේ පැහැදිලි පණිවුඩයක් අරගෙන. මේ ආණ්ඩුව, මේ ජනාධිපති අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා ජනතාව කැමැති අලුත් ආණ්ඩුවක් හදාගන්න ජනවරමක් ලබාගන්න පාර්ලිමේන්තුව විසුරුවා බැහැලා යන්න කියන පණිවුඩය දෙන්නයි අපි ආවේ. ගෝඨාභය ගිහින් රනිල් ආවාට පස්සේ අරගලයට යම් විරාමයක් ආවා. ඒ විරාමය තුළ පොලිසිය පොලු ඔසවන්න පටන්ගෙන තිබෙනවා. මර්දනය දියත් කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ අයට අපිට කියන්න තිබෙන්නේ ඔබලා අපායේ ඉන්ටර්වල් එකක ඉන්න බවයි. වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් මේ ඉන්ටර්වල් එක ඉතා ඉක්මනින් අවසන් කර ජනතාවාදී පාලනයක් පිහිටුවනවා.

මේ ගොල්ලන්ගේ මර්දනයට කවුරු බය වුණත් ජාතික ජන බලවේගයේ අපි කවුරුවත් බය නැහැ. ජනතාව පාලකයන්ට බයේ ජීවත් විය යුතු නැහැ. වැරදි කළ ඒගොල්ලොයි ජනතාවට බයේ ඉන්න ඕනෑ.

රනිල් වික්‍රමසිංහ පරණ නාඩගම් නැවත පටන්ගෙන පරණ හොරු ගේන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂත් නැවත ගේන්න හදනවා. මේ තත්ත්වයන්ට එරෙහිව ජනතාවගේ අරගලයක් තිබෙනවා. අරගලය නිවැරදි මාවතකට ගෙන යන්නේ නැතිව කැලෑ වැද්දුවොත් මහජනතාවගේ ශක්තිය අපතේ යනවා. එය අපතේ නොයන්න නම්, නිවැරදි දේශපාලන නායකත්වයක් තියෙන්න ඕනෑ. එවැනි නායකත්වයක් දෙන්න හැකියාව තියෙන්නේ ජාතික ජන බලවේගයට විතරයි.

මේ රටේ දේශපාලන බිමේ වාසිදායකම තත්ත්වය තිබෙන්නේ ජාතික ජන බලවේගයටයි. සාම්ප්‍රදායික ධනපති දේශපාලන පක්ෂ කැඩිලා බිඳිලා තිබෙන්නේ. මොළ හතක් තිබෙනවා කීව බැසිල් රාජපක්ෂගේ පක්ෂය අම්බලමක් වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී ගිය සමගි ජන බලවේගයත් එකට නැහැ. රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුවට රිංගන්න බොහෝදෙනෙක් උත්සාහ කරනවා. සර්වපාක්ෂික ලේබලයේ අටමගලට අපි එන්නේ නැහැ. අපි සූදානම් වෙන්නේ ආණ්ඩුවක් හදන්නයි. පොදු ජනයා සතුටින් තියන ජනතාවාදී පාලනයක් පිහිටුවන්නයි අපි සූදානම් වෙන්නේ.  ඊනියා දේශප්‍රේමී නායකයෝ කැලේ. ජාතික ජන බලවේගය විතරයි දෙපයින් නැඟී සිටින්නේ. ජනතාව දෙපයින් සිටුවිය හැක්කේ ජාතික ජන බලවේගයට විතරයි. ජනතාවට අභිමානය, ගෞරවය දෙන්න පුළුවන් එකම පක්ෂය ජාතික ජන බලවේගය විතරයි.

ජනතාව දැන් පෙළගැසෙන්නේ ආණ්ඩු එළවන්න විතරක් නොවෙයි. පරණ පාලනය නිමා කොට, අලුත් රටක්, නව සමාජයක් නිර්මාණය කරන්නයි. ඒ වෙනුවෙන් සටන් පෙරමුණේ අත්වැල් බැඳගෙන සහෝදරත්වයෙන් අපි සටන් කරමු. ඒ සටන පීලි පන්නන්න ඉඩනොදී නිවැරදි ඉලක්කයට ගෙන යමු. අලුත් රටක්, අලුත් බිමක්, අලුත් හෙටක් හදමු. ඒ වෙනුවෙන් සෑමදෙනාටම ධෛර්යයෙන් පෙරට එන ලෙස ආරාධනා කරනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික එරංග ගුණසේකර

මර්දනය ගැනම බලාපොරොත්තු තියන රනිල් රාජපක්ෂට කළ හැකිව තිබෙන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලිලෑ, චින්තක ඇතුළු සහෝදර සහෝදරියන් අත්අඩංගුවට ගැනීම පමණයි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවලින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමක් විතරයි. හොරාකාපු සල්ලි නැවත අත්පත්කර ගැනීමට බලකිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්ද කියලා අපි රනිල් රාජපක්ෂ කල්ලියෙන් අහනවා. එහෙම නම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒ කුමන්ත්‍රණයේ හවුල්කරුවන් බව ප්‍රකාශ කරනවා. ඒ සියලු ජනතාව එකතු කරල ගෝඨාට එහා ගිය පාඩමක් රනිල් රාජපක්ෂට උගන්වන්න අපි සූදානම් බව අවධාරණය කරනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධාය සභික නීතිඥ කෞෂල්‍යා ආරියරත්න

රනිල් රාජපක්ෂ දැන් කරමින් ඉන්නේ තාවකාලික පැලැස්තර ටිකක් දැමීමයි. රනිල්ගේ පොහොට්ටු කණ්ඩායමට පාරටවත් බහින්න බැහැ. ඔවුන්ව ඉදිරි අවුරුදු දෙකහමාරට රැකගැනීමයි රනිල්ගේ ඊළඟ කොන්ත්‍රාත්තුව. පින් ජනාධිපති ධුරයට පත්වුණු රනිල් රාජපක්ෂ ආර්ථිකය හදනවා කියන එක බොරු. ලංකා ඉතිහාසයේ පත්වුණු බියගුලු සහ නිවටම ජනාධිපති බව ගෙවුණු කාලය තුළ ඔප්පු කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ හැටනව ලක්ෂයේ බලයත් තුනෙන් දෙකේ බලයත් ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගත් බලයත් තිබෙද්දී මහජන බලයෙන් පලවා හැරියා නම්, රනිල්ට සිදුවන දේ හිතාගන්නවත් බැරිවෙන බව අවධාරණය කරනවා.

ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික විමල් කැටිපෙආරච්චි

අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් එක පුද්ගලයෙක් කියනවා ඔංචිල්ලාව ඒ පැත්තේ ඉඳලා මේ පැත්තටත් එන බව. නමුත් ජාතික ජන බලවේගය ඒ ඉතිහාසය වෙනස් කරලා ඔංචිල්ලාව දෙපැත්තට පද්ද පද්දා හිටි කාලය අවසන් කරනවා. මේ සමාජය වෙනස් කරන්න ජාතික ජන බලවේගය සූදානම්. මේ සමාජයත් වෙනස් වෙන්න සූදානම්. ඒ නිසා රනිල් රාජපක්ෂට ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස අනතුරු හඟවනවා. පරණ සෙල්ලම් ඉවරයි. දැන් තියෙන්නේ ඉතිහාසය අලුත්කරන වැඩ දෙකක්. ජාතික ජන බලවේගයට ඒ අභියෝගය තිබෙනවා. එකක් මහපාරේත් අනෙක මැතිසබයේත්. මේ දෙකෙන් එකක්වත් අත්නොහැර ඒ මැච් දෙකම මාලිමාව ලකුණින් ගහන්න ජාතික ජන බලවේගය සූදානම්.

ඒ නිසා රනිල් රාජපක්ෂට අපි කියන්නේ දිනය දැන්ම කියන්න බැරි වුණත් වේදිකාවෙන් බැහැලා යන්න ලැහැස්තිවෙලා ඉන්න කියලයි. විකෘති පාර්ලිමේන්තුව වෙනුවට නව ජන වරමකින් මේ රට වෙනස් කරන්න අපි සූදානම් බව අවධාරණය කරනවා.

අනුරාධා හේරත්