රළ පහරට හසුවූ සරසවි සිසුවා මියයයි

0
21

මුහුදේ දිය නෑමට ගොස් රළ පහරකට හසුවී ගසාගෙන ගොස් අනතුරකට ලක්ව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටි රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉංජිනේරු තාක්‍ෂණ විද්‍යාව හදාරමින් සිටි සිසුවකු දින 48කට පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ තුඩුහේනගේ චමෝද් රුවන්ගිත් (21) නමැති පිංහේන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය සිසුවාගේ මරණ පරීක්‍ෂණය ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී පෙරේදා (20දා) සිදුවිය.

සිසුවා ජූලි 02 වැනිදින තවත් සිසුන් 17 දෙනකු සමඟ ගන්දර තලල්ලේ සිත ගඟුල ස්වාභාවික මුහුදු තටාකයේ දිය නෑමට ගොස් ඇති අතර අධික සුළං තත්ත්වයත් සමඟ පැමිණි රළ පහරකට හසුවී ගසාගෙන ගොස් සිටි මෙකී සිසුවා හා තවත් සිසුවකු ගම්මුන් විසින් බේරගෙන රෝහල්ගත කොට තිබිණි.

ගොඩ හිටපු අය කැ ගැසුවා. සුළං පහර තදින් තිබුණා. ගමේ අය එකතු වෙලා අපිව ගොඩට ගත්තා. මට වතුර පෙවිලා තිබුණේ. මා මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ටිකට් කපා ගෙදර ආවා. මා චමෝද්ගේ සාත්තුවටද කිහිප වතාවක් ආවා. ඔහුට කල්පනාව තිබුණේ නැහැ. ඔහු අස්ඇර බැලුවා විතරයි. කතා කරන්න ශක්තියක් තිබුණේ නැහැ. 20 වැනි දින මියගිය බව දැන ගත්තායැයි සාක්‍ෂි දුන් මිතුරා පැවසීය.

ඉමදුම – ටී. විතානවසම්,

ගාල්ල – කමල් විජේහේවා