රනිල් ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකක

0
53

“රනිල්ගෙ  ආණ්ඩුව ඉන්නේ අපායේ ඉන්ටර්වල් එකක” යැයි ජවිපෙ  ප්‍රධාන  ලේකම්  ටිල්වින්  සිල්වා  පැවැසීය. “ඒ අපායේ ඉන්ටර්වල් එක අපි ඉක්මනින්  ඉවර කරනවා” යැයිද  ඔහු කීය. නුගේගොඩ පැවැති රැලියකදී ටිල්වින් සිල්වා මහතා මෙසේද කීය.

ගෝඨාභය ගිහින් රනිල් ආවාට පස්සේ අරගලයට යම් විරාමයක් ආවා. ඒ විරාමය තුළ පොලිසිය පොලු ඔසවන්න පටන්ගෙන තිබෙනවා. මර්දනය දියත් කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ අයට අපිට කියන්න තිබෙන්නේ ඔබලා අපායේ ඉන්ටර්වල් එකක ඉන්න බවයි. වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් මේ ඉන්ටර්වල් එක ඉතා ඉක්මනින් අවසන් කර ජනතාවාදී පාලනයක් පිහිටුවනවා.

 “රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහා බලාගෙන සින්දු කිය කියා ඉන්නවා. ඒ නිසා උත්තරයක් නැහැ. මේ ප්‍රශ්න විසඳන්න මොකක්වත් ක්‍රමයක් නැහැ. සැලැස්මක් නැහැ. රාජපක්ෂවරුන්ගේ ඡන්දෙන් ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහ හදනවා මේ අවුරුදු තුනම අරගෙන යන්න. මේ හොරු රැළත් එක්ක, මේ අපරාධකාරයෝ එක්ක, මේ ප්‍රශ්න මෙහෙම්මම තියෙද්දි තව අවුරුදු තුනක් පාර්ලිමේන්තුව අරගෙන යනකොට මොකද සිද්ධ වෙන්නේ? අපි අහනවා ඔබෙන් මේ ප්‍රශ්න ටිකත් එක්ක තව අවුරුදු තුනක් බලාගෙන ඉන්න පුළුවන්ද? බැහැ.

අපි ලෑස්තිද ඒකට? නැහැ. තව අවුරුදු තුනක් නෙවෙයි තව මාස තුනක් හතරක්වත් බලන් ඉන්න බැහැ. අපි ලෑස්ති නැහැ. ඒ නිසා අපි සූදානම් වෙනවා හරියට කෙළින් රනිල්ට කියන්න. දැන් බඩුමුට්ටු අකුළගෙන කණ්ඩායමත් එක්ක බැහැලා යන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයක් තියලා ජනතාවට ජනවරමකට අවස්ථාව දෙන්න කියලා අපි කියනවා” යැයි ලේකම් ටිල්වින් සිල්වා  වැඩිදුරටත් පැවැසීය.

අනුරාධා හේරත්