පොදු ප්‍රවාහන ගැටලු බලන්න බන්දුල උතුරට යයි

0
34

උතුරු පළාතේ  පොදු ප්‍රවාහන සේවයේ පවතින ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා යාපනය වෙත පැමිණි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ යාපනය සිට කන්කසන්තුරේ දක්වා දුම්රියෙන් ගමන් කරමින් දුම්රිය මාර්ගයේ නිරීක්ෂණයකද නිරත විය.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට වවුනියාව දක්වා කොටස කෙටි කාලයක් තුළ සම්පූර්ණයෙන්ම නවීකරණය කර දැනට නගරාන්තර දුම්රියක්‌ කොළඹ සිට යාපනය දක්වා ළඟාවීමට ගතවන කාලය පැයකින් පමණ අඩු කිරීමට කටයුතු කරන බවත් එමඟින් යාපනයේ ජනතාවට මෙන්ම යාපනයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට විශේෂ පහසුවක් සැලසෙන බවත්  කන්කනස්තුරේ දුම්රිය ස්ථානයේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම යාපනයේ සිට කොළඹට විශේෂ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්‌ ආරම්භ කිරීමටද කටයුතු සැලසුම් කර ඇත. ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රවාහන අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් පසුව මේ දක්වා නව දුම්රිය 3ක්‌ යාපනය දක්වා ආරම්භ කර ඇත. Jafna Night Express, යාපනය රාත්‍රි  තැපැල් දුම්රිය සහ වවුනියා සිට කිලිනොච්චි දක්වා ධාවනය වන දුම්රිය මෙලෙස අලුතින් ධාවනයට එක්කර තිබේ. ඉදිරියේදී මෙම ගමන් වාර ප්‍රමාණය අවශ්‍යතාව පරිදි වැඩි කිරීමටද අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

 ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් යාපනය ඩිපෝව සහ ආයතන කිහිපයක්‌ නිරීක්ෂණය සඳහාද ඇමැතිවරයා එක් විය.

ඩිපෝවල සෑම අංශයක් වෙතම ගොස් ඒවායේ පවතින තත්ත්වය පිළිබඳ කරුණු සොයා බැලූ අමාත්‍යවරයා ඒවායේ කාර්ය මණ්ඩලය සමඟද සුහද සාකච්ඡාවක නිරත විය.

දැනට පවතින අමතර කොටස්ද හා ටයර් හිඟය මඟහරවා ගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් ඉදිරියේදී තවත් බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනයට එක්කර ගත හැකි බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේම අබලන්ව ඇති බස්රථ අලුත්වැඩියාව සඳහා ඩිපෝවල සිටින දක්ෂ කාර්මිකයන්ගේ සේවය වඩා විදිමත්ව යොදා ගැනීමේ වැදගත්මද හෙතෙම අවධාරණය කළේය.

විශේෂයෙන්ම යාපනය ප්‍ර‍දේශයේ ඩිපෝවල පිවිසුම් මාර්ග හා ඩිපෝ පරිශ්‍ර තුළ මාර්ග අබලන් වී ඇති බව නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම මාර්ග කඩිනමින් කාපට් යොදා පිළිසකර කර දෙන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අංගජන් රාමනාදන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්, ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති, මාර්ග  සංවර්ධන  අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.