පේරාදෙණියේ නේවාසිකාගාරයක ගින්නක්

0
137

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් පිරිසක් නවාතැන් ගෙන සිටි හිඳගල ප්‍රදේශයේ පෞද්ගලික නේවාසිකාගාරයක ඇති වූ හදිසි ගින්නකින් එහි එක් කාමරයක් මුළුමනින්ම පිලිස්සී තවත් කාමර දෙකකට දැඩි හානි සිදුව ඇත.

ගින්න ඇතිවන අවස්ථාවේ නේවාසිකාගාරයේ කාමර හයක් තුළ සිසුවියන් 23 දෙනකු නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය පවසයි. ගින්න 19දා රාත්‍රි 7.30ට පමණ ඇතිව තිබේ. නේවාසිකාගාරයට යාබද රූපලාවණ්‍යාගාරයකින් ගින්න ආරම්භ වී තිබෙන බව දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මඟින් අනාවරණය වී  ඇත.

ගින්න පැතිර යෑමත් සමඟ සිසු පිරිස කාමරවලින් පිටතට පැන දිවි බේරාගෙන ඇතත් ඔවුන්ගේ ලැප්ටොප් උපකරණ ඇතුළු සියලු භාණ්ඩ ගින්නට අසු වී විනාශ වී තිබේ.

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ විද්‍යා හා ශාස්ත්‍ර පීඨවල දෙවැනි වසරේ සිසුවියන් පිරිසක් මෙහි නවාතැන් ගෙන සිට ඇති බවත් දුම ආඝ්‍රාණය වීමෙන් හුස්ම ගැනීමේ අසීරුතාවට පත්වූ එක් සිසුවියක් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ කාමරයේ සිටි සිසුවියන් පස් දෙනකුට අයත් ලැප්ටොප් යන්ත්‍ර පහක් දැවී පිලිස්සී ඇති අතර ඔවුන්ට ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණක් බව විශ්වවිද්‍යාල පරිපාලනය පවසයි. ගින්නෙන් සියලු බඩු භාණ්ඩ අහිමි වූ සිසුවියන්ට උපකුලපති අරමුදල මඟින් එක් අයකුට රුපියල් 7,500 බැගින් සිසුන් 10 දෙනකුට මූල්‍යාධාරයක් ලබාදීමට උපකුලපතිවරයා පියවර ගෙන තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ සෙවීමට රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලිසිය පියවර ගෙන ඇත. ගින්න හට ගත් නේවාසිකාගාරය මෙන්ම විශ්වවිද්‍යාලය අවට නේවාසිකාගාර බොහොමයක් නිසි ප්‍රමිතියෙන් තොර බවත් මේවා සම්බන්ධව නිසි නියාමනයක් සිදුවිය යුතු බව සිසුන්ගේ මවුපියෝ පවසති.