පාලන මිලට එරෙහිව කුකුළු ව්‍යාපාරිකයන් සටනට

0
19

රජයේ උපරිම සිල්ලර මිලට බිත්තර අලෙවි කළ නොහැකි බවත් ඒ අනුව බිත්තර බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බවත් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවැසීය.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 47-49 අතර මුදලක් වැය වන බවත් ගොවිපොළේ සිට වෙළෙඳසල් දක්වා බිත්තර ප්‍රවාහනය කොට පාඩු විඳිය නොහැකි බවත් සභාපතිවරයා සඳහන් කළේය.

සුදු බිත්තරයකට රුපියල් 43ක සහ රතු හා දුඹුරු බිත්තරයකට රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති අති විශේෂ ගැසට්  නිවේදනයෙන් බිත්තර නිෂ්පාදන පිරිවැය හා ප්‍රවාහන ගාස්තු ආවරණය නොවන බව හෙතෙම පෙන්වා දෙයි.

අද (22දා) සිට බිත්තරයක් රුපියල් පහකින් අඩු කොට අලෙවි කරන බවට කුකුළු ව්‍යාපාරිකයන් ප්‍රකාශයට පත් කර තිබියදී උපරිම මෙම මිල නියම කර ඇතැයිද ගුණසේකර මහතා චෝදනා කළේය.

රජයේ පාලන මිලට බිත්තර ලබාදිය නොහැකි බව අවධාරණය කළ සභාපතිවරයා බිත්තර පිරිවැය ආවරණය වන පරිදි මිල නියම කරන ලෙසත් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

බිත්තර මිල සමාලෝචනය කර ගැනීම සඳහා අද දින වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා හමු වී සාකච්ඡා කිරීමට යොදාගෙන ඇතැයිද හෙතෙම කීවේය.

මේ අතර සිවිල් සංවිධාන කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද පෙරවරුවේ ගොස් බිත්තර මිල සම්බන්ධව සාකච්ඡා කිරීමට යොදා ගෙන තිබේ.

පසුගිය සතියේද එම අධිකාරිය කුකුළු නිෂ්පාදකයන් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබිණි.

අමිත් මධුරංග ගමගේ