පාඩු ලබන රාජ්‍ය ආයතන ආණ්ඩුව බදාගෙන සිටිය යුතුද?

0
189

මෙරට ඇති රාජ්‍ය ආයතන ප්‍රමාණය 400ක් පමණ වේ. එහෙත් අපට වඩා භූගෝලිය වශයෙන් මෙන්ම ජනගහනයෙන්ද විශාල රාජ්‍යයක් වන ඉන්දියාවේ පවා ඇත්තේ රාජ්‍ය ආයතන 192ක් පමණකි. මෙම රාජ්‍ය මෙරට පාලකයන් විසින් 1952 සිට වරින් වර මෙරට පිහිටු වූ මෙන්ම විවිධ කාලයන්හි රාජ්‍යයේ පැවැතුණු ආර්ථික ප්‍රතිපත්ති මත ඇති කරන ලද ඒවා විය.

1972දී ආයතන ජනසතු කිරීමට පෙර බොහෝ ව්‍යාපාර රාජ්‍යය සතු ඒවා නොවීය. උදාහරණ ලෙස ප්‍රවාහන සේවාවල ඉන්ධන ආදිය පෙන්වා දිය හැකිය. ඉන්ධන වනාහි එවකට ආණ්ඩුවේ ඒකාධිකාරයක් නොවීය. ඒ වනවිට ෂෙල්, කැල්ටෙක්ස් හා මොබිල් යන ආයතන මෙරට ඉන්ධන වෙළෙඳාමෙහි නිරත විය. එහෙත් ඒවා ජනසතු කරමින් ලංකා ඛනිිජ තෙල් නීතිගත සංස්ථාව පිහිටුවනු ලැබීය. එකී ජනසතුවෙන් පසු එම ආයතන සිංගප්පූරුවට ගිය අතර එහි ව්‍යාපාර කටයුතු ආරම්භ කරනු ලැබීය.

අපේ රටේ නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය. ආදී වශයෙන් රජයෙන් සපයන නිදහස් සේවාවන් පවතී. අතීතයේ පැවැති සහල් සලාකයද එවැනි සුබසාධන සේවාවකි. එහෙත් සුබසාධනයක සීමා පැවැතිය යුතුය. නිදහස් අධ්‍යාපනය සියලුදෙනාට පාසල් මට්ටමේදී ලැබිය  යුතුය. එය විශ්වවිද්‍යාල මට්ටමේදී නිදහස් අධ්‍යාපනයට යටත් විය යුතුද යන්න ප්‍රශ්නයකි. විශ්වවිද්‍යාල අධ්‍යයනයේ ප්‍රතිලාභ පෞද්ගලික බැවින් එම අධ්‍යාපනය නොමිලේ දිය යුතුද නැද්ද යන්න යළි සිතා බැලිය යුතුය.

සෞඛ්‍ය සේවය ගැනද කිවයුත්තේ එයමය. අද නිදහස් සෞඛ්‍ය සේවය ගැන කතා කළත් එයින් පවා වැඩි ප්‍රතිලාභයක් ගන්නේ ඇති හැකි අයයි. නිදහස් යැයි කීවද එහි සංශෝධනය කළ යුතු තැන් බොහෝය.

රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කිරීම ගැන කතා කරද්දී අපේ රටේ පෞද්ගලිකරණය කිරීම යන වචනයම අවමානයට, නින්දාවට පත්වූ එකකි. තම තමන්ගේ අයට, නැන්දාට, මාමාට, අයියාට, අක්කාට දුන් සහන සමඟ පෞද්ගලිකරණය කිරීම මේ වචනය අවමානයට පාත්‍රවීමට හේතුවයි.

පොදු ප්‍රවාහන සේවාව උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. සිල්ලර කඩ මෙන් පෞද්ගලික බස් එක එක ලබා දීමෙන් එම සංකල්පය අසාර්ථක විය. රටේ ඇති රාජ්‍ය ව්‍යවසායයන් 400, අතරින් සමහර ආයතනවලින් ඇති ආර්ථික දායකත්වය කුමක්ද?  “මොකටද මේක තියන් ඉන්‌නේ” යැයි අසන්න සිතෙයි. එවන් ආයතනවලට උදාහරණ ලෙස පොදු ප්‍රවාහනය, විදුලිය, ඛනිජ තෙල්, ජලය, දුම්රිය, තැපෑල පෙන්වා දිය හැකිය. මේ ආයතන ආරම්භ කර පවත්වාගෙන යෑමට භාර දුන් වගකීම ඉටුකළ නොහැකිව පවතී. ඉහත කී ආයතන සියල්ලටම ‌මේ තත්ත්වය පොදුය. ඊට හොඳම උදාහරණය සංචාරකයන් පැමිණීම වැඩි වෙද්දී ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආදායම අඩුවීමය. දුප්පතුන්ගේ බදුවලින් ඒ පාඩු පියවා ගන්නා අතර එම ආයතන රාජ්‍ය බැංකුවලින් ණය ලබාගනු ලැබීය. එම ණය ප්‍රමාණය බිලියන 60ක් පමණ වේ. ඒ ණය ගෙවිය යුත්තේද මේ රටේ බදු ගෙවන ජනතාවය. ආයතනය පෞද්ගලිකරණය කළද ඒ ණය ගෙවිය යුත්තේද මේ රටේ බදුගෙවන ජනතාවමය.

රාජ්‍ය ආයතන බවට පත්වූ එම ආයතනවල පැහැදිලිව නොපෙනෙන දූෂණ වංචා සිදුවූ අතර එළිපිටද දූෂණ වංචා සිදුවිය. එහෙත් පෞද්ගලිකරණය වූ රාජ්‍ය ආයතන සමහරක් සාර්ථක විය. උදාහරණයක් ලෙස ටෙලිකොම් ආයතනය පෙන්වා දිය හැකිය. ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සමහර රාජ්‍ය ආයතන පැවැතිණි. ඒවාද පෞද්ගලිකරණයෙන් පසු සාර්ථක ව්‍යාපර බවට පත්විය.

පරිපාලනය අතින් දුර්වල මෙන්ම ඵලදායි නොවන රාජ්‍ය ආයතන රැසකි. එයින් රටට වැඩක් නැති බව බලධාරීන්ට නොපෙනෙයි. ඊට හේතුව බොහොමයක් රාජ්‍ය ආයතවල විගණන කටයුතු සිදුනොවීමයි. අවම වශයෙන් 2020 වසරින් පසු වාර්ෂික ගිණුම් වාර්තා නිකුත් වී ඇත්තේ රාජ්‍ය ආයතවලින් සියයට 15ක පමණි. එසේ ගිණුම් වාර්තා නිකුත් නොවුණද ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක් නැත. ඒ පිළිබඳ වගවීමක්ද නැත. ජනතා බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනවල මෙවැනි තත්ත්වයක් තිබීමම කනගාටුවට කරුණකි. මන්දයත් මේවා රටේ සංවර්ධන ක්‍රියාවලියට උරදිය හැකි ආයතන මෙන්ම ජනතා බදු මුදලින් නඩත්තු වන ආයතන බැවිනි.

රාජ්‍ය ආයතන හා සමානව ක්‍රියාත්මක වන පෞද්ගලික ආයතන සංසන්දනාත්මකව බලද්දී පෙනීයන කරුණක් වන්නේ සාපේක්ෂව පෞද්ගලික ආයතන වැඩි ලාභ ලබන අතර රාජ්‍ය ආයතන පාඩු පිට පවත්වාගෙන යන බවකි.

ඊට හොඳම උදාහරණය ලෙස පෙන්වා දිය හැක්කේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. ඊට සමානුපාතිකව පවත්වාගෙන යන ඉන්දියානු තෙල් සමාගම සමඟ සැසඳීමේදී එහි ඇති වෙනස පෙනෙයි. LIOC‍ සමාගම වසරකදී බිලියන 4ක් ලාභ ලබද්දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 12ක පාඩුවක් ලබයි. එකම සේවාව සපයන මෙම ආයතන දෙකේ එකක් ලාභ ලබද්දී අනෙක පාඩු ලබන්නේ ඇයිද යන්න විමසා බැලීමේදී පෙනී යන්නේ රාජ්‍ය ආයතනය වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතුව කළමනාකරණයේ පවතින ‍ෙදා්ෂ බවය. පෞද්ගලික අංශයේ ආයතන බොහෝ විට පාඩු ලබන්නේ නැත.  එක් එක් කාලවලදී බලයට පත්වන දේශපාලකයන් විසින් තම තමන්ගේ ඥාතීන්, හිතමිතුරන් ආයතනවල පරිපාලන සේවාවන්ට යොදවා ගැනීමද මෙම පාඩු ලැබීමට හේතුවකි. එමෙන්ම ඔවුන් වටා සිටිමින් උපදෙස් දෙන කණ්ඩායම්ද ආයතනවලට හානි සිදුකරනු ලබයි.

රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත්වීමට හේතු රාශියක් පවතින අතර මේ ඥාති සංග්‍රහයට අමතරමව තවත් කරුණු රාශියක් ඇත. ඒ අතර සොරකම් කිරීම් ගැනද තොරතුරු පවතී. ඒවා බොහොමයක් තහවුරු කරන ලද ඒවා නොවේ. එහෙත් එම තොරතුරු තහවුරු නොවීමද ප්‍රශ්නකාරීය. ඒවා සාධක සහිතව ඔප්පු නොවුණේ ඇයි? උදාහරණ ලෙස ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා කුලී පදනම මත ලබා ගැනීමේ දී වෙළෙඳ පොළ මිලට වඩා ඉතා ඉහළ මිලක් ලබා ගත් බව පැවැසේ. එහෙත් එය කරුණු කාරණා සහිතව ඔප්පු කර නැත. එවැනි ගනුදෙනුවලදී කොමිස් ලබාගත් බවටද තොරුතුරු සමාජ ගත වී ඇතත්, ඒ කිසිවක් ඔප්පු වී නැත.

ඒවා යම් හෙයකින් සත්‍ය වුවත් ඔප්පු නොවන්නේ ඇයි? අපරාධයකට අත්අඩංගුවට ගන්නේ කවුද? සිරගත කරන්නේ කවුද? එළියට දමන්නේ කවුද? ආදී තීන්දු දේශපාලනික තීන්දු බවට පත්ව ඇති රටක මේ සිද්ධීන් ගැන සුජාතභාවයක් ගැන විශ්වාස තබා ගත හැකිද?

2020 වසර සඳහා ගිණුම් වාර්තා සකස් කර භාරදී ඇත්තේ රාජ්‍ය ආයතන 400න් සියයට 15ක් පමණි. එසේ භාර නොදීම පිළිබඳ වගකීමකුත් නැත. ආර්ථිකයට කෙළින්ම වගකියන රාජ්‍ය ආයතනවල දායකත්වය සිදුවන්නේ මේ අයුරිනි. දැන් දැන් අවසාන තැනට පැමිණ තිබේ. පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කළ යුතුය. නමුත් පෞද්ගලිකරණය පමණක් නොව ඒ සමඟම තරගකාරිත්වයද පැමිණිය යුතුය. තෙල් මිල බලන්න. තෙල් සපයන සමාගම් කිහිපයක් මෙරට තෙල් ව්‍යාපාරයේ සි‌ටියේ නම් පාරිභෝගිකයන්ට තරගකාරි මිලට තෙල් ලබාගැනීමට අවස්ථාව තිබිණි. ඉන්දියාවේ  පවා සතිපතා තෙල් මිල වෙනස් වන්නේ සමාගම් රාශියක් තෙල් වෙළෙඳාමේ යෙදී සිටින බැවිනි. එදා ඉන්දියානු තෙල් සමාගමට මෙරටට පැමිණීමට දුන් අවස්ථාවේ සිනොපෙක් සමාගමද ඒ සඳහා අවසර ඉල්ලා ඇතත් ලබා දුන්නේ නැත. එහෙත් එදා ඒ අවස්ථාව ලබා දුන්නේ නම් රට තුළ ආයතන තුනක් ක්‍රියාත්මක වන බැවින් පසුගියදා අප මුහුණ දුන් අවාසනාවන්ත තත්ත්වය උදා නොවෙන්නට ඉඩ තිබිණි. එදා අවසර නොලැබූ සිනොපෙක් ආයතනය අද යළිත් පැමිණ තිබේ. අද එයට අවසර දෙන්නේ නම් එදා ඔවුන්ට අවසර නොදුන්නේ ඇයි දැයි එදා සිටි අය හෙළි කළ යුතුය. එමෙන්ම දැන්වත් මේ ආයතන හැකි උපරිම අන්දමින් වෙළෙඳපොළ තරගයට විවෘත කළ යුතුය.

විදුලිබල මණ්ඩලය ආයතන රාශියක් බවට පත් කරන්නට උත්සාහ කරද්දී වෘත්තීය සමිති දැඩි විරෝධය පළ කළ බැවින්  එය සිදුකළ නොහැකි විය. විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම යන අංශවලට බෙදා  යළිත් එම අංශ ඒ අංශ තුන යටතේ කොටස්වලට බෙදිය යුතුය. ටෙන්ඩරයක් ඉදිරිපත් කිරීමේදී ටෙන්ඩරය ඉදිරිපත් කරන්නා මිල යෝජනා කළයුතු නමුත් විදුලිබල මණ්ඩලයේ විදුලිය නිපදවා ලබාදීමේ ටෙන්ඩර්වල මිල නියම කරන්නේ විදුලිබල මණ්ඩලයයි. එවැනි තැන් වෙනස් විය යුතුය.

යළිත් ඉන්දියාවේ විදුලිය බෙදාහැරීම් උදාහරණයට ගනිමි. එරට විදුලි පාරිභෝගිකයන්ට තමන් විදුලිය ලබා ගන්නේ කවර සමාගමකින්ද යන්න තීරණය කළ හැකිය. එකම කේබලයකින් නිවෙසට ලැබෙන විදුලිය තෝරා ලබාගත හැකි තත්ත්වයට පත් කිරීමෙන් තරගය දියුණු වී ඇත.

ආණ්ඩුව විසින් බදාගෙන සිටීම වෙනුවට සිදුවිය යුත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය ‌කොට තරගකාරි ලෙස කටයුතු කිරීමට වෙළෙඳපොළ තරගයට විවෘත කිරීමය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජේ‍යෂ්ඨ මහාචාර්ය

සිරිමල් අබේරත්න

සංලාපය _ විනීතා එම්. ගමගේ