ත්‍රිරෝදවලට දෙන තෙල් ප්‍රමාණවත් නෑ

0
21

ත්‍රිරෝද රථ සඳහා සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය තම රැකියාව කිරීමට කිසි විටෙක ප්‍රමාණවත් නොවන බවට රජයේ පාර්ශ්වයට කොතරම් පැහැදිලි කළත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් තම සමාජීකයන් විශාල සංඛ්‍යාවක් මේ හේතුවෙන් රැකියාව අතහැර දමා ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර පැවැසීය.

මේ වන විට මේ කර්මාන්තයේ නියැළෙන ලක්ෂ අටකට අධික පිරිසක් හා ඔවුන්ගේ පවුල් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ධර්මසේකර මහතා කීය.

කාර් රථ සඳහා සතියට ඉන්ධන ලීටර් 20ක් ලබාදී ත්‍රිරෝද රථ සඳහා ලීටර් 4ක් ලබාදීම තම රැකියාවට මරු පහරක් බවත් මේ හේතුවෙන් පවුල් විශාල සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය. වෘත්තීය ත්‍රිරෝද රථ රියැදුරුන් සඳහා සතියට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය දිනකටවත්් ප්‍රමාණවත් නොවන නිසා ඉන්ධන පිරවුම්හල් සේවකයන්ට යම් ගතමනාවක් ලබාදී ඉන්ධන ලබා ගන්නට සිදුව ඇති බවත් හෙතෙම කීය.

ඒ නිසා වැඩි මිලට ඉන්ධන ලබා ගන්නා රියැදුරන්ගෙන් අඩු මුදලකට තම ගමන් පහසුව සලසා ගත නොහැකි බවත් ඉන්ධන ලබා ගැනීමට යම් සහනයක් ලබා දෙන්නේ නම් ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

මිතුන් ජයවර්ධන