ජැක්සන්ගේ රියේ හැපුණු අලියා පිල්ලියක්ද?

0
220

අනුරාධපුර තලාව මොරගොඩ ප්‍රදේශයේදී ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනි මහතා අනතුරට ලක්වූයේ අලියකු මෝටර් රථයේ ගැටීමෙන් යැයි කීවත් වනජීවී කාර්යාල තුනක නිලධාරීන් එක්ව කළ විශේෂ මෙහෙයුමකින් පසුවත් එවැනි අලියකු ගැන තොරතුරු සොයාගැනීමට නොහැකි වී යැයි අනුරාධපුර වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි රත්නසිරි පෙරේරා ‘මව්බිම’ට පැවැසීය.

එම අනතුරෙන් තුවාල ලැබුවා යැයි කියන අලියකු ගැන සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ පුවත මුළුමනින්ම අසත්‍යයක් යැයි කී හෙතෙම එවැනි තුවාල ලැබූ අලියකු වී නම් එම සත්ත්වයා ගමන්ගත් මාර්ගයක ලේ සලකුණක් හෝ තිබිය යුතු යැයි අවධාරණය කළේය.

එහෙත් එවැනි කිසිදු සලකුණක් වනජීවී නිලධාරීන්ට හමු නොවී යැයිද මෙම සිදුවීම අත්දැකීම් සහිත වනජීවී නිලධාරීන්ට පවා බරපතළ ගැටලුවක් යැයිද ඒ මහතා කීවේය.

අලියා ගමන්ගත් මාර්ගයත් ගමන්ගෙන තිබෙන්නේ අපහසුතාවකින්ද යන්නත් එවැනි අලියකුට පෑගෙන තණකොළවලින් කිව හැකි නමුත් එවැනි සලකුණක් පවා හමු නොවී යැයිද පෙරේරා මහතා කීය.

අනතුරින් පසුව එම අලියා රංචුව හැර ගියත් තනිව වැඩි කලක් සිටින්නේ නැතැයි කී හෙතෙම අනතුරෙන් පසුව මාසයකට අධික කාලයක් ගත වී ඇති බැවින් එසේ නම් නැවත රංචුවට එකතු වී සිටිය යුතු යැයිද පැවැසීය. එහෙත් වනජීවී නිලධාරීන් නිරීක්ෂණයට ලක් කළ අලි රංචුවල අනතුරකට  ලක් වූ එවැනි අලියකු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවී යැයිද පෙරේරා මහතා සඳහන් කළේය.

ජැක්සන් ඇන්තනි මහතා ගමන්ගත් රථයේ අලියකු ගැටුණු බවට ඇත්තේ ඇසින් දුටු සාක්ෂි දෙකක් යැයිද එවැනි අලියකු සිටී දැයි සෙවීමට තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් කරන්නේ යැයිද පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.