කෝටියකට වැඩි රන් බඩු සොරාගත් හමුදාවෙන් පලා ආ සෙබළා කොටුවෙයි

0
13

ස්කුරුප්පු නියනක් යොදා ‍ෙදාර – ජනෙල් කඩා ඇතුළු වී පොලිස් වසම් තුනක නිවෙස් 10ක පමණ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ සොරකම් කළ හමුදාවෙන් පලා ආ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මතුගම, ‍ෙදාඩංගොඩ සහ මීගමුව පොලිස් බල ප්‍රදේශවල නිවෙස්වලට රාත්‍රි කාලයේ ගොස් එසේ ‍ෙදාර – ජනෙල් කඩා ඇතුළු වී  රන්මාල, වළලු, මුදු, කරාබු සහ අත්පලඳනා  සොරකම් කර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයිද පොලිසිය සඳහන් කරයි. සොරකම් කරන ලද රන් ආභරණ අනුරාධපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක  පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වෙත උකස් කර තිබී සොයාගෙන ඇතැයිද වැටලීමට එක්වූ නිලධාරියෙක් කීය. බෝම්බුවල, කොස්හේන 42 හැවිරිදි සැකකරු ඉකුත්දා (19දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන ඉන්දික මුණසිංහ, දයාසේන, සැරයන්වරුන් වන සමන් රත්නායක (37109), සරත් (49251), ගුණවර්ධන (44817), කොස්තාපල්වරුන් වන ජයලත් (69993), රණසිංහ (33880), නවගමුව (24040), පො.කො.රි. කිත්සිරි (36218) වැටලීමට කර ඇත.

පොතුපිටිය – සුමිත් රණවක