කෙල්ලෝ කොච්චර පස්සෙන් ගියත් Lee Min Ho තවමත් තනිකඩයිලු

0
96

ලොව බොහෝ රටවල උන්මාදයක් බවට පත්වූ කොරියානු කතා මාලාව Boys Over Flowerහි ගුජුන්පියෝ කියූ විට නොදන්නා කෙනෙක් නැති තරම්. ගැහැනු ළමයින් බොහෝමයකගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ගුජුන්පියෝගේ චරිතයට පණ පෙවූ ලී මින් හෝ ගැනයි මෙවර her අතිරේකය තුළින් අප කතා කරන්නට සූදානම් වන්නේ.

ලී මින් හෝ රංගන ශිල්පියකු, ගායකයකු, නිරූපණ ශිල්පියකු වගේම නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කරනවා. Hallyu තරුවක් ලෙස කොරියානුවන් හඳුන්වන්නේ ටෙලි නාට්‍ය හා චිත්‍රපට, සංගීත, විලාසිතා ආදී සියලු විනෝදාස්වාද ක්ෂේත්‍රයන් ආවරණය කරමින් කටයුතු කරන ජනප්‍රිය පුද්ගලයන්. මෙය කොරියානු විනෝදාස්වාද ක්ෂේත්‍රය නඟා සිටුවීමට එරට රජය විසින් ගත් සාධනීය උපක්‍රමයක්. ඉතින් ලී මින් හෝ කියන්නෙත් අතිශය ජනප්‍රියත්වයට පත් වූ Hallyu තරු අතර ඉහළින්ම සිටින කෙනෙක්.

කුඩා කාලය හා අධ්‍යාපනය

1987 ජුනි 22දා සෝල් නුවරදී බෞද්ධ ආගමික පවුලක දෙවැනි දරුවා ලෙස ලී මින් හෝ උපත ලැබුවා. ඔහුගේ වැඩිමහල් සොහොයුරියක් යුන්-ජියොන්ග් ය. ඇය ලී මින් හෝගේ වර්තමාන ආයතනය වන MYM එන්ටර්ටේන්මන්ට් හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ද වනවා. ඔහු කුඩා කාලයේ පටන්ම සිතුවේ පාපන්දු ක්‍රීඩකයෙක් වීමටයි. Namseong ප්‍රාථමික පාසලට ඇතුළත් වී අධ්‍යාපනය ලබන කාලයේදී හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකු වූ Cha Bum – Kun ගේ කනිෂ්ඨ පාපන්දු පන්තියට ලී මින් හෝ තේරී පත් වුණා. නමුත් පහ ශ්‍රේණියේදී සිදු වූ ආබාධයක් හේතුවෙන් ඔහුට පාපන්දු ක්‍රීඩකයකු වීමේ සිහිනය පසෙකින් තබන්නට සිදු වුණා. පාසල් කාලයේදී තරමක් තද පැහැති සම නිසා ඔහුව Darkie ලෙස හැඳින් වූ බව පැවසෙනවා. ඉන්පසුව ඔහු ඉගෙන ගත් මධ්‍යම පාසල වූ Banpo හිදී ඔහු ඉතා සිහින් සිරුරකට හිමිකම් කී නිසාම ඔහුව ‘ඇටසැකිල්ල’ නමින් හැඳින්වූවා. උසස් පාසලේදී ඔහු ‘භූතයා’ ලෙසත් හැඳින්වූ බව පැවසෙනවා.

Danggok උසස් පාසලේ පළමු වසර වනවිට ලී මින් හෝ රංගනය සහ නිරූපණය පිළිබඳව අවධානය යොමු කර තිබුණා. ඒ වනවිට ඔහු සඟරා කිහිපයක පෙනී සිට තිබුණා. ඉන්පසු දිනක් අහම්බෙන් ලී මින් හෝට Starhaus Entertainmentහි අනාගත සභාපතිවරයා මුණගැසුණා. එම හමුවීම නළුවකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනු ලැබුවා. ඉන්පසුව 2005දී ඔහු එම ඒජන්සිය සමඟ ගිවිසුමක් අස්සන් කරනු ලැබුවා. මේ අතර සිය උසස් අධ්‍යාපනය සඳහා 2006දී Konkuk විශ්වවිද්‍යාලයට ඇතුළත් වී චිත්‍රපට කලාව පිළිබඳ උපාධිය හදාරනු ලැබුවා. මේ වනවිට ඔහු එම විශ්වවිද්‍යාලයේම ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටිනවා.

වෘත්තීය ජීවිතය

Nonstop, Recipe of Love වැනි රූපවාහිනි කතාංග තුළ සුළු චරිත නිරූපණය කළ ඔහු ප්‍රථමවරට ප්‍රධාන චරිතයකින් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වන්නේ Secret Campus (2006) හරහායි. රංගන දිවියට විරාමයක් තබමින් 2006දී ලී මින් හෝ විශාල මෝටර් රථ අනතුරකට මුහුණ දුන්නා. ඔහුත් සමඟ මෝටර් රථයේ ඉදිරි අසුන් දෙකෙහි සිටි මිතුරන් දෙදෙනා ක්ෂණිකව මරණයට පත් වූ අතර දරුණු තුවාල ලැබූ ලී මින් හෝට මාසයක කෝමා තත්ත්වයක ගත කරන්නට සහ මාස කිහිපයක්ම ඇඳක වැතිරී සිටින්නට සිදු වුණා. අනතුරින් පසු නැවත ඔහු රංගනයෙන් දායක වන්නේ Mackerel Run ටෙලි නාට්‍යය හරහායි. නමුත් එම නාට්‍යය සඳහා නරඹන්නන් අඩු වූ බැවින් කතා මාලාව කතාංග 08කට සීමා කෙරුණා. ඉන්පසුව ඔහු 2009දී Boys Over Flower ටෙලි නාට්‍ය හරහා කොරියාව තුළ මෙන්ම ලෝකයේ වෙනත් බොහෝ රටවල්වලත් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ වගේම 2010දී ඔහු රඟපෑ Personal Taste කතාමාලාව හරහා නැවතත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වීමට ඔහුට හැකියාව ලැබුණා. 2011දී ඔහු රඟපෑ City Hunter නම් වූ ක්‍රියාදාම ටෙලි නාට්‍යය වාණිජමය වශයෙන් ඉතාමත් සාර්ථක වුණා. එය ඔහුගේ ජනප්‍රියත්වය වැඩිදියුණු කිරීමටත් සමත් වුණා.

ඒ වගේම 2013දී ඔහු My Everything ගීත ඇල්බමය නිකුත් කරනු ලැබුවා. 2014දී චීනයේ CCTVහි චන්ද්‍ර නව වසර සැමරීමේ උත්සවයට සහභාගි වුණා. එම උත්සවයට සහභාගි වූ පළමු කොරියානු තරුව ඔහුයි. ඔහුගේ දෙවැනි ගීත ඇල්බමය 2014දී නිකුත් කළ අතර ඔහු පැවසුවේ එම ගීත ඔහුගේ රසිකයන් වෙනුවෙන් නිකුත් කළ බවත් ගායනය වෘත්තියක් ලෙස කිරීමට කැමැත්තක් නැති බවයි. 2015දී Gangnam Blues චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් ලී මින් හෝ දකුණු කොරියානු සිනමාවට පා තැබුවා. 2016දී ඔහු නැවතත් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වූයේ ඹ්ඥඨඥදඤ ධට බඩඥ ඕතභඥ ඉඥච ටෙලිකතාව හරහායි. එමෙන්ම 2019දී The King – Eternal Monarch හරහාත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ගැනීමට ඔහු සමත් වුණා. ලී මින් හෝගේ යූටියුබ්  නාළිකාව “leeminho film” ආරම්භ කළා. ඔහු එහි විධායක නිෂ්පාදක සහ නිර්මාණ අධ්‍යක්ෂ ලෙස සේවය කරයි.

ලී මින්-හෝ 2017 මැයි 12 වැනි දින ඔහුගේ අනිවාර්ය හමුදා සේවය ආරම්භ කළ අතර ඔහු මුහුණදුන් මෝටර් රථ අනතුර හේතුවෙන් ක්‍රියාශීලී රාජකාරි සොල්දාදුවකු ලෙස සේවය කිරීමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ. ඔහු 2019 අප්‍රේල් 25 වැනි දින දකුණු කොරියානු හමුදා සේවයෙන් නිදහස් කරන ලදී.

සම්මාන හා ඇගයීම්

2013දී Madame Tussauds Shanghai කෞතුකාගාරයේ ලී මින් හෝගේ ඉටි රූපයක් නිර්මාණය කළා.

ලී මින් හෝ කොරියානු විනෝදාස්වාද කර්මාන්තයේ නියෝජිතයා ලෙස දකුණු කොරියානු සංස්කෘතිය පොහොසත් කිරීම සඳහා වූ ජනාධිපති කමිටුවේ තුන්වැනි සමුළුවට ආරාධනා ලැබුවා. එමෙන්ම Hallyu තරුවක් ලෙස කළ සේවය වෙනුවෙන් 5 වැනි කොරියානු ජනප්‍රිය සංස්කෘතික සහ කලා සම්මාන උළෙලේදී එරට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශංසාව ද ඔහුට හිමිවුණා.

යුනිසෙෆ් සංවිධානයේ මැලේරියාවට එරෙහිව සටන් කළ Love Net ව්‍යාපාරයේ ගෞරවනීය තානාපති ලෙස 2009 සිට 2010 දක්වා කාලයේ කටයුතු කළා.

Konkuk විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා තානාපති ලෙසද 2010 වසරේ කටයුතු කළා.

කොරියානු සංචාරක ව්‍යාපාරයේ මහජන තානාපති ලෙස කටයුතු කළා මෙන්ම කොරියානු සංචාරක ව්‍යාපාරයේ මුහුණුවර ලෙස ද ඔහුව හ¾දුන්වනවා.

එමෙන්ම 2016 – 2018 අතර කාලය තුළ Visit Korea වැඩසටහනේ මහජන සම්බන්ධතා තානාපති ලෙසත් ඔහු කටයුතු කළා.

2020 වනවිට ලී මින් හෝ හට Twitterහි මිලියන 3කට අධික අනුගාමිකයන්ද Weiboහි මිලියන 23ක අනුගාමිකයන්ද සිටිනවා. ඉන්ස්ටග්‍රෑම්හි සහ ෆේස්බුක්හි අනුගාමිකයින් මිලියන 20ක් ලබාගත් පළමු කොරියානු තරුව ද ඔහුයි.

2017දී එක්සත් ජනපදයේ කොරියානු රැල්ලේ රසිකයන් විසින් වඩාත් කැමැති කොරියානු නළුවා ලෙස ලී තෝරා ගත්තා.

සමාජ සත්කාර

2014දී ලී විසින් සමාජ සහ මානුෂීය හේතූන් සඳහා පරිත්‍යාග කිරීම, දිරිගැන්වීම සඳහා අරමුදල් රැස් කිරීමේ වේදිකාවක් ලෙස PROMIZ නමින් වෙබ් අඩවියක් නිර්මාණය කළා. PROMIZ වෙබ් අඩවිය තුළින් වෙළෙඳ භාණ්ඩ විකිණීමෙන් ලැබෙන ආදායම පුණ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරනු ලබනවා. මේ තුළින් ලෝක මටට්මේ බොහෝ ව්‍යාපෘති සඳහා මූල්‍යමය ආධාර සපයා තිබෙනවා.

2015 දී ලී මින් හෝ නේපාලයේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීම සඳහා උව්ධ්ඛ්ඡ්ජ් වෙත වොන් මිලියන 100ක් පරිත්‍යාග කළා.

පෙම් සබඳතා

ඔහුගේ පෙම් සබඳතා ගැන බොහෝ කටකතා තිබෙනවා. නමුත් ඔහු ප්‍රසිද්ධියේ පිළිගෙන තිබෙන්නේ ඉන් කිහිපයක් පමණයි. ඔහුගේ හිටපු පෙම්වතියන් අතරින් නිතර කතාබහට ලක්වන කෙනෙක් තමයි ‍‍Yoon Ina. ඇය නිරූපිකාවකි. ඔවුන්ගේ සමීප ඡායාරූප මාධ්‍ය හරහා පැතිර ගියා පමණක් නොව ඔහු ඇයට ආදරය ප්‍රකාශ කළ පණිවුඩයක් ද සයිබර් අවකාශයේ පැතිර ගියා. ලී මින් හෝ ජනප්‍රියත්වයට පත්වීමට පෙර මෙම සම්බන්ධය ආරම්භ කර ඇති අතර බොහෝ විට එය ඔහුගේ ප්‍රථම ආදරය විය හැකි බව අනුමාන කරනවා. ඒ වගේම තහවුරු කළ තවත් සබඳතාවක් වන්නේ Park Min-young සමඟ තිබූ පෙම් සබඳතාවයි. City Hunter රූගත කිරීම්වලදී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධ ඇතිවී තිබුණු අතර රූගත කිරීම් අවසන් වනවාත් සමඟම පෙම් සබඳතාවද අවසන් වී තිබෙනවා. ඒ වගේම ඔහු 2015දී Bae Suzy සමඟ පෙම් සබඳතාවක් පැවැත් වූ අතර එය අවුරුදු 3ක කාලයක් පැවතුණා. ලී මින් හෝ හමුදා සේවයට ගිය පසු 2017දී එම සම්බන්ධයත් අවසන් වුණා. ඔහුගේ තහවුරු නොකළ පෙම් සබඳතා අතර නිළියක් වන Seyolhyun සමඟ පැවැත් වූ සබඳතාව සහ 2009දී Kang Min-Kyung සමඟත් 2021දී Yeonwoo සමඟත් පැවැත් වූ සබඳතා දක්වන්න පුළුවන්. කෙසේ වෙතත් බොහෝ ගැහැනු ළමුන්ගේ සිහින කුමරා ලෙස හ¾දුන්වා දෙන්න පුළුවන් ලී මින් හෝ තවමත් තනිකඩයි කියලා තමයි පැවසෙන්නේ.

කුශාන්ති අනුරාධා බණ්ඩාර