කෑගල්ලේ ටියුෂන් සිසුන්ගෙන් රු. 11,000ක මුදල් පැහැරගෙන

0
14

කෑගල්ල නගරයේ අමතර පන්තියකට ගිය ශිෂ්‍යයන් දෙදෙනකුගේ රුපියල් 11,000ක මුදලක් පෙරේදා (20දා) සිවුදෙනකුගෙන් යුත් කණ්ඩායමක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

මුදල් පැහැරගෙන ගිය බවට කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ දැදිගම ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයන් දෙදෙනකු බව පොලිසිය  පැවැසීය.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති ශිෂ්‍යයන් දෙදෙනාගෙන් එක් අයකු දැදිගම ප්‍රදේශයේ හා අනෙක් ශිෂ්‍යයා තෝලංගමුව ප්‍රදේශයේ බවත් පෙරේදා (20දා) කෑගල්ල නගරයේ අමතර පන්තියකට නිවෙසින් පැමිණෙන අවස්ථාවේදී එක් මවක් විදුලි බිල ගෙවීම් කිරීම සඳහා රුපියල් 3,500ක්  සමඟ ගමන් ගාස්තු ඇතුළු රුපියල් 4,000ක මුදලක් දී ඇත. එසේම සෙසු ශිෂ්‍යාට පොත්පත් ඇතුළු පාසල් උපකරණ සඳහා ගමන් ගාස්තු ඇතුළු රුපියල් 7,000ක මුදලක් දී ඇතැයි ප්‍රකාශ වේ.

ශිෂ්‍යයන් දෙදෙනා කෑගල්ල නිදහස් මාවතේ ගමන් කරමින් සිටියදී පැමිණි මෙම පුද්ගලයන් තමන් බුද්ධි අංශයේ යැයි පවසා ශිෂ්‍යයන් දෙදෙනාගේ මුදල් පසුම්බි දෙක පරික්ෂා කර එහි තිබුණු මුදල් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පැවැසීය. පසුව තරුණයන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලට අනුව සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය විමර්ශන කටයුතු සිදු කරයි.

දමුණුපොළ – චමින්ද ජයලත්